බීරි අලින්ට වීණා වාදනය

  👤  2984 readers have read this article !
2018-06-15

රාජ්‍ය පරිපාලන සේවාවේ නිලධාරීහු ඊයේ (14දා) උදෑසන ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිටට රැස්වි උද්ඝෝෂණයක නිරත වූහ. ඔවුන් ඉල්ලා සිටින්නේ තම සේවය අගය කර විශේෂ දීමනාවක් ලබා දෙන ලෙස සහ වැටුප් විසමතා දුරලන ලෙසය. මේ සටනට දිසාපතිවරු, අතිරේක දිසාපතිවරු සහ උප දිසාපතිවරුද එක්ව සිටියෝය.

තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයන් ආරම්භ කළ අඛණ්ඩ වර්ජනයද තවමත් අවසන් වී නැත. ඔවුහු වැටුප් විසමතා අවසන් කිරීම ඇතුළු ඉල්ලීම් රැසක් ඉදිරිපත් කරති. ධීවර ජනතාව ලාම්පුතෙල් මිල පහත හෙළන ලෙස ඉල්ලා උද්ඝෝෂණය කරති. දේශීය කිරි ගොවියෝද සාධාරණ මිලක් ඉල්ලති. තවත් පැත්තකින් වරාය, දුම්රිය, සෞඛ්‍ය, වෛද්‍යවරුන් හා හෙදියෝද වර්ජන තර්ජනාංගුලිය ඔසවමින් සිටිති. සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සටන් වැදුණු ශිෂ්‍ය ප්‍රජාවද තවමත් මහ පාරේය.

මේ සියලු කරුණු පෙළ ගැසුණු කල ඉන් විද්‍යමාන වන්නේ රට තුළ කාර්මික සාමයක් නැති බවය. ඉතා සරල වචනවලින් කියනවා නම් කාර්මික සාමයක් නැති තැන සංවර්ධනය කොට උඩය. නිෂ්පාදනය ඇනහිටින්නේය. දළ දේශීය නිෂ්පාදනය ඍණ අගයක් ගන්නේය. අලුතෙන් පත්කළ ඇමැතිවරුන් 6 දෙනාත් සමඟ ආණ්ඩුවේ ඇමැතිවරුන් 86 දෙනකු සිටින්නේ මේ තත්ත්වය මෙසේ නොවෙන්නට වගබලා ගන්නටය. ලංකාවේ රාජ්‍ය අංශයේ වැටුප් විසමතා 'ගැස්ට්‍රයිටිස්' මෙන් පහසුවෙන් සුව නොවන විඳවන රෝගයකි. බොහෝ විට එය අවුලක් නොවන්න වග වූයේ අමාත්‍යාංශ ලේකම්වරුය. වැටුප් විසමතා ඇතිවීමම අදාළ විෂයභාර ඉහළ නිලධාරීන්ගේ කළමනාකරණ හැකියාවේ දෝෂයකි.

ස්වකීය වගකීම නොසලකා හැර ප්‍රශ්නය අවුල් ජාලයක් වූ විට ඇමැතිවරයාටම තල්ලු කොට අත සෝදා ගැනීමට නිලධාරීහු පුරුදුව සිටිති. එක් ශේ‍ර්ණියක විසමතා දුරලන විට අලුත් විසමතා ඇති වී යැයි කියමින් තවත් ශේ‍ර්ණි කිහිපයක් පාරට බසියි. බොහෝ රාජ්‍ය ආයතනවල වැටුප් විසමතා ප්‍රශ්න පවතින්නේ අන්තෝ ජටා බහි ජටා තත්ත්වයේය. ප්‍රශ්නය මුළුමනින්ම රාජ්‍ය කළමනාකාරිත්වයේ වැරැදිය.

ජනතාව මත හෙළන බදු බර වැඩි වුවත් අත්‍යවශ්‍ය භාණ්ඩවල ඉහළ යෑම ගැන ජනතාව නිරන්තරයේ මැසිවිලි නැඟුවත් වගකිව යුත්තන්ගේ පඬුපුල් ආසන රත්වන බවක් පෙනෙන්නේ නැත. මැති ඇමැතිවරුන්ගේ මතු නොව නිලධාරීන්ගේද විදෙස් චාරිකා නිමක් නැත. සමහර පළාත් සභාවල ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රිවරුන් එකතුව සති ගණන් විදේශ චාරිකාවල නිරත වෙති. කෝටි ගණනින් වැය කරන්නේ පළාතේ සුබ සාධනයට, සංවර්ධනයට වෙන් කළ මහා භාණ්ඩාගාරයේ මුදල්ය. එසේ නාස්තිකාර තීන්දු ගන්නා විට කවුරුත් එකඟය. පුටු උස්සාගෙන දඟලන 'බොරු ෂෝ' එවිට නැත.

අමාත්‍යාංශ ලේකම්වරුන්ට රුපියල් 50,000ක දීමනාවක් දෙන්නටත් එය විශ්‍රාම වැටුපටද ඇතුළත් කරන්නටත් ආණ්ඩුව තීරණය කර තිබිණි. ඒ අතරම අධික්ෂණ මන්ත්‍රිවරුන් සඳහා රුපියල් 75,000ක දීමනාවක් දෙන්නටත් ආණ්ඩුව තීරණයක් ගෙන තිබිණි. රහසේ අස්සන් තැබූ සිංගප්පූරු ගිවිසුම ගැන කිසිවකු නොදන්නවා සේම හැන්ද අතේ ඇති එවුන්ම තම පතට බෙදා ගන්නා මෙවැනි තීන්දු කවුරු කෙසේ ගන්නවා දැයි දන්නා කෙනෙක් නැත. එවැනි තීන්දු ගැනීමේදී කැබිනට් සන්දේශ නැත. කැබිනට් පත්‍රිකා හෝ තීන්දුද නැත. එහෙත් වැඩේ ඉහළින්ම සිදුවේ. අවශ්‍ය නිගමනයන්ට එළැඹීම පස්සට යන්නේ වැඩ කරන ජනතාව ජීවන වියදම් දීමනාවක් ඉල්ලන අවස්ථාවේ පමණි.

ආණ්ඩුව හා විපක්ෂය මේ මොහොතේ පොරබදන දේශපාලන බල අරගලයෙන් මෙපිටට ඔවුන්ගේ අවධානය යොමුවන බවක් නොපෙනේ. බීරි අලින්ට වෙණ වයා තවත් පලක් නැතැයි ජනතාව තීරණය කළ දාට සියල්ල හමාර වනු ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon