මිතුරු සමාගම

  👤  3611 readers have read this article !
2018-06-11

උසස් අධ්‍යාපන ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ ඉකුත් දිනෙක පාර්ලිමේන්තුවේදී ඇත්ත කතාවක් කියා තිබිණි.

දිවයිනේ කොතැනක හෝ පාතාල කල්ලියක්, මත්කුඩු කල්ලියක් මර්දනය කිරීමට පොලිසිය අසමත් වී ඇත්නම් අනිවාර්යයෙන් ඊට හේතු වී ඇත්තේ අන් කිසිවක් නොව ඔවුන් පිටුපස ඊනියා දේශපාලනඥයන් හෝ පොලිස් ලොක්කන් සිටීම බව ඇමැතිවරයාගේ අදහසය. ඇමැතිවරයාගේ කතාව ගැන විවාදයක් නැත. පාතාලය, මත්කුඩු ජාවාරම මෙන්ම සෙසු සෑම තැනකම පිටුපස ඊනියා දේශපාලනඥයෝ සිටිති. 'පාතාලය - මත්කුඩු' අතර ඇති සම්බන්ධය තරමටම ඊනියා දේශපාලනඥයන් හා රජයේ ඇතැම් උසස් නිලධාරීන් අතරද සම්බන්ධයක් තිබේ. දූෂණය, වංචාවට මේ කට්ටිය තකට තකය.

පාතාලය - මත්කුඩු ජාවාරම අද ඊයේ ආරම්භ වූවක් නොවේ. එහෙත් පාතාලය හා දේශපාලනය අතර සමීප සම්බන්ධයක් ඇති වූයේ 80 දශකයේ මැද භාගයේදී යැයි කීම වැරැදි නැත. විශේෂයෙන් දකුණේ ධවල භීෂණ සමයේ ඊනියා දේශපාලනඥයන්ගේ ආරක්ෂාවට පාතාලයන් සම්බන්ධ කරගත් බව නොරහසකි. එකල සිද්ධීන් අළලා සහෝදර මාධ්‍යවේදියකු 'ගිනි අවි හා ගිනි කෙළි' ලිපි මාලාවෙන් ඒ පිළිබඳ තොරතුරු රැසක් හෙළි කර තිබිණි. එල්ටීටීඊ ත්‍රස්ත ක්‍රියා වර්ධනය වීමත්, දේශපාලනඥයන් හා පාතාලයන් අතර මිතුරුකම දැඩි කිරීමට හේතු විය. ඉතිහාසයේ කිසි දිනෙක නොවූ ආකාරයට ක්‍රියාකාරී දේශපාලනයට නූගතුන් හා මැරයන් එකතු වීම නිසා පාතාලයේ 'දේශපාලන' සබඳතා තව තවත් තර වී තිබිණි.

එජාප මධ්‍යම කාරක සභාවට පාතාල නායකයකු වූ 'සොත්ති උපාලි' පත්කර ගත්තේය. ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ආරක්ෂක නිලධාරියකු ලෙස පාතාලයකු වූ බැද්දගානේ සංජීව කටයුතු කළේය. ජනාධිපතිවරුන් අගමැතිවරුන් සම්බන්ධයෙන් පමණක් නොව ඒ ඒ ආණ්ඩුවල ප්‍රබල ඇමැතිවරුන්ගේ නම් සමඟ පාතාල නායකයන්ගේ නම්ද අෑඳී තිබිණි.

ඇතැම් පාතාල නායකයන්ට පිටරටවලට පැන යෑමට උදවු කර තිබුණේ ඊනියා දේශපාලනඥයන් විසිනි. අවාසනාවන්තම සිද්ධිය නම් පාතාලයන්ට ප්‍රාදේශීය සභාවලට හා නගර සභාවලට තරග කිරීමට ඇතැම් පක්ෂ 'ටිකට්' එක ලබා දීමය. අවසානයේ ඊනියා ඡන්ද දායකයන්ගේ 'මනාප' ලබා ගෙන මේ පාතාලයන් ගරු මන්ත්‍රිවරුන් බවට පත් වී තිබේ. ගිනි අවි මදිවට ඔවුන්ට දේශපාලන බලයද ලැබී ඇත.

දෙහිවල හා ගාල්ලේ මෑතකදී සිදු වූ වෙඩි තැබීම්වලින් ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙක් හා නගර සභා මන්ත්‍රිවරයෙක් මිය ගියහ. මේ ඝාතන සිදු කර ඇත්තේ පාතාල කල්ලි විසින් බව පොලිසිය දැනටමත් අනාවරණය කර ගෙන ඇත. වැදගත් කාරණය වන්නේ ඝාතනය වූවන්ද පාතාල කල්ලි සමඟ සබඳතා පවත්වා ඇතැයි හෙළි වී තිබීමය. ඇමැති විජයදාසගේ කතාව ඇත්තක් බවට ආසන්නම නිදසුන් ලෙස මේ සිද්ධීන් දෙක ගත හැකිය. පාතාල ක්‍රියා සහ මත්කුඩු ජාවාරම වර්ධනය වීම ගැන පොලිස්පතිවරයා ගෙන්වා ජනාධිපති ‍ෙදාස් කියූ බව මාධ්‍ය වාර්තා පළ වී තිබිණි.

පොලිස්පතිවරයා මීට වඩා සක්‍රියව වැඩ කළ යුතු බවට විවාදයක් නැත. ජනාධිපතිවරයාගේ දෝෂාරෝපණය සාධාරණය. ප්‍රශ්නය වන්නේ පාතාලය, දේශපාලනය හා පොලිසිය එකතු වී කලක් තිස්සේ හදාගත් 'මිතුරු සමාගම' කඩා බිඳ දැමීම ලෙහෙසි පහසු නැති කරුණක් වීමය. එය කළ හැක්කේ දැඩි දේශපාලන තීන්දු ගන්නා පරමාදර්ශී නායකත්වයකට පමණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon