රොබට් ගුණවර්ධන පාර්ලිමේන්තුවෙන් එළියට දමයි

  👤  4086 readers have read this article !
2018-06-17

උදේනි සමන් කුමාර

මේ ඡායාරූපයේ යුරෝපීය ඇඳුමින් සැරසී සිටගෙන සිටින්නේ ලංකා සම සමාජ පක්‍ෂයේ පුරෝගාමී නායකයකු වූ රොබට් ගුණවර්ධන මහතාය. රොබට් හැරුණු විට මෙහි පොලිස් නිලධාරීන් හත් දෙනෙක් ද සිටිති. මෙය 1957 දී ගන්නා ලද ඡායාරූපයකි. ස්ථානය එවකට ගාලුමුව‍ෙදාර පිහිටි පාර්ලිමේන්තුවේ ආලින්දයයි. පාර්ලිමේන්තු සැසිවාරයක් තුළ කථානායකගේ අණ නොතකා නොනවත්වා එක දිගට කතා කිරීම නිසා කථානායක නියෝගය පරිදි පොලිසිය විසින් රෝබට් ගුණවර්ධන සභා ගැබින් එළියට දමා සිටින අවස්ථාවක මෙම ඡායාරූපය ගෙන තිබේ. රොබට්ගේ එක් අතක සිය ලිපිගොනු තිබෙන අතර අනෙක් අතේ මොටෝරියේ යතුරු කැරැල්ල වැනි යමක් තිබේ. රොබට්ගේ මුහුණේ උපහාසාත්මක සිනහවකි. කථානායක තැන නම නියම කළ විට නියෝජිතයා කොතරම් ජගතකු වුවත් ඔහු ඔසවාගෙන විත් සභා ගර්භයෙන් ඉවතට දමන්නට පොලිසියට සිදුවේ. රොබට් විප්ලවකාරයෙකි. ඔහුගේ දේශපාලන ජීවිතය ගැටුම් අරගලවලින් යුතු එකකි. රොබට් මේ සිටින්නේ කථානායක නියම කළ කාල සීමාව අවසන් වන තුරු විය යුතුය.

රොබට් බොරළුගොඩ වලව්වේ ජාකෝලිස් ගුණවර්ධන රාලහාමිගේ පුත්‍රයෙකි. පිලිප් ගුණවර්ධන ඔහුගේ සහෝදරයාය. පාර්ලිමේන්තු විවාදයන් හිදී පෙර සූදානම් ඇතිව සිය මතය සාර්ථකව ඉදිරිපත් කරන දක්‍ෂ දේශපාලනඥයකු වශයෙන් රොබට් ප්‍රසිද්ධය.

වර්තමානයේ එවැනි සිදුවීම් පාර්ලිමේන්තුව තුළ සිදුනොවේ. අද ඉන්නේ රොබට්, පිලිප් ඇන්.ඇම්.ලාට වඩා දක්‍ෂ මහජන නියෝජිතයන්ය. කිසිදු පෙර සූදානමක් ලියැවිල්ලක් නැතිව අවශ්‍ය නම් පැය ගණනක් වුවත් දෙසාබාන්නට අද අපේ පාර්ලිමේන්තුවේ ඉන්නා උදවිය ද දක්‍ෂයෝය. කොටින්ම කියනවා නම් ඒ සඳහා ඔවුන්ට මාතෘකාවක් ද අවශ්‍ය ද නැත. කිසිදු සටහනක් නැතිව ඔවුන් කරන අග මුල නැති කතා අප අසා ඇත. එපමණක් නොව අද ඉන්නා මන්ත්‍රිවරු ගුටි කෙළගන්නට වුවද පසුබට නොවෙති. වරක් එවැනි ගුටි බැට හුවමාරුවකදී භික්‍ෂු මන්ත්‍රිවරයකුගේ වෘෂණ කෝෂ මිරිකා තුවාල කළ ප්‍රවෘත්තියක් ද පුවත්පත්වල පළ විය. වර්තමානයේ ඇතැම් විට විපක්‍ෂ මන්ත්‍රිවරු නිවෙස්වලට නොගොස් පාර්ලිමේන්තු සභා ගර්භයේම රාත්‍රි කාලයේ නිදති. එසේ සභාවේ බුදියෑම ඔවුන් හඳුන්වන්නේ සටන් ක්‍රියාමාර්ගයක් ලෙසිනි. එවැනි උද්ඝෝෂණ ඇති කළ විට එම පිරිස එළියට ඇද දමා සභාවේ ගෞරවය රැක ගන්නවා වෙනුවට කථානායක කරන්නේ පාර්ලිමේන්තුවේ නිදන මන්ත්‍රිවරුන්ට මහජන මුදලින් සුප් පිළියෙල කොට බොන්නට සැලැස්වීමය.

රොබට් ගුණවර්ධන ගැන අද ඉන්නා තරුණ පෙළ නොදන්නවා විය හැකිය. ඔහු පිලිප් ඇන්.ඇම්. කොල්වින් සමඟ 1935දී ලංකා සම සමාජ පක්‍ෂය ගොඩනඟන්නට පෙරමුණ ගත්තේය. 1945 දෙවන ලෝක යුද සමයේ අධිරාජ්‍යවාදීන්ගේ යුද්ධයට විරුද්ධ මතයක කටයුතු කිරීම නිසා ලසසපය තහනම් කෙරිණි. අත්අඩංගුවට ගත් ලසසප නායකයන් වූ පිලිප්, ඇන්.ඇම්., කොල්වින් සහ එඩ්මන් සමරක්කොඩි සිටියේ බෝගම්බර හිර ගෙදරය. හමුදා සොල්දාදුවකු ලෙස වෙස් වළාගත් රොබට් බෝගම්බර හිරගෙදරින් සම සමාජ නායකයන් නිදහස් කරගෙන 1945 අප්‍රේල් 7 ඉන්දියාවට පැන යන්නට සැලැස්සවීය. පසුව මැදියම් රැයක වැල්වැටිතුරෙන් කට්ටු මරන් ඔරුවක නැඟුණු රොබට් ද ඉන්දියාවට පලා ගියේය.

ඉන්දියානු ජාතික නිදහස් සටන මුවහත් වෙමින් පැවැති ඒ වකවානුවේ විනායක් පුරෝහිත් ආදීන් සමඟ අධිරාජ විරෝධී කටයුතුවල යෙදීම නිසා රොබට් ඉන්දීය පොලිසියට අසුවී දරුණු වධ බන්ධනයන්ට ගොදුරු වූයේය. ඉන්දීය පොලිසිය රොබට්ගේ පාදය දෙපොළකින් බිඳ දැමීය. ඔහු නඩු විභාගයකට මුහුණ දෙනු පිණිස ලංකාවට ආවේ කිහිලිකරුවල ආධාරයෙනි. රොබට් ගුණවර්ධන 1947 ප්‍රථම මැතිවරණයෙන් පාර්ලිමේවන්තුව නියෝජනය කොට 1964 අවසාන වන තුරුම මහජන නියොජිතයකු ලෙස කටයුතු කළ අතර 1965දී චීනයේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් පත්විය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon