යටිබිම් ගත නර නාටක

  👤  3561 readers have read this article !
2018-06-15

ආණ්ඩුවේ ශ්‍රී ලංකා පළුව ගැලවී ගොස් එහි යාන්තමට එල්ලී සිටින සුළුතරයක් වූ එකී පක්ෂයේ පිරිසක් පමණක් දැනට ඉතිරි වී ඇති මොහොතකි. ඒ රැඳී සිටීම මෛත්‍රිගේ පැත්තෙන් යම් "සහනයක්" සලසන්නේය. ඒ සහනය වෙන යම් දෙයක් නිසා නොව තනිකරම හුදකලා වී ජනාධිපතිවරයකු ලෙස ඉතිරි කෙටි කාලය මෛත්‍රිට ගත කරන්නට බැරි නිසාය. මෙහිදී මෛත්‍රිගේ මතය ඉවසන, එය අසා සිටින එය ක්‍රියාත්මක කිරීම් යම්තාක් දුරට වුව ගෙනයන්නට පුළුවන් අය මෛත්‍රිට මේ මොහොතේදී අත්‍යවශ්‍යමය.

ඉනුත් සුළුතර පිරිස අතරද සැබැවින්ම මෛත්‍රි වෙනුවෙන්ය කියා කියන්නට ඇත්තේ අතේ ඇඟිලි ගාණටත් අඩු පිරිසක්ය. මෙය මෛත්‍රි නොදන්නවා වන්නටද බැරිය. දැන ගත්තේ වුවද මෛත්‍රිට මේ මොහොතේ කිසිවක්ම කරන්නටද බැරිය. ඒ තරමටම සීරුමාරුවෙන් පියවර තබා යා යුතු තැනකය. එහෙත් තත්ත්වය පාලනයකින් තොරව ගලා යෑමට දීමෙන් මෛත්‍රි පාර්ශ්වයේය කියන කණ්ඩායම විසින් ජනාධිපති මෛත්‍රිට සිදු කරන්නේ බරපතළ වරදක්ය. ඔවුන් කරන හැම දේමත් කියන කතාත් ගහන උප්පරවැට්ටිත් සියල්ලේ "වැරැදි සහගත ශේෂපත්‍රය" මෛත්‍රිගේ ගිණුමට බැර වන්නේය.

මේ තත්වය සිහිනුවණින් ඔහු වටහා නොගතහොත් ඔහුට එරෙහි විරෝධයත්, ඔහු නරක මිනිහකුයි කියන්න ඉඩ සලසන කාරණාද පැටව් ගසන්නේය. වැඩිවන්නේය. ඒ නිසාම ශ්‍රී ලනිප සභාපති හෝ ශ්‍රී ලංකා ජන රජයේ ජනාධිපති කෙසේ වුව මෛත්‍රිපාල සිරිසේන නම් ගමෙන් පැමිණි මිනිහාට හොඳ නැත. ඊට හේතුව වන්නේ ඔහු ජනාධිපති වන්නේ ගෞරවාන්විත බලවේග රාශියක් විසින් ඔසවා තැබීම නිසාය. ඒ නිසාවෙන් අඩුම තරමින් ඉතිරි ටික කාලය හෝ මධ්‍යස්ථව ගෙවා දමන්නට හැකිවුවහොත් එයද මේ මොහොතේ හැටියට වැදගත් වන බැවිනි. යහපත් වන බැවිනි. රටට යම් සහනයක් වන බැවිනි.

එහෙත් මෛත්‍රි පිටුපසට වී ඔහු රකින බව කියමින්, පෙන්වමින්, හැසිරෙමින් පසුවන උපදේශකයන් නම් තවමත් ඔවුන්ටම අනන්‍ය වූ දෙබිඩි ප්‍රතිපත්තිවලමය. මහින්දටත් ගෝඨාටත් චමල්ටත් බැසිල්ටත් පමණක් නොව දිනේෂ්ටත් කඩේ යමින් එක දෙක කරමින් තමන්ට ඕනෑ හරිය කරගන්නා තැනකය. එහි පූර්ණ අවාසිය හා නරක නාමය වන්නේ මෛත්‍රිටය.

මේ යටිබිම්ගත සතුරා මිතුරු වෙස් ගෙන අපූරු චරිතාංග රංගනයක නිරත වෙද්දී මෙය යම් තරමකටවත් මෛත්‍රි වටහා ගත්තාදෝයි සිතෙන තරමට ඔහුගේ කතා විලාසය තරමක් වෙනස් වී ඇත. එය දේශපාලන විචාරකයන්ට දැනෙන, හැඟෙන දේටත් වඩා එහා ගිය තත්ත්වයක් දැයි කියන්නට දන්නේ නැත. කෙසේ වුව මෛත්‍රිගේ පසුගිය සතියේ කතා කිහිපයකින් එය දැක්වීම වැදගත්ය.

"ස්ථීරසාර සාමය, සියලු ජන කොටස් අතර අනේ‍යාන්‍ය විශ්වාසය සමඟ ගොඩනැඟෙන සංහිඳියාව සහ සහජීවනය රටේ ජනතාවගේ මෙන්ම වත්මන් රජයේද අපේක්ෂාවයි. ඒ වෙනුවෙන් කළ යුතු සියලු කැප කිරීම් රජයක් විදියට සිදුකරනවා."

මෛත්‍රිපාල සිරිසේන 2018/06/7දා ජනාධිපති මැඳුරේ පැවැති ඉෆ්තාර් උත්සවයේදී

මෙය රටේ රාජ්‍ය නායකයා, ආණ්ඩුවේ නායකයා, කැබිනට් මණ්ඩලයේ නායකයා හැටියට සාමූහික වගකීම් සහිත බව කලකට පසු හොඳින් ප්‍රකාශ කරන්නට යෙදුණු අවස්ථාවක් සේය. සාමාන්‍යයෙන් පක්ෂයක්, පාටක්, වර්ගයක්, ආගමක්, කුලයක් වශයෙන් ජනාධිපතිවරයකු වූ පසු කිසිවකුට වෙන් වෙන් වශයෙන් බෙදා කතා කරන්නට බැරිය. ජනාධිපතිවරයා කවරකු වුවත් එය ඒ තරමටම නිර්පාක්ෂික බව තබාගත යුතුමය යන්න නීතියටත් වඩා සදාචාරාත්මක කියැවීමකට ගැළපෙන්නේය. මෛත්‍රි, කන්නන්ගර මැතිතුමා ගැන කළ කතාවක්ද මෙහි දැක්වීම වටී.

නිදහස් අධ්‍යාපනයේ පියා කන්නන්ගර මැතිතුමා වුවත් ඔහු එක්සත් ජාතික පක්ෂයේ වීම නිසාවෙන් බැහැර කර දැමිය යුතුද නැත. මේ මෛත්‍රිගේ අදහසය.

"සෑම ආණ්ඩුවක්ම මේ රටේ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරන්න විශාල වැඩකොටසක් කරලා තියෙනවා. මධ්‍ය මහා විද්‍යාල ආදි ශිෂ්‍ය සංගමය විසින් පසුගිය දිනවල ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කන්නන්ගර මැතිතුමාගේ ප්‍රතිමාවක් හැදුවා. එම ප්‍රතිමාව තවම විවෘත කළේ නෑ. නිදහස් අධ්‍යාපනය රටට හඳුන්වාදුන් කන්නන්ගර මැතිතුමා ගැන අපට තියෙන්නේ ඉමහත් ගෞරවයක්. පාසල්වල එතුමාගේ පිළිරුවක් ඡායාරූපයක් හෝ එතුමාගේ නමින් ගොඩනැඟිලි නම් කර තිබෙනවා. අද එහෙම සැලකුවත් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නිදහස් අධ්‍යාපනය ගැන සම්මත කරලා ඊළඟ මැතිවරණයට ගියාම කන්නන්ගර මැතිතුමාව ඡන්දයෙන් පරාජය කරලා ගෙදර යැව්වා. ඊට පසුව තමයි රටේ ජනතාවට තේරුණේ එතුමා මොනතරම් වටිනා කෙනෙක්ද කියලා."

මෛත්‍රිපාල සිරිසේන 2018.06.08 බණ්ඩාරවෙලදී

මෛත්‍රි නිර්පාක්ෂිකව කළ ඒ කතාව මාධ්‍ය ඒ හැටි විශේෂයක් කොට දුටුවේ නැත. එහෙත් එහි විශේෂයක් තිබුණේය. එසේම තමන්ගේ ජනතාව සුරැකිය යුතු වීම ජනාධිපතිවරයකුට නීතියෙන් මෙන්ම මානුෂීය වශයෙන්ද උරුම වන අයිතියක් වන්නේය. මෛත්‍රි පසුගියදා එහෙව් අයිතිය ගැනත් කතා කළේය.

"විදේශයන්හි රැකියාවට යවන සෑම කෙනෙක්ම තමාගේ බිරිය, තමාගේ සැමියා, දරුවන්, මවුපියන්, ඥාතීන් මේ පිළිබඳ නිතර සොයා බලනවා. ඒ මානුෂිකත්වය යහපත් මිනිසකුට පිහිටන උතුම් ලක්ෂණයක්, ගුණයක්. තෘප්තිමත් මනසින් එම සේවය ඉටු කිරීම සඳහා අවශ්‍ය පසුබිම සෑමවිටම ගොඩනැඟිය යුතුයි."

මෛත්‍රිපාල සිරිසේන 2018/06/08දා හාලිඇළදී

කෙසේ වෙතත් මෙම ප්‍රවණතාව පමා වී හෝ හොඳය. යූඑන්පියේ ඇමැතිද, ශ්‍රී ලනිපයේ ඇමැතිදැයි කියා තෝරා නොගැනීම, අගය කිරීම වැඩකදී හොඳය. සාමූහික වගකීම අනුව යහපත් දේ සිදු කරද්දී එක්ව යන ගමනද හොඳය. එහෙත් මේ කියන යම් තරමක වූ වෙනස සිදුවන්නේ කරුණු කාරණා කිහිපයක් යටිබිම්ගතව දේශපාලන රඟමඬලේ රහසේම සිදුවෙමින් තිබියදීය.

"බැඳුම්කර මගඩිය"ත්, "ඇලෝසියස්" යන්නත් මාධ්‍ය හා විරුද්ධ පාක්ෂික දේශපාලනඥයන්ද දේශපාලන පක්ෂවල කතාකරුවන්ද, ඊනියා විද්වතුන්ද යළි යළිත් ජප කරද්දී රටම ඒ දෙස බලා සිටින්නේ තුෂ්ණිම්භූතවය.

බැඳුම්කර මගඩිය සිදුවීද නැත්ද යන්න සොයාබැලීම නීතියට භාරකොට දේශපාලකයන් රටට වැඩ කළ යුතු යැයි මේ කොයි පැත්තකටවත් නැති බැඳුම්කරයක් ගැන වගේ වගක් දන්නේ නැති රටවැසියන් කියන කතාවද අමතක කළ නොහැකිය.

බැඳුම්කර නාටකය වරින්වර ජන කරළියේ රඟ දැක්වෙද්දී ජනතාව ඔහේ ඒ දෙස බලා සිටියදී ඔවුන්ට ඊටත් වඩා එහා ගිය ජීවත් වීමේ ගැටලු ඇති බව ජනාධිපතිත් අගමැතිත් සිතිය යුතු යැයි කියන්න කොන්දක් පණ ඇති මාධ්‍යවේදීන්ද නැති තරම්ය. "මෛත්‍රි පාලනයක් ස්ථාවර රටක්" නමැති පොතේ 20 වැනි පිටුවේ යමක් මෛත්‍රිට මෙහිදී සිහිගැන්විය යුතුය.

"රාජ්‍ය ණය පිළිබඳ හැබෑ තත්ත්වය රටට හෙළිදරව් කරන්නෙමි. එමඟින් රාජ්‍ය ණය ගැනීම් හා කළමනාකරණය පිළිබඳ සිදුවී ඇති අක්‍රමිකතා නිවැරැදි කෙරෙනු ඇත. එමෙන්ම රාජ්‍ය ණය බර සැහැල්ලු කිරීම සඳහා කඩිනම් පියවර ගැනේ."

රටේ ණය බර තත්ත්වය කොයි තරම්ද යන්න මෛත්‍රි රට භාර ගනිද්දී තිබුණු තත්ත්වය හොඳින් දැන සිටිනවා වන්නට පුළුවන. ඒ මහින්ද ගත් ණයවලින් රටට කළ දේත් ගත්ත ණයවලට කරපු දේත් මහින්දගේ ආණ්ඩුව තුළ සිටියදීම මෛත්‍රි දැන සිටි නිසාය.

එහෙත් රටේ ණය බරින් නිදහස් වන්නේ කෙසේ දැයි ඒ ගැන හොඳින් දන්නා රටට නොකීම වරදකි. ආණ්ඩුවේ මුදල් ඇමැති මංගල කලක් ශ්‍රී ලනිපයේම ප්‍රබලයකු වූ නිසා මංගලගෙන්ද අසා දැනගන්නට පුළුවන. මුදල් විෂයය භාර ගත්තේ එජාපය වුවද තොරතුරු විමසා දැන ගැනීමත් නිසි මඟ ගෙන යෑමත් සඳහා මෛත්‍රිටද මහත්වූ වගකීමක් තිබෙන්නේය. මෙහිදී මෛත්‍රි ඒ ගැන නිහඬව සිටීමත්, රනිල් ඒ ගැන කතා කිරීමත් නිසා, ණය ගෙවන්න ණය ගැනීමත්, ඒ වෙනුවට බදු ගැනීමත් කරන්නේ රනිල් යැයි අනියමින් ජනතාවට හැඟවෙන්නට දීමද යුතුකමක් නොවේ. ඊට හේතුව නම් මෙය රනිල්ට පමණක් හෝ මෛත්‍රිට පමණක් හෝ භාරදුන් ආණ්ඩුවක් නොවන නිසාය. හැට දෙලක්ෂයක් ජනතාව ජාති, ආගම්, කුල මල, පක්ෂ, පාට භේදයකින් තොරව ආණ්ඩුවක් බලයට පත් කළේ යන විදිය හරි නැත්නම් කෑ මොරදී හෝ සටන් පාඨ කියා හෝ ඒ බව දනවන්නට ඇති අයිතියද ළඟ තබාගෙනය.

අගමැතිට එන මේ පීඩනයේ බර අගමැතිම දරා ගත්තාවේ යැයි මෛත්‍රිටද කරඅරින්නට බැරිය. මෛත්‍රි ජනාධිපති වූ නිසා මෛත්‍රිට පමණක් ආණ්ඩුවේ නායකයා නිසා වගකීම ගත යුතු යැයි කියන්නට රනිල්ටද බැරිය. මෛත්‍රි දැනුවත් නොකර රනිල් වැඩ කිරීමත් රනිල් දැනුවත් නොකර මෛත්‍රි වැඩ කිරීමත් නිසා මේ ටික කාලයට කරගත්ත වින්නැහිය දැන්වත් නවතා දැමිය යුතු යැයි ගම් මට්ටමේ බිම් මට්ටමේ ජනතාව කියන්නේ නිකමට නොවන්නේය.

"මහින්ද ණය ගැනීම තුන් ගුණයකින් වැඩි කළා. ඒ ණය ගෙවන්න අපට බදු ගහන්න වුණා. ඒ ගමන මහින්ද කියනවා එයා බදු අඩු කරනවලු. අනෙක් අයගේ පඩි ගෙවන්න සිදුවී තියෙන්නේ ගිය ආත්මයේ කළ පවක් නිසා හෝ වන්න ඇති."

රනිල් වික්‍රමසිංහ 2018/06/10දා රන්වලදී

කවුරුවත් තවත් කාගෙවත් පව් ගෙවන්නට ඕනෑ නැත. කළ යුතුව ඇත්තේ නායකයන් දෙපළ රටට එක ඇත්තක් කීමය. එහි ඇත්ත දෙකක් තිබිය යුතු නැත. රාජපක්ෂ ගත් ණය රාජපක්ෂම ගෙවන්නේ නැති වග රනිල් හා මෛත්‍රි තේරුම් ගත යුතුය. ණය ගෙවන්නටම පමණක් රටක් භාර දුන්නා නම් බදු ගැහුවාට කමක් නැත. එහෙත් ජනතාව දරුණු ආර්ථික අර්බුද මැද රාජපක්ෂ පාලනය ගැන කලකිරී සිටි නිසා හිටියාට වඩා යහපත් හෙට දවසක් වෙනුවෙන් රාජපක්ෂ පරාජයට පත් කළ අතර මෛත්‍රි්‍රටත් රනිල්ටත් රට දුන්නේ පරණ වැරැදි කරන්නට නම් නොවේ.

"ආණ්ඩුව හිරි වැටිලා. දෙපැත්තකට අදින ගමන් හරි තීන්දුවක්, තනි තීන්දුවක් ගන්න බෑ. නායකයන් දෙන්නා එකට එකතුවෙලා එක් තීරණයක් ගත්තේ නැත්නම් තත්ත්වය භයානකයි" කියලා ජනතාව කියන්නේ ඒ නිසාය. ඉන් අදහස් කරන්නේ මහින්ද හොඳටම හොඳය කියලා නම් නොවේ.

එහෙත් ආණ්ඩුව තමන් කරන නිවැරැදිම දේත් යහපත් දේත් මෙසේ යැයි පෙන්වා ජනතාවට තේරුම් කර දීමේ කලාව අතින් අන්තයටම පිරිහිලාය. ඒ වෙනුවෙන් රාජ්‍ය මාධ්‍යවල ඔළුගෙඩි මාරු කළා වුණාට සිදුවූ පරිවර්තනයක්ද නැත. සිදුව ඇත්තේ, සිදුව තිබෙන්නේ අලුත් පිරිසක් පරණ පුටුවල ඉඳගෙන පාට වෙනස් කිරීමක් පමණක්ය. ඒ නිසාම විකල්ප මාධ්‍ය මෙන්ම රජයට එරෙහි මාධ්‍ය ඉතා ප්‍රබල ලෙස විරෝධාකල්ප මතු කරමින් ආණ්ඩුව වනසන තැනකය.

උදාහරණයක් ලෙස රංගේ බණ්ඩාරගේ පුතාගේ රිය අනතුර, සුජීව සේනසිංහගේ ප්‍රකාශ, දයාසිරිගෙන් සීඅයිඩීය ප්‍රශ්න කිරීම, දුම්රිය වැඩ වර්ජනය, භූමිතෙල් මිල වැඩි කිරීම, ධීවර උද්ඝෝෂණය, රට පුරා තැපැල් වර්ජනය වැනි දේ ඕනවටත් වඩා එකී මාධ්‍ය හරහා ජනතාවගේ කෝපය අවුළුවන ආකාරයට පතුරුවා හැරියේය. මේ ගැන වගේ වගක් දන්නේ නැති ජනතාව එකී වෛරී මාධ්‍ය මෙහෙයුම් ඉදිරියේ අසරණය. ආණ්ඩුවේ කතාකාරයන් නැත. පහදා දෙන්නන් නැත. ආණ්ඩුවේ මාධ්‍යවල ලැගුම් ගත් පින් පඩි කාරයන් කාලය ගත කරනවා විනා ඒ අයට ළං වෙන්නටත් බැරිය.


මෛත්‍රිගේත් රනිල්ගේත් අනවබෝධයත් අමනාපයත් නිසා සිදුවන හානිය බොහෝය. එය සීමාව ඉක්මවා ගිය තැනකය. ඒ වෙනුවට මේ ගිනිකුන්දම අස්සේ හීන් කෙඳිරියක් මෙන් කියැවෙන අමුතු කතාද ඇත්තේය. එනම්, "අපි උත්සාහ කරන්නේ මෛත්‍රි ඉන්න ගමන් මහින්ද අගමැති කරන්නයි."

එහෙව් උත්සාහ තිබෙන්නට පුළුවන. එසේ වීමෙන් මෛත්‍රිටත් රනිල්ටත් අත්වන ඉරණම ගැන ඒ දෙන්නා තනි තනිවත් එක්වත් සිතා බැලුවා නම් වටහා ගත හැකිවනු ඇත. ඒ නිසා ජනාධිපතිවරණයක්, මහ මැතිවරණයක් ඉලක්ක කරගෙන මෛත්‍රිට රනිල්ට එරෙහිව පෙළ ගැහෙන සීතල යුද්ධය ගැන සිහිනුවණින් වටහා ගැනීම දෙදෙනාටම හොඳය.

සරලි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon