මැති-ඇමැති පුත්තු

  👤  3650 readers have read this article !
2018-06-13

සිය පුත්‍රයා පැදවූ කැබ් රිය අනතුරකට ලක්වීමෙන් පසු ඇතැම් 'මාධ්‍ය' තමන්ට එළව එළවා පහරදෙන බව ඇමැති රංගේ බණ්ඩාර පවසා තිබුණේ මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් සංවිධානය කර තිබූ අධ්‍යාපන වැඩසටහනකට සහභාගි වූ අවස්ථාවේදීය. ඇමැතිවරයා එහිදී අවධාරණය කර තිබුණේ ව්‍යාපාරිකයන්ගේ හමුවකට සහභාගි වී පෙරළා නිවෙස බලා එමින් සිටියදී අනතුර සිදුවී ඇති බවත්, රිය
ඇතුළේ තිබි හමුවූ වොඩ්කා ලේබලය සහිත බෝතලයේ පුරවා තිබී ඇත්තේ උණුකර නිවාගත් ජලය බවත්ය. පොඩි පරහකට ඇත්තේ අනතුර සිදුවන අවස්ථාවේ සිය පුත්‍රයා බීමත්ව සිටියාද? නැද්ද? යන්න ඇමැතිවරයා පවසා නොතිබීමය. වාහනයේ තිබී හමුවූ කඩුව සහ විකට් පොල්ල අනතුර සිදුවූ පසු පුත්‍රයාට පහරදීමට පැමිණි පිරිස විසින් කැබ් රිය ඇතුළට දමා ගොස් ඇත.

ඊට පෙර යශෝධ පුත්‍රයා අතින් රිය අනතුරු දෙකක් සිදුවූ බව කීම පල් බොරුවකි. ඒ රිය අනතුරු සිදුවී ඇත්තේ වෙනත් දෙදෙනකු අතිනි. පුත්‍රයා පැදවූ වාහනය රජයට අයත් වුවද ඇමැතිවරයාගේ මාධ්‍ය ලේකම්වරයකුට රජයේ නිල වාහනයක් ලබාදීම රාජ්‍ය දේපළ අවභාවිතයක් නොවන බවද හෙතෙම එහිදී කියා තිබිණි.

පොලිසියේ හිටපු නිලධාරියකු නිසා පොලිසියේ පැටිකිරිය ඇමැතිවරයාට කියාදිය යුතු නැත.

මාධ්‍යකරුවන් හැටියට මාධ්‍යයේ කෙරුවාව ගැන අවබෝධයක් අපට ඇත. එනිසා ඇමැතිවරයා පවසන ආකාරයට පොලිසිය නීතිය නැව්වාද? මාධ්‍ය; කෙන්ද කන්ද කළාද යන්න පිළිබඳ සහතික දීමට යන්නේ නැත. එහෙත් පොලිසියට හා මාධ්‍යට 'වරද' පටවා ගැලවී යෑමට ඇමැතිවරයාට ඉඩ දිය නොහැකිය.

ලංකාවේ තිබෙන ඉහළම පාසල ලෙස සැලකෙන රාජකීය විද්‍යාලයට පමණක් නොව පිටරටකටද යවා පුත්‍රයාට ඉගැන්වුවද ඇමැතිවරයාට නිවනක් ලැබී නැත. ඔහුම පවසා ඇති පරිදි සිතාමතා හෝ නොසිතා හෝ දරුවන් කරන වැරැදිවලට බැනුම් ඇසීමට සිදුවන්නේ මවුපියන්ටය. සහජාත හෝ අතිජාත දරුවන් වෙනුවට අවජාත දරුවන් සමාජයට දායාද කිරීමේ වරද මවුපියන් භාරගත යුතුය. මෙවැනි ජරාජීර්ණ සමාජයක 'හොඳ' දරුවකු හදාවඩා ගැනීම ලෙහෙසි පහසු ද නැත. එහෙත් දේශපාලනඥයන් සිය දරුවන්ට වඩාත් ආදර්ශවත්ව විනයගරුකව සමාජයේ හැසිරීම ගැන වඩාත් උනන්දු විය යුතුය. පළාත් පාලන මන්ත්‍රිවරුන්ගේ දරුවන්ගේ සිට ජනාධිපතිවරුන්ගේ දරුවන් දක්වා විවිධ ප්‍රශ්නවලට ඔවුන් මැදිවීම කලෙක සිට දකින්නට ලැබෙන්නකි. එනිසා ඇමැති රංගේ බණ්ඩාරගේ පුත්‍රයා පමණක් දඬුකඳේ ගැසීමේ අවශ්‍යතාවක් අපට නැත. ප්‍රශ්නය වන්නේ දරුවකු අතින් වරදක් වූ විට ඒ වරද පිළිගැනීමට තරම් දේශපාලනඥයන් නිහතමානී නොවීමය. පොලිසිය හෝ මාධ්‍ය හෝ පක්‍ෂග්‍රාහීව වැඩ කරනවා විය හැකිය. එහෙත් ඒ පිට තියා අත සෝදා ගැනීම
මැති-ඇමැතිවරුන්ට තරම්
නොවේ.

මහදවල් ඡන්ද කොල්ලකා ජනතාව ඉදිරියට පැමිණ 'ප්‍රජාතන්ත්‍රවාදයේ මුර බල්ලන්, මෙන් හැසිරෙන, මහදවල් ජනතා මුදල් කොල්ලකා 'පිරිසුදු මහත්වරුන්' ලෙස පෙනී සිටින දේශපාලන චෞරයන් අතරේ දරුවන් අතින් සිදුවන 'වැරැදි' සාධාරණීයකරණය කරන දේශපාලනඥයන් සිටීම පුදුමයට කරුණක් නොවේ.

පුදුම විය යුත්තේ මේ අශිෂ්ට දේශපාලන සංස්කෘතිය පවත්වාගෙන යන ඊනියා දේශපාලනඥයන්ගේ දරුවන් මෙලෙස නොහැසිරෙන්නේ
නම් ය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon