මේකා මගේ හරක් පුතා පෙර භවයක නෑදෑයා

  👤  4314 readers have read this article !
2018-06-10

එස්. කේ. ජයවර්ධන

දැනට අවුරුදු 50කට පමණ පෙර අපේ ගමේ කඩ තිබුණේ තුන හතරකි. ඉන් තේ කඩ ඉතා සීමිත විය. පාන් කාරයා විශාල වේවැල් කූඩයක් හිස මත තබාගෙන උදේ පාන්දරම කඩපිල් වෙත පාර දිගේ එයි. ඒ විශාල වේවැල් කූඩය තුළ පාන්, බනිස්, රෝස් හා පිටිවලින් සෑදූ වෙනත් කැවිලි වර්ග වෙන වෙනම අසුරා ඇත. කඩකරු එනවිට පාන් පිලිස්සෙන සුවඳ නහයට දැනෙයි. පාන් පිටි කෑමට අමතරව උදයට ආප්ප, ඉදිආප්ප, පිට්ටු, වඩේ, පුස්නාම්බු වැනි කෑම නිවෙසේදී සාදා කිතුල් හකුරු සමඟ කෝපි හෝ කහට තේ අලෙවි කළ පැණි ආච්චි ගමේ කාගෙත් හොඳ හිත දිනාගත් මැදිවිය පසු කළ මුස්ලිම් කාන්තාවකි. කාමර දෙකකින් යුතු කුඩා නිවෙසක සිටි පැණි ආච්චි පාන්දරම අවදිව උදේ කෑම පිළියෙල කරයි. උදේ හය වනවිට ආප්ප, ඉදිආප්ප ආදී කෑම සමඟ කෝපි, කහට තේ සූදානම්ය. කඩපිළේ ඉදිරියේ තිබූ දිග බංකුවක ඉඳගෙන හැමදාම එහි එන කීපදෙනා උණු උණු ආප්ප ලුණු මිරිස් හෝ වඩේ සමඟ කා කෝපි බොති. ඇය මුදල් එකතු කර ඉණේ හෝ හැඹිලියේ දමා ගනී. හැඹිලිය පරිස්සමට ඉණේ හෝ පපුවේ ගසා ගනී.

පැණි ආච්චිගේ එක් සැමියෙක් ගමෙන් පිට රැකියාවක් කළේය. ඔහු කළුය. මඳක් මහලුය. ඇගේ තවත් සැමියෙක් "වඩේ අත්තා" නමින් ප්‍රසිද්ධ විය. ඔහු ගැල්කරුවෙක් විය. තනි ගොනා බඳින ලද බර භාගය ඔහු වෙළෙ¼දාමට භාවිත කළේය. උදෑසනම ගවයා බැඳගන්නා ගැල ඔහු ගමේ ගැමියන්ගේ පොල්, කෙසෙල් කැන්, එළවළු ආදිය පුරවා ගෙන මඩවල කඩමණ්ඩියට හෝ වත්තේගම ඉරිදා පොළට ගෙන යයි. වත්තේගම පොළ තිබුණේ ඉරිදාට පමණකි. එහෙත් සෙනසුරාදා හවස සිට උදෑසන වන තෙක් ඇතැම් වෙළෙන්දෝ නැවතී වෙළෙ¼දාම් කළහ. වත්තේගම ගිය විය අයිතිකරුවෝ වඩේ අත්තා ඉදිරිපිට බඩු බාගෙන කුලිය මුදලින් ගෙවති. ඉරිදා පොළ නිම වන විට වත්තේගමින් මිලදී ගත් පොල්තෙල්, ලාම්පු තෙල්, හාල්, සීනි, පරිප්පු ආදී ගෝනි මුට්ටිවලින් කරත්තය පිරී යයි. මඩවල දක්වා කුඩා කඩ වෙළෙඳුන් මුදල් සමඟ ගෝනි මලු දුන් විට වඩේ අත්තා කඩය ඉදිරිපිට ගැල නවතා කඩකරුට බඩු භාර දී කුලිය අය කර ගනී. පොළ දවසට කරත්තයේ ආදායම උදෑසන හා හවස වාර දෙකට රුපියල් දාහට ළංවෙයි. පොළ නිම වී එන විට ගෙන එන භාණ්ඩ වැඩි හරියක් කඩවලට අඩුපාඩු ලෙස ඇති භාණ්ඩය.

දහවල් කෑම කා මිලදී ගත යුතු වෙළෙඳුන්ගේ බඩු මුට්ටු කරත්තයට පුරවා ඒ අසල ගොනා ලිහා ගසක බැඳ පිදුරු පුන්නක්කු දී උෟට විවේකය ලබා දෙයි. ගොනා ඉවෙන් මෙන් ගැල හා එහි ඇති භාණ්ඩ පරිස්සම් කරයි. කිසිවකුට ගැලට ළං වීමට ඉඩ නොදෙයි. බඩු පුරවා ගත් පසු වඩේ අත්තා නගරයේ පිහිටි රා කඩයට ගොස් පදමට රා බොයි. බීමත්ව සිටියත් ඒ ඒ කඩවලට අතරමඟදී ගැල නවත්වා දිය යුතු භාණ්ඩ හෝ ඔහු කඩකරුවන්ට ආපසු දිය යුතු ඉතිරි මුදල් භාරදීම හරිහැටි ඉටු කරයි. වඩේ අත්තාට රා පදම වැඩි වී නිදිමත සැර වැඩි වන විට ඔහු කරත්තයේ වාඩි වී ඇන්ඳට හේත්තු වෙයි. ඉන්පසු ඔහුට තදින් නින්ද යයි. ගැල් පියස්සට හිස තබා ගෙන තදින් නින්ද යන ඔහු බඩු භාණ්ඩ භාර දිය යුතු කඩපිල් ගවයා හොඳින් දනී. ඒ භාණ්ඩ බෑ යුතු කඩපිල ඉදිරියේ ගොනා ඉද්ද ගැසුවාක් මෙන් නවතියි. ඇහැ ඇර වටපිට බලන වඩේ අත්තා කඩයට භාරදිය යුතු ගෝනි මලු, බඩු භාරදී කරත්ත කුලිය අය කර ගනී. බීමත්කම වැඩිවූ විට වත්තේගම සිට ගෙදරට එන අතරතුර පිහිටි කඩ 10ක් 12ක් පමණ ඉදිරිපිට ගොනා තනිවම පාර අයිනේ ගැල ඇඳගෙන ගොස් කඩපිල ළඟ කරත්තය නවතා තද නින්දේ සිටින ගැල්කරුට අවදි වන ලෙස හඬක් නඟයි.

ගවයාගේ "උම්බෑ" හ¾ඩින් නින්දෙන් අවදි වන ගැල්කරු ගෝනි හා බඩු කඩපිළට භාරදී ගොනාගේ පිට අතගා යළි නින්නදට වැටෙයි. හාම්පුතා බේරාගෙන නියමිත කඩපිල ළඟ ගැල නවතා උම්බෑ හඬ නඟා ගැල්කරු අවදි කොට භාරදිය යුතු බඩු වෙත ගැල්කරු යොමු කරනුයේ ගැල බැඳි ගොන් නාම්බාය. ගෙදරට ළං වන ඔහු ගැල හා ඉතිරි බඩු එසේම තිබියදී ගොන් නාම්බා ලිහා පුන්නක්කු දියකර ගොනාට බීමට දී කුලියට කපවා ගත් අලුත් තණකොළ උගේ ගව ගාලට දමයි.

මේකා හරකෙක් වුණාට ගිය ආත්මේ මගේ නෑදෑයෙක්, ණය කාරයෙක්, දරුවකුටත් වඩා කීකරුයි.

වඩේ අත්තා නාස්පුඩුවලින් පුන්නක්කු දියර පෙරාගෙන හිස ඔසවා ගත් ගොන් නාම්බාගේ හිස පිරිමදිමින් කියයි. දැනට අවුරුදු 30කට පමණ පෙර වඩේ අත්තා මිය ගියේය. අදත් ගම්මු ඔහුගේ ගැල හා ගැල අදින ලද අපූරු ගතිපැවතුම් තිබූ ගොන් නාම්බා ගැන කතාබහ කරති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon