2020ට තැටිය රත් කරන්නේ කවුද?

  👤  4952 readers have read this article !
2018-06-07

මේඝනාද

1956 බණ්ඩාරනායක ආණ්ඩුව ගේන්න තැටිය රත් කළේ හේන්පිටිගෙදර ඤාණසීය හාමුදුරුවෝ ය. 1994 චන්ද්‍රිකා ආණ්ඩුව සහ 2015 යහපාලන ආණ්ඩුව ගේන්න තැටිය රත් කළේ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ ය. 2020 ආණ්ඩුව ගෙන්න තැටිය රත් කරන්නේ කවුද?
ජේ.ආර්.ගේ ධර්මිෂ්ඨ සමාජයෙන් අධර්මිෂ්ඨ ලෙස බැට කෑ සෝභිත හාමුදුරුවෝ සාධාරණ සමාජයක් වෙනුවෙන් චන්ද්‍රිකාට සහාය දුන්හ. සෝභිත හාමුදුරුවන්ගේ එකම පැතුම වූයේ විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමයි. උන්වහන්සේ සිතූ ලෙස චන්ද්‍රිකා සිරිමාගේ දුව නොවුණේ ය. මැතිනිය, ජේ.ආර්. ගේ ඒකාධිපතිවාදී ව්‍යවස්ථාවට එරෙහිව අභීතව කතා කළා ය. ඒ නිසාම ජේ.ආර්.ගේ නිර්දය පළිගැනීම්වලට ලක් වුණේ ය. දුව එහෙම නොවුණේ ය. සෝභිත හාමුදුරුවෝ රැවටුණහ. චන්ද්‍රිකා විධායක බලය කර තියාගෙනම ගියා ය.

සෝභිත හාමුදුරුවෝ සටන අතහැරියේ නැත. සුදුසු අවස්ථාව බලා නැවත සටන පටන් ගත්හ. මෙවර උන්වහන්සේ පොදු අපේක්ෂකයකු තෝරා ගත්හ. කාරණා 3ක් මූලික කරගත් 'සාධාරණ ප්‍රජාතත්ත්‍රවාදී සහ ජනහිතකාමී ආණ්ඩුකරණයක් සඳහා පොදු මහජන න්‍යාය පත්‍රය' ඉදිරිපත් කළහ. පොදු අපේක්ෂක මෛත්‍රි සහ විපක්ෂ නායක රනිල් එක පයින්ම එකඟ වූහ. උන් වහන්සේගේ 'සාධාරණ සමාජය' 2015 ජනවාරි 8 වෙනසට මුල පිරුවේ එහෙම ය. එතැනින් නොනැවතුණු සෝභිත හාමුදුරුවෝ සිය 73 වැනි උපන්දිනය දා ජනපති-අගමැති අතට දස වැදෑරුම් යෝජනාවලියක් ද ඉදිරිපත් කළේ ය.

සෝභිත හාමුදුරුවෝ මූලිකව සටන් කළේ විධායක මල්ටි බැරලයට එරෙහිව ය. සෑම අශීලාචාරකමකටම, සෑම නොපනත්කමකටම විධායක ජනාධිපති ක්‍රමයේ සෙවණැල්ල වැටී ඇති බව සෝභිත හාමුදුරුවන්ගේ මතය විය. උන්වහන්සේ රාජපක්ෂ ආණ්ඩුව නිර්දය ලෙස විවේචනය කළේ මෙසේ ය.

"රටක අධිකරණයට ඇඟිලි ගහන එක ස්වාධීනත්වයට බලපෑම් කරන එක හරිම භයානක තත්ත්වයක්. දැන් එන එන අග්‍ර විනිශ්චයකාරයා දෙන තීන්දු තීරණ ජනාධිපතිවරයාගේ අවශ්‍යතා ඉෂ්ට කරන්න දෙන තීන්දු වෙලා බව පැහැදිලිව පෙනෙනවා. මුලින්ම ඔය 18 දෙනෙක් එජාපයෙන් ගිය වෙලාවේ ශේ‍ර්ෂ්ඨාධිකරණය ඒක නිවැරැදියි කිව්වා. අනික 18 වැනි සංශෝධනය ගැන ශේ‍ර්ෂ්ඨාධිකරණයේ මතය අහපු වෙලාවෙ ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය දුන්නෙත් වැරැදි තීන්දුවක්. ඒක අනිවාර්යයෙන්ම රටේ ජනමත විචාරණයකට යායුතු තත්ත්වයක්. දැන් අග්‍රවිනිශ්චයකාරයො ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චයකාරයො සේරම පත්කරගන්නේ ජනාධිපතිතුමා. අන්තිමට නීතිපති දෙපාර්තමේන්තුවත් එතුමා යටතට ගත්තා. දැන් මේ ඔක්කොම එයාගේ. ඉතින් කොහොමද අධිකරණයේ ස්වාධීනත්වයක් බලාපොරොත්තු වෙන්නේ. පසුගිය කාලේ නඩුවලට මොකද වුණේ. ඔන්න නඩුව විභාග කරගෙන යනවා තමන්ගෙ කෙනෙක් වැරැදිකාරය වන හැඩක් පෙනුණොත් නීතිපති නඩුව ඉවත් කර ගන්නවා. එතකොට රජයට පක්ෂපාත අයගෙ නඩු ඉවත් කරගන්න ගමන් රජයට විරුද්ධ අයට නඩු පවරන ස්වරූපයක් දැන් තිබෙන්නේ. මේ ක්‍රමය යටතේ නීතිය හෑල්ලු වෙලා.

මේක අධිකරණ ක්ෂේත්‍රයට විතරක් සීමා වෙලා නැහැ. මැතිවරණ කොමිසම අක්‍රියයි. මේ පවත්වන මැතිවරණ ගැන කාටවත් විශ්වාසයක් තියෙනවද? දැන් තියෙන පොලිසිය ආණ්ඩු පක්‍ෂයේ පොලිසිය. නැත්නම් කොහොමද නොමිනේෂන් μලා අධිවේගී මාර්ගයේ පෙළපාළි ගියේ. කවුරුවත් ඇල්ලුවාද? මැතිවරණ කොමසාරිස්තුමාට පුළුවන් වුණාද මේ දාල තියෙන එක පැමිණිල්ලකට සාධාරණය ඉෂ්ට කරන්න. අදාළ වැරැදිකරුවන්ට දඬුවම් දෙන්න මැතිවරණ කොමසාරිස්ට බලයක් නැහැ. මේක දුෂ්ට ඡන්දයක්. ඒක මහ මැතිවරණයක් නම් භාරකාර රජයක් යටතේ පැවැත්විය යුතුය කියා අපි කියන්නේ. මැතිවරණ කාලයක පොලිසිය හසුරුවන බලය මැතිවරණ කොමසාරිස්ට දිය යුතුයි. අපේ මූලික යෝජනාව තමයි විධායක ජනාධිපති ක්‍රමය අවසන් කරලා පාර්ලිමේන්තුවට බලය පැවරිය යුතුයි කියන එක. රට පාලනය කළ යුතු අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයයි. පාර්ලිමේන්තුවේ වැඩි ආසන හිමි කරගන්නා පක්‍ෂයේ නායකයා අගමැති විය යුතුයි.

ඊළඟට කොමිෂන් සභා තවත් බලවත් කර ස්වාධීන කර ක්‍රියාත්මක කළ යුතුයි. දැන් බලන්න රාජ්‍ය පරිපාලන සේවය, තානාපති සේවාව, මේ ක්‍ෂේත්‍ර අන්තිමට පිරිහිලා. හැම එකකටම පත්කර තිබෙන්නේ විශ්‍රාමික හමුදා නිලධාරීන් නැත්නම් පරාජිත මන්ත්‍රිවරු. දැන් ඇමෙරිකාවට ගිහින් ඉන්නේ තේ වෙළෙන්දෙක්. තානාපති සේවය වේගවත් වැඩ ශෛලියක කටයුතු කළ යුතු වෙලාවක් මේක. අපි අන්තර්ජාතිකව බරපතළ ප්‍රශ්නෙක පැටලිලා ඉන්නේ. මේ ගිහින් ඉන්න බිස්නස්කාරයන්ට අන්තර්ජාතිකව රට වෙනුවෙන් හැප්පෙන්න වාද කරන්න මොන දැනුමක්ද තියෙන්නේ. ඒත් මේවට වියදම් වෙන්නේ අපේ සල්ලි. මේ නිසා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට හොඳ බලයක් μලා ස්වාධීනව වැඩ කළ හැකි වටපිටාව හදන්න ඕනෑ. දැන් මුළු රටම අල්ලසින් පිරිලා. දූෂණය ඉහ වහ ගිහිල්ලා. මේ ගැන පැමිණිලි සිය ගණනක් කොමිසමට ඇවිල්ලා. ඒත් එකක් ගැනවත් විමර්ශන නැහැ. අපි යෝජනා කරන්නේ පූර්ණ බලතල තියෙන කොමිසමක් අතීතයටත් බලපාන විදියට ක්‍රියාත්මක කළ යුතුයි. එහෙම කරලා මේ මිනිස්සු හොරකම් කර තියෙන මහා ධනය රටට ජනතාවට නැවත ලබා දිය යුතුයි. ඒ විතරක් නොවෙයි වංචාවලට වැරදිකරුවන් වන අයට දඬුවම් μමේ බලයක් මේ කොමිසම සතු කළ යුතුයි. කැබිනට් මණ්ඩලය 30ක් කළ යුතුයි. මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතුයි. මනාප ක්‍රමය වෙනස් කර නැවැත කොට්ඨාස ක්‍රමයට රට ගෙන යා යුතුයි. සුළු පක්ෂවලට තම සමස්ත ඡන්ද අනුපාතයට ආසන ලබා දිය යුතුයි."

ජනවාරි 8 මෛත්‍රි-රනිල් බලයට ආවේ සෝභිත හමුදුරුවෝ ඉහත කී දේවල් යළි සිදුවන්නට ඉඩ නොදෙන බවට දහ අතේ පොරොන්දු දීමෙනි, ගිවිසුම් අස්සන් කිරීමෙනි. සිදුවූයේ කුමක් ද? නොවූයේ කුමක් ද? සිදු නොවෙන්න කළේ මොනවාද? පලේ මොකක්ද? කියා දන්නෝ දනිති.

ජනවාරි 8 පෙරළිය ජනතාවට දැන් තිත්ත වෙලාය. මිනිස්සු නම් කියන්නේ ඉඟුරු දී මිරිස් ගත්තා කියා ය. එහෙම කියලා ආයෙත් මිනිස්සු මිරිස් දීලා ඉඟුරු ගනීවිද? කියන්නට නම් දන්නේ නැත. ඒත් ජනතාව වඩාත් හොඳ විකල්පය තෝරනු ඇත.

ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ කරළියට එන්නේ මේ අල්ලපනල්ලේ ය. උන්වහන්සේගේ තැටිය රත් කරන්න දාන්නේ සෝභිත හිමි දාපු දර නොවේ ය. ගුණවංශ හාමුදුරුවන්ගේ ලයින් එක වෙනස් ය.

"මම කවදාවත් දේශපාලන වේදිකාවට නැඟලා නෑ. දේශපාලනයට එන්නෙ නෑ කියන ප්‍රතිපත්තියේ මම හිටියා. ඒත් අද මේ රටට සිද්ධවෙන දේ දැක්කම අපි දිනාගත්තු දේවල් අපේ ඇස් පනාපිටම නැතිවෙලා යන හැටි දැක්කම, බැඳුම්කරය වැනි මහා හොරකම් දැක්කම, බෙදුම්වාදය කරා යන දේශපාලන ගමන දැක්කම මම කල්පනා කළා තවදුරටත් මම මේ ප්‍රතිපත්තිය රැකලා මොකටද කියලා.

මම දේශපාලන වේදිකාවට ගොඩ වෙන්නේ කවදා හෝ මේ රටේ බිහිවන නියම නායකයා වෙනුවෙන්. ඔහු දළදා හාමුදුරුවන් වහන්සේ ඉදිරිපිට ගිවිසුමකට අස්සන් කළ යුතුයි. ඒ හැම වගන්තියකම තියෙන්නේ රටේ සහ සම්පත්වල ආරක්ෂාව.

දැනටමත් 2020 ජනාධිපතිවරණයට සූදානම් වන ටික දෙනෙක් ඉන්නවා. ඒත් පිස්සන්ට රටක් භාර දෙන්න බෑ. මිනිසුන්ට විශ්වාසයක් තැබිය හැකි, අවංක, කෙළින් කතා කරන, කොන්දක් තියෙන, නායකයෙක් පාලකයෙක් වෙන්ට පුළුවන්, ජන දුකට සංවේදී, රටට උරුමයට ආගමට ආදරේ කරන, අපිට හදා වඩා ගන්න පුළුවන් කෙනෙක් මේ රටට අත්‍යවශ්‍යයි. මම මේ ගිවිසුම ගහන්නේ එහෙම කෙනෙක් එක්කයි.

ගුණවංශ හාමුදුරුවෝ පළමු වෙඩි මුරය පත්තු කළේ එහෙම ය. වෘත්තීය සමිති, භික්ෂු හා ශිෂ්‍ය ව්‍යාපාර, පොදු ජන සංවිධාන එක් රැස් කරගෙන උන් වහන්සේ ඊළඟ විප්ලවයට කඳවුරු බඳිමින් සිටිති. උන්වහන්සේ මේ කියන නායකායා කවුද කියා කියන්නට නම් හරියටම දන්නේ නැත.

සෝභිත හාමුදුරුවෝ අද ජීවතුන් අතර නැත. හිටියා නම් උන්වහන්සේම පත්කළ මේ ආණ්ඩුවට එරෙහිව උන්වහන්සේම අවි ඔසවනවා නොඅනුමාන ය. උන්වහස්සේට පුද්ගලයා අදාළ වූයේ නැත. උන්වහස්සේට වැදගත් වූයේ ප්‍රතිපත්ති පමණ ය. මෛත්‍රි විධායක ලෙදර් බෝලයේ නූලක් දෙකක් ලිහුවා පමණ ය. ලිහපු නූල් පොටවල් අල්ලාගෙන රනිල් නටන නැටිල්ල දුටු මෛත්‍රි, බෝලය තද කර අල්ලා ගත්තේ එක නූල් පොටක්වත් ආයේ නොලිහෙන ගානට ය. සෝභිත හිමි කීවේ විධායක බලය අහෝසි කර අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තුවට බලය දිය යුතුය කියා ය. අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තුව කෙළින පිස්සු දැක්කාම ඒකත් හරියන පොටක් නොවන බව උන්වහන්සේ අද සිටියා නම් තේරුම් ගන්නවා ඇත.

සියලු බලයන් ඒකරාශි කරගෙන දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙන සෝභිත හාමුදුරුවෝ 2015 ජනවාරි 8 වෙනසට තැටිය රත් කළහ. සියලු බලයන් ඒකරාශි කරගෙන දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙන ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ 2020 ජනවාරි 8 වෙනසට තැටිය රත් කරමින් සිටිති. වෙනස වෙයිද? නැද්ද? කියා කියන්නට දැන්ම කල් වැඩිය. වෙනසක් වුණොත් ඒ ආණ්ඩුවවත් රොටිය හරියට පුච්චා ගත්තොත් ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන්ට මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ට මෙන් සුසුම් ලන්නට සිදු වන්නේ නැත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon