එච්.ශ්‍රී . නිශ්ශංක බුරුමයේ ආශ්‍රමයකදී පැවිදි වී උපසම්පදාව ලබාගනී

  👤  4581 readers have read this article !
2018-06-17

ශි්‍රයානි අජන්තා විතාන

ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීම සඳහා පෙරමුණ ගත් රාජනීතිඥ එච්.ශ්‍රී . නිශ්ශංක මහතාගේ ජීවන තොරතුරු අප්‍රකටය. පැරැන්නන් පවා දන්නේ එච්. "ශ්‍රී " "ශ්‍රී " යන්න පෙරට දමා ශ්‍රී ලනිප හැදූ බව පමණය. එච්.ශ්‍රී . නිශ්ශංකගේ ජීවන චරිතය අලළා පළ කෙරෙන ලිපි මාලාවක දෙවැන්නයි මේ.

ජාතික අභිලාෂයන් වෙනුවෙන් කැපවූ විශිෂ්ට නායකයකු වූ එච්.ශ්‍රී . නිශ්ශංක මහතාගේ භූමිකාව පිළිබඳ අධ්‍යයනය අනාගත පරපුරට බෙහෙවින් වැඩදායී වනු ඇත. බි්‍රතාන්‍ය වෙස්ට්මිනිස්ටර් ආභාසයෙන් මෙරට මුල් යුගයේ ක්‍රියාත්මක වූ ලිබරල් ප්‍රජාතන්ත්‍රීය ආකෘතිය තුළ ශ්‍රී නිශ්ශංක හා සර්. ඩී.බී. ජයතිලක කැපීපෙනුණු චරිත දෙකකි.

ළමා වියේ නිශ්ශංක තුළ පැවැතියේ මෝටර් රථ රියැදුරකු වීමේ අදහසය. එහෙත් තරුණ වියට පිවිසෙත්ම මවුපිය කැමැත්ත මත ඔහු නීති විද්‍යාලයට ඇතුළුවීමට තීරණය කළේය. නීති විද්‍යාලයට ඇතුළත් වීමේ විභාග ඉතා පහසුවෙන් ජය ගන්නට ඔහු සමත්විය. නීති විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ ලේකම්වරයා ලෙසද ඔහු කටයුතු කළේය.

නීති විද්‍යාලයේ පළමු වසරේදීම තරුණ නිශ්ශංක බොරැල්ල ප්‍රදේශයේ දිළිඳු පාසල් දරුවන් සඳහා රාත්‍රි කාලයේ නොමිලේ ඉංගී්‍රසි පන්ති පැවැත්වීය. ඔහු බේස්ලයින් පාරේ දෙමටගොඩ නිවෙසක් කුලියට ගෙන එහි නතර විය. මේ කාලයේ බුරුමයේ සිට පැමිණි අරන්දර සුදම්ම හිමියෝ මාලිගාවත්තේ ස්ථානයක ධර්මදේශනා පැවැත්වූහ. නිශ්ශංක නොකඩවාම එම ධර්ම දේශනාවලට සවන්දීමට පුරුදු විය. ඔහු ක්‍රමයෙන් බුදු දහම කෙරෙහි තදින් බැඳීමට දහම් දැනුම මුහුකුරා යෑම බලපෑවේය.

හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි, ලුණුපොකුණේ ධම්මානන්ද හිමි, බුරුම ජාතික චක්කින්ද හිමි, වැලිතර ශ්‍රද්ධාසේන හිමි වැනි සංඝ පීතෘන් වහන්සේලාගෙන් බෞද්ධ දර්ශනය උගැන්ම ශ්‍රී නිශ්ශංකයන්ගේ අරමුණු වෙනස් මඟකට යොමු වන්නට හේතු විය.

නීති විද්‍යාලයේ අධ්‍යාපනය අවසන් වනවිට පැලෑනේ ශ්‍රී වජිරඥාන නාහිමියන් ඇසුරට යොමුව සිටි හෙතෙම පැවිදි ජීවිතයට ඇලුම් කරන්නටත් උපේක්ෂාවෙන් යුතු තැන්පත් ජීවිතයක් ගත කරන්නටත් පුරුදු විය. නීති අධ්‍යාපනයෙන් පසු ඔහු පාලි හා සංස්කෘත භාෂාවන් හදාරන්නට කාලය වැය කළේය.

තම සහෝදර සිසුන් නීතිඥයන් ලෙස වැඩ අරඹද්දී කිසිවකු අපෙක්ෂා නොකළ පරිදි නිශ්ශංක තරුණයා බුරුමය බලා පිටත්ව ගියේය. තරුණ නිශ්ශංක බුරුමයේ රැන්ගුන් නගරයෙන් තරමක් අෑත පිහිටි සහායින් කඳුවැටියේ "දුට්ඨගධාරී" බෞද්ධ ආශ්‍රමයේදී කවිධජකේශර නමින් පැවිදි දිවියට පිවිසියේය. අනතුරුව ඉරවඩි මහා ගංගාව අසබඩ වනාන්තරයක ගල්ගුහාවක සිට දිගු කලක් භාවනානුයෝගීව වාසය කළේය. උන්වහන්සේගේ පැවිදි දිවියේ අරමුණු මස්තකප්‍රාප්ත කරමින් බුරුම ජාතික ගංඩේයුධ සජාධෝ හිමියන් ගුරු තනතුරෙහි තබා කවිධජකේශර හිමියෝ උපසම්පදාව ලැබූහ. ඉරවඩි ගං දෑලේ පිහිටි ස්වාභාවික වනාන්තර තුළ වන ආශ්‍රම පිහිටුවීමේ ක්‍රම පිළිබඳවද උන්වහන්සේ අවබෝධයක් ඇති කර ගත්තේය. ලංකාවේද වනගත භාවනා මධ්‍යස්ථාන බිහිකිරීම උන්වහන්සේගේ අභිප්‍රාය වූයේය.

නිශ්ශංක දිවේරිස් මැන්දිස් නම් ප්‍රකට නීතිවේදියකු වූ නිශ්ශංක මහතාගේ පියා ඒ වනවිට වියපත්ව රෝගාතුරව සිටියේය. පියා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවට පණිවුඩ ලද වහාම කවිධජ හිමියෝ ලංකාවට පැමිණියහ. පවුලේ වෙනත් සහෝදරයන්ද සිටියේ නැති බැවින් පියාණන්ගේ අභාවය කවිධජ හිමියන්ට තීරණාත්මක වූයේය. නැවත බුරුමයට වැඩම නොකළ හිමියෝ මහ සංඝයා වහන්සේ කැඳවා ආගමික උත්සවයක් පවත්වා ප්‍රසිද්ධියේම උපැවිදි වූයේය. එදින රැස්වූ මහ සංඝ රත්නය හමුවේ ප්‍රතිඥාවක් දෙමින් නිශ්ශංකයන් පැවැසුවේ ජීවිතයේ කිසියම් අවස්ථාවක නැවත පැවිදි වීමේ අපේක්ෂාව අත් නොහරින බවය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon