මහමඟට වැටෙන්න ගිය කතකට මෑණියන්ගෙන් පිහිට ලැබුණු හැටි

  👤  4185 readers have read this article !
2018-06-10

නන්දන තෙන්නකෝන්

ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා අම්මාන් කෝවිල් හතක් ඉන්දියාවේ පිහිටා ඇත. ඒ කෝවිල් හැඳින්වෙන්නේ සප්ත මාතා මහ කෝවිල් නමිනි. ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා මාතාවගේ පිහිට පතා එන ලක්‍ෂ ගණන් බැතිමතුන් ගෝනි ගණනින් වියළි මිරිස් පුරවා ගෙන එන්නේ පුද පූජා තබමින් බාරහාර ඔප්පු කිරීමටය. බැතිමතුන් ගෙනෙන වියළි මිරිස් කඳු එම කෝවිල් බිම පුරා දැකිය හැකිය.

ලංකාවේද මඩකළපුව, රත්නපුරය, යාපනය, කොළඹ ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා අම්මාන් කෝවිල් පිහිටා ඇත. තවද කතරගම මහ දේවාලයට යන පාරේ ප්‍රත්‍යාන්ගිරා අම්මාන් දේවාලයක් පිහිටා ඇති බව හලාවත, මුන්නේශ්වරම අයියනායක දේවාල පාරේ පිහිටි ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා අම්මාන් කෝවිලේ ප්‍රධාන පූජක මහේන්ද්‍ර සාමි පැවැසීය.

''ප්‍රත්‍යාන්ගිරා අම්මාන් මහා කාලි මාතාවගේ එක්තරා වේශයක් කාලි මාතාවගේ අති උග්‍ර අවස්ථාවක් තමයි ප්‍රත්‍යාන්ගිරා ලෙස හඳුන්වන්නේ. විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් ලෙස සැලකෙන බලගතු නරසිම්හ දේවයන් මෙල්ල කිරීමට ශිව දෙවියන් නරදේශ්වරයා නමින් ඉතා බලසම්පන්න දෙවියකු මැව්වා. ශිව දෙවියන්ට ඒ නරදේශ්වරා ශක්තිය නිර්මාණය කරන්නට ඔහුගේ බිරිය වන පාර්වතියද උපරිම අයුරෙන් සහාය වුණා. පාර්වතී දේවිය තමයි මහා කාලි නමින් අපි හඳුන්වන්නේ. මහ බලසම්පන්න නරදේශ්වරා දේව අවතාරය මවන්න පාර්වතී දේවිය සහාය දුන්න අවස්ථාව තමයි ප්‍රත්‍යාන්ගිරා කියලා හඳුන්වන්නේ. ඒ අවස්ථාව ඉතා උග්‍ර බලවත් අවස්ථාවක් ලෙසයි සැලකෙන්නේ. මහ කාලි මාතාවගේ ස්වරූප ගණනාවක් තියෙනවා. ප්‍රත්‍යාන්ගිරා වේශය ඉතාම බලසම්පන්නයි. මෑණියන් ප්‍රත්‍යාන්ගිරා ස්වරූපයෙන් ඉන්න කොට බැතිමතුන් ඉල්ලන පිහිට නිසැකවම, ඉතා ඉක්මනින් ලබා දෙනවා කියලා විශ්වාසයක් තියෙනවා. ඒ වගේම තමයි පළි ගැහුවොත් ඒකාන්තයෙන්ම ඒක ඉෂ්ට වෙනවා. කොඩිවින සූනියම් කපා දමනවා. සතුරන්ට දැඩි දඬුවම් ලබා දෙනවා. එහෙම නැතිනම් සතුරන් විනාශ කර දමනවා.

මම අත්දැකීමෙන්ම දන්නවා, එහෙම දේවල් වෙලා තියෙන බව. අනුන්ට වළ කපන්න ගිහින් දරුණු අනතුරුවලට ලක්වෙලා ජීවිතය නැති කර ගන්න අවස්ථා එමටයි. මේවා බොරු නොවෙයි. සත්‍යයයි. මේවා බොරු නම් පිහිට යදින බැතිමතුන් බාරහාර ඔප්පු කරන්න එන්නේ නෑ. දිනෙන් දිනම ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා කෝවිලට සෙනඟ ගලා එන්නේ ඇයි කියලා මම අහනවා.

මුන්නේශ්වරමේ පිහිටලා තියෙන එකම ප්‍රත්‍යාන්ගිරා කෝවිල තමයි අයියනායක දේවාල පාරේ පිහිටලා තියෙන්නේ. බැතිමතුන්ට පිහිට වෙන්න මම හැමදාම එතැන ඉන්නවා යනුවෙන් මහේන්ද්‍රසාමි පැවැසීය.

ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා මෑණියන්ගේ බලය, අනුහස් ගැන කෝවිලේ ප්‍රධාන පූජක මහේන්ද්‍ර සාමි මෙසේද කීය.

''ප්‍රත්‍යාන්ගිරා මෑණියන් බිහිසුණු ස්වරූපයක් ගත්තත් කිසිම හවුහරණක් නැති අසරණ සාධාරණ අයට පිහිට වෙනවා. ඒ පිහිට ලබා දෙන්නේ ඉතා ඉක්මනින්. මේ ළඟකදි කාන්තාවක් කෝවිලට ආවා. ඇය කෝවිලට ඇවිත් තමන්ට වෙලා තියෙන දේ ගැන කිව්වේ හඬමින්. එයාගේ දේපොළ උකස් කරලා කර කියා ගන්න දෙයක් නැතුව ඉන්න නිවෙසත් උකස් කරලා. මහමඟට වැටෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී ප්‍රත්‍යාන්ගිරා කෝවිලට ආවේ.

මම පුද පූජා කියලා, අවුඅත්තන කපලා, දෙහි ගෙඩි මතුරලා මෑණියන්ට කන්නලව් කළා ඇයට පිහිට වෙන්න කියලා. මතුරපු දෙහි ගෙඩි කිහිපයක් දුන්නා නිවෙස හතර කොනේ වළලන්න කියලා. කහ නූලකුත් බැන්දා, ඒ කාන්තාව ප්‍රත්‍යාන්ගිරා මෑණියන්ට වැඳලා ගෙදර ගියේ සැහැල්ලු සිතෙන්.

දවස් 21යි ගිහින් තිබුණේ. ඇය කෝවිලට ආවේ සිනාමුසු මුහුණින්. ඇගේ ණයතුරුස් ගෙවන්නත් තමන් ඉන්න නිවෙස උකසෙන් බේර ගන්නත් කදිම අවස්ථාවක් ඇයට ලැබිලා තියෙනවා. ඥාතීන්, හිතවතුන් ඇයට උදවු කරන්න ඇවිල්ලා. ඇයට දැන් හරිම සතුටුයි. මටවත් හිතා ගන්න බැරිවුණා මේ වෙච්ච දේ ගැන.

ඇය මෑණියන්ගේ විශාල පින්තූරයක් රාමු කරගෙන ඇවිල්ලා තිබුණා කෝවිලේ තියන්න. එදා මුලින්ම කෝවිලට ආ දවසේ බාර වෙලා තියෙන්නේ එයාට පිහිට ලැබුණොත් මෑණියන්ගේ විශාල පින්තූරයක් කෝවිලට පූජා කරනවා කියලා. ඒ පින්තූරය තමයි දැන් මේ කෝවිලේ තියෙන්නේ'' කියා මහේන්ද්‍ර සාමි විශාල පින්තූරයක් පෙන්වමින් කීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon