ජෝර්ජ් මහ රජාණෝ කෝච්චි ඇන්ජිමේ නුවර යති

  👤  4364 readers have read this article !
2018-06-10

1875 දෙසැම්බර් 1 වැනිදා මහා බි්‍රතාන්‍යයේ වේල්ස් කුමරු සංචාරයක් සඳහා ලංකාවට පැමිණියේය. පසු කලෙක ඔහු බි්‍රතාන්‍යයේ රජු වූයේ මඪඪ වැනි එඩ්වඩ් නමිනි. ඉන් වසර හයකට පසු ඔහුගේ පුතුන් දෙදෙනා වූ ඇල්බට් වික්ටර් ක්‍රිස්ටියන් සහ ජෝර්ජ් ෆෙඩ්රික් අර්න්ස්ට් ඇල්බට් යන කුමාරවරු මෙරට ආහ.

ඔවුන් මෙහි පැමිණෙන විට මෙරට ආණ්ඩුකාරයා වූයේ ජේම්ස් රොබර්ට් ලෝන්ඩන්ය. කුමාරවරුන් දෙදෙනා ලංකාවට ගොඩබැස්සේ 1882 ජනවාරි මාසයේදීය. එවිට වැඩිමහල් වික්ටර් කුමරු 18 වැනි වියේ පසු වූ අතර බාලයා වූ ජෝර්ජ් ඇල්බට් කුමරු 16 වැනි වියේ පසුවිය.

වික්ටර් කුමරු තරමක් තැන්පත් තරුණයකුගේ විලාසය පෑ නමුත් ඔහුගේ සොහොයුරා ජෝර්ජ් තරමක දඟකාරයකු වූ බව ඔහුගේ හැසිරීමෙන් පෙන්නුම් කෙරිණි. කොළඹ වරායට පැමිණි පසු ඔවුන් පිළිගැනීමට මෙරට රාජ්‍ය නිලධාරීන් සූදානමින් සිටියද වික්ටර් කුමරුට කලින් ජෝර්ජ් කුමරු ඔවුන් පැමිණි බෝට්ටුවෙන් එකපාරටම වෙරළට පැන වරාය භූමියට පැමිණි බව 1882 පෙබරවාරි 1 දා 'ඤාණාර්ථ ප්‍රදීපය' පත්‍රයේ පළ කර තිබුණේ මෙසේය.
'ජෝර්ජ් කුමාරයා නියම වේලාවට ගොඩබසින්නට මත්තෙන් වරායේ බැඳ තිබුණ තොරන් සැරසිලි බලන පිණිස සේලරුවෙක් මෙන් රහසේ ගොඩ බැස සිටියේය.'

කුමාරවරුන් දෙදෙනා මහනුවර බලා පිටත් වූයේ 1882 ජනවාරි 28 වැනිදා විශේෂ දුම්රියකිනි. එකල පළ වූ 'සත්‍යාලංකාරය' පත්‍රයේ පළ වී තිබුණේ මහනුවරට යන ගමනේදී රඹුක්කන සිට කඩුගන්නාවට යනතුරු බාල කුමරු ජෝර්ජ් ගමන් කළේ දුම්රිය ඇන්ජිමේ බවය.

එකල මහනුවර කිරි මුහුද (වැව) මැද ඇති දූපත (රජ සමයේ ජලතිලක මණ්ඩපය) ඉංග්‍රීසින් භාවිත කර ඇත්තේ වෙඩි බෙහෙත් ගබඩාවක් ලෙසය. එදින එම දූපත්, වැවේ උතුරු දෙස ඉවුරත් තිර යෙදූ පහන් දල්වා ආලෝක කර තිබූ බව සඳහන් වේ.
ත්‍රිකුණාමල වීදිය දෙපස හෙට්ටි කඩ ඉදිරිපස හතරැස් ලන්තෑරුම් දැල්වීමෙන්ද කන්දේ වීදිය දෙපස පොල්කෝම්බවලින් දැල්වූ පහන් එළියෙන්ද ආලෝක කර ඇති අයුරු දක්නට ලැබිණි.

එදින සවස 4.30ට පමණ කුමාරවරුන් රැගත් දුම්රිය මහනුවරට ළඟා වී ඇත. දුම්රියපොළ අසලට රැස්ව සිටි උඩරට ප්‍රධානීන් අභිභවා යුරෝපීයයන් හැසිරුණු ආකාරය අවිනීත බව එකල පුවත්පත්වලින් පෙන්වා දී තිබිණි.

'සරසවි සඳරැස' පත්‍රයේ ලේඛකයකුද කුමාරවරුන් සමඟ නුවරට ආ දුම්රියේ පැමිණ ඇති අතර ඔහු ලියා ඇත්තේ, වතුකාර යුරෝපීයයන්, යුරෝපීය ශීලාචාර ධර්මයට විරුද්ධව ක්‍රියා කරන අයුරු දුටු බවයි. දුම්රියේ සිටි බර්ගර් පිරිසක් කුණුහරුප කියමින්, මඟ දෙපසදී දුටු ගැහැනුන්ට අත් වනමින්, බිම් ගෙවල් තුළින් යද්දී අසභ්‍ය වචන කියමින් ගිය අයුරු ඔහු සඳහන් කර තිබේ.

මහනුවර දුම්රිය පොළේදීත් උඩරැටියන් පසෙකට කරමින් එම ස්ථානය වටලන්නට සුද්දන් තැත් කළ බවත් මධ්‍යම පළාතේ දිසාපති ඔවුන් එම ස්ථානයෙන් ඉවත් කර උඩරට නිලමේවරුන්ට කුමාරවරුන් පිළිගැනීමේ අවස්ථාව ලබා දුන් බවත් ඔහු සඳහන් කර තිබේ.
රජගෙදර අසලදී කුමාරවරුන් ආ අශ්ව කරත්තයේ අශ්වයන් මුදා හැර රථය ඇදගෙන ගිය උන්මන්තක ලීලාවෙන්ම වතුකාරයන් රජගෙදරට ගිය අයුරු දැනගන්නට ලැබුණු බවද හෙතෙම සරසවි සඳරැසට වාර්තා කර තිබිණි.

වනචර වතුකාර යුරෝපීයයන් තිහ හතළිහක් බීගෙන පිස්සන් මෙන් ක්‍රියා කරමින් පෙළහරත්, මහනුවරත් කිලිටි කර දැමූහ. මේ වතුකාර යුරෝපීයයෝ ඇත් ගොව්වන්ට හිරිහැර කළ බවත්, මිනිසුන්ට හිංසා පීඩා කළ බවත් පෙරහරේ යද්දී පන්දම්කරුවන්ගේ පන්දම් හොල්ලමින් ඒ අයගේ ඇඳුම් පිලිස්සූ බවත්, කොඩි ගෙන ගිය අයගේ කොඩි උදුරාගත් බවත් එම පත්‍රයේ ලිපියකින් දක්වා තිබිණි.

දියවඩන නිලමේ අසනීපයෙන් නිසා පෙරහර කරවීමට නොපැමිණීම හේතුවෙන් සුද්දන්ට මෙලෙස අවිනීතව හැසිරීමට ඉඩ ලැබී ඇති බවත් පැවැසිණි.

කුමාරවරුන් උදෙසා පැවැත්වූ රජ පෙරහර පෙර රජ දවස තිබූ පෙරහර තරම් අලංකාර නොවූ බවත් එදින දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීම කුමාරවරුන්ට හා සියමෙන් හා බුරුමයෙන් වැඩි සංඝයා වහන්සේට පමණක් සීමා කර තිබූ බවත් පැවැසේ. පත්තිරිප්පුවටත්, දළදා මාලිගයටත් ඇතුළු වීමට එදින සාමාන්‍ය ජනතාවට අවසර දී නොතිබිණි. එනමුත් හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් සමඟ ගිය ගිහියන් දෙදෙනකුට පමණක් මාලිගාවට ඇතුළු වී පත්තිරිප්පුවට යා හැකි වූ බවද 'සරසවි සඳරැස' පළ කර තිබිණි.

පසු දින පේරාදෙණිය උද්භිද උද්‍යානයට ගිය කුමාරවරු යළි මහනුවරට විත් පෙරවරු 11.00ට ශාන්ත පාවුළු දෙව් මැඳුරේ පැවැති දේව මෙහෙයට සහභාගි වූහ. එදින සවස 2.00ට පමණ ඔවුහු යළි දුම්රියෙන් කොළඹ බලා පිටත් වූහ.

බන්ධුල ගුණරත්න

(මෙම ලංකා සංචාරයට ආ ඇල්බට් වික්ටර් කුමරු ඉන්ෆ්ලුවන්සා රෝගය වැලඳීම නිසා 1892 දී මියගියේය. 1875 දී ලංකාවට ආ වේල්ස් කුමරු (මඪඪ වැනි එඩ්වඩ් රජුගේ)මරණින් පසු ඔහුගේ දෙවැනි පුත්‍රයා වූ ජෝර්ජ් කුමරු ම වැනි ජෝර්ජ් නමින් පසුව මහා බි්‍රතාන්‍යයේ රජු වූයේය.)

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon