දිසාපති ලයනල් සහ කර්නල් රත්නප්‍රිය

  👤  3817 readers have read this article !
2018-06-12

80 දශකයේ මුල ඊළාම්වාදයේ ගිනි පුපුරු කණාමැදිරි එළි මෙන් විහිදෙමින් තිබියදී යාපනයේ දිසාපති ධුරය දරමින් සිටියේ ලයනල් ප්‍රනාන්දු මහතාය. දිසාපති නිල නිවෙසේ රැඳී සිටි ප්‍රනාන්දු මහතාගේ මව හදිසියේ මියගිය අතර දේහය කොළඹ රැගෙන ඒමට ගත් තීරණය ක්‍රියාත්මක කිරීමට යාපනයේ ජනතාවගෙන් ඉඩ ලැබුණේ නැත. දිසාපතිවරයාගේ මෑණියන්ගේ දේහය මිහිදන් කෙරුණේ යාපනයේය.

අවමඟුල් දා යාපනය නගරයේ කඩ සාප්පු, කාර්යාල සියල්ල වසා දමා සුදු කොඩි ඔසවා ඔවුහු සිය ශෝකය පළ කළහ.

දෙමළ ජනතාව සිංහල ජාතික රජයේ නිලධාරියකුගේ මෑණියන්ට එවන් ගෞරවයක් දැක්වූයේ අන් කිසිවක් නිසා නොව ලයනල් ප්‍රනාන්දු මහතාගේ 'මනුෂ්‍යත්වය' නිසාය. චක්‍රලේඛ නීති රෙගුලාසි හරස් කර නොගෙන දිසාපතිවරයා යාපනයේ ජනතාවට සේවය කළේය. ඔහු දෙමළ ජනතාවගේ හිත දිනාගන්නේ රැවටීමෙන් නොව අවංකකමිනි.

ලයනල් ප්‍රනාන්දු මහතා ගැන මතකය අලුත් වූයේ යාපනය, කිලිනොච්චිය, මුලතිව් සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අණදෙන නිලධාරි කර්නල් රත්නප්‍රිය බන්දු විශ්වමඩු අණදෙන මූලස්ථානයේ සිට ස්ථාන මාරු ලබා යෑමේදී ජනතාවගෙන් ලද බුහුමන් දැකීමෙනි.

කිලිනොච්චිය සමුපකාර ගොඩනැඟිල්ලේ සංවිධානය කර තිබූ සමුගැනීමේ උත්සවයට පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජික සාමාජිකාවන් හා ප්‍රදේශවාසීන්ද එක්වී ඇත. වසර පහමාරක පමණ කාලයක් පුරා රාජකාරි කළ කර්නල් රත්නප්‍රිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පුනරුත්ථාපනය කිරීමෙන් පසු ඔවුන් සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට බඳවාගෙන සමාජගත කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබිණි.

1970 අගමැති ධුරයට පත්වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 70 දශකයේ අග භාගයේ යාපනයේ කළ සංචාරයකදී ජනතාව ඇය පිළිගෙන තිබුණේ මිරිස් මාලයක් පලඳවාය. කාන්තාවෝ පිරිසක් පාවාඩයක් ලෙස ඔවුන්ගේ දිග කේශ කලාපය බිම අතුරා මැතිනියට ගෞරවාදරය පළ කළෝය. මැතිනිය ඒ මතින් ගමන් කර තිබුණේ නැත.

හිටපු හමුදා නායකයකු වූ ඩෙන්සිල් කොබ්බෑකඩුවටද උතුරේ ජනතාව තුළ පිළිගැනීමක් තිබිණි. යුද්ධය ඇවිළී යෑමෙන් පසු උතුරේ ජනතාව හා හමුදාව අතර තිබුණේ පසමිතුරු ආකල්පයකි. එවැනි පසුබිමක ඩෙන්සිල් කොබ්බෑකඩුවට දැක්වූ පිළිගැනීම සුවිශේෂීය. යුද්ධය අවසන් වීමෙන් පසු හමුදා නිලධාරියකුට දෙමළ ජනතාවගේ ගෞරවාදරය පිරිනැමුණු ප්‍රථම අවස්ථාව ලෙස කර්නල් රත්නප්‍රියට දැක්වූ උපහාරය ඉතිහාස ගතවෙයි.
වයස් භේදයකින් හා ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව එමෙන්ම එල්.ටී.ටී.ඊ. යේ හිටපු සාමාජිකයන් තරමටම ප්‍රදේශවාසීන්ද රත්නප්‍රිය බන්දු මහතාගේ වෙන්වීම දරාගත නොහැකිව කඳුළු සැලීම සුවිශේෂී කාරණයකි.

මනුෂ්‍යත්වය හමුවේ ජාති, කුල, ආගම් ඇතුළු සියලු භේද හිරු දුටු පිනි බිඳු මෙන් වියැකී යන බව සනාථන සත්‍යයකි. ගෞතම බුදුන් වහන්සේ මෙන්ම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේද මනුෂ්‍යත්වය මුල්තැන්හිලා සලකනු ලැබූහ. සියලු සත්ත්වයන්ට මෛත්‍රී කිරීම, අසල්වැසියාට ප්‍රේම කිරීම උන්වහන්සේගේ ඉගැන්වීම්ය.

උතුරේ අම්මලාගේ නෙතින් ගලා යන කඳුළත් දකුණේ අම්මලාගේ නෙතින් ගලා යන කඳුළත් එක හා සමානව සීතලය. අම්මලාගේ ඇස්වලට ඒ කඳුළු බර වැඩිය. ජාතිවාදය, ආගම්වාදය නිසා තවදුරටත් කඳුළු සැලීමට මේ රටේ අම්මලාට ඉඩ තැබිය යුතු නැත.
උතුර - දකුණ එක්වී එක් පහනක් දල්වමු යැයි විරු සමරු දිනයේදී අප යෝජනා කළේ ඒ නිසාය. කර්නල් රත්නප්‍රිය බන්දු ඔහුගේ හදවතේ තිබෙන මනුෂ්‍යත්වයේ පහන දල්වාගෙන ඇත. ඔහු වෙනුවෙන් හඬා වැලපුණු දෙමළ ජනතාව ඒ පහනේ ආලෝකයෙන් අඳුරු සිතිවිලි විනිවිද යෑමට සමත් වූහ.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රණවිරුවකු ලෙස හැඳින්විය හැකි රත්නප්‍රිය බන්දු මහතා මෙන් අපේ හදවත් පහන මනුෂ්‍යත්වයෙන් දල්වා ගන්නේ නම් උතුර - දකුණ එකතු වී එක් පහනක් දැල්වීම සිහිනයක් නොවනු ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon