කිසිදා හෙළි නොවූ අගමැති ඩඩ්ලිගේ ආදර අන්දරය

  👤  5033 readers have read this article !
2018-06-17

බන්ධුල ගුණරත්න

ලොව බොහෝ රටවල කීර්තිමත් පුද්ගලයන් හා බැඳුණු ප්‍රේම කතා කොතෙකුත් අසන්නට ලැබේ. හිට්ලර් හා ඊවා බේ‍රා්න්, ජවහර්ලාල් නේරු හා එඩ්විනා මවුන්ට්බැටන්, ඉන්දිරා ගාන්ධි හා ලයනල් එදිරිසිංහ, ඩයනා කුමරිය හා ඩොඩී අල්ෆයිඩ් අතර ළෙන්ගතු බැඳීම් ඒ අතරින් කිහිපයකි.

විවාහයක් දක්වා දුර දිග නොගිය එවැනි ආදර බැඳීම් පැවැති මෙරට රාජ්‍ය නායකයන් ගැනද තොරතුරු හෙළි වෙයි. කාලයාගේ ඇවෑමෙන් එවැනි කීර්තිමත් පුද්ගලයන්ගේ ආදර රහස් වැළලී යමින් තිබුණද ඒවා යළි මතුවන්නේ 'රබර් බෝලයක් දිය යට රඳවා තැබීමට නිරතුරුවම නොහැකි' පරිද්දෙනි. එහෙත් එවැනි පෙම් සබඳතා ඔවුන්ට කිසිදු ආකාරයක අවමානයක් නොවන්නේ හුදෙක් ඒවා ආධ්‍යාත්මික සතුටකට පමණක් හේතු වූ ප්‍රේම කතා නිසාය.

නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැති ඩී.ඇස්. සේනානායක මහතා 1952 මාර්තු 21 වැනිදා ගාලුමුව‍ෙදාර පිටියේදී අසු පිටින් ඇද වැටී හදිසියේ මිය ගිය පසු එම මාර්තු 26 වැනිදා මෙරට දෙවැනි අගමැතිවරයා බවට පත්වන්නේ ඩඩ්ලි සේනානායක මහතාය.

තම පියාණන් කෘෂිකර්ම ඇමැතිවරයා වශයෙන් දියත් කර තිබූ වාරිමාර්ග හා ජනපද ඇති කිරීම පිළිබඳ කාර්යභාරය හෙතෙම ඉදිරියට ගෙන යෑමට උර දුන්නේය.

අගමැති ධුරයට පත්වූ පසු 1952 සැප්තැම්බර් මාසයේදී මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා ඩඩ්ලි සේනානායක මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. එම මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ඔහුට හැකි වූයේය. එනමුත් රෝගාතුර වීම හේතුවෙන් ඔහු 1953 ඔක්තෝබර් 12 වැනිදා අගමැති ධුරයෙන් ඉල්ලා අස් වූයේය. ඉන්පසු අගමැති ධුරයට පත් වූයේ සර් ජෝන් කොතලාවල මහතාය.

එදා සේනානායක හා කොතලාවල පවුල් අතර පැවැතියේ ඉතා දැඩි සමීප සබඳතාවකි.

අගමැති ජෝන් කොතලාවලට බාල සහෝදරයන් දෙදෙනෙකි. ඒ ජෝර්ජ් කොතලාවල සහ ජස්ටින් කොතලාවල නමිනි. ඔවුන්ගේ බාල සහෝදරිය වූයේ ප්‍රීඩා කොතලාවල මෙනෙවියයි.

තරුණ වියට පත් ඇය විවාහප්‍රාප්ත වූයේ හලාවත ප්‍රකට ධනවත් පවුලක් වූ කොරයා පවුලේ තරුණ පුත්‍රයකු සමඟය. විවාහයෙන් පසු ඔවුන් පදිංචි වූයේ කොළඹ 07, හෝර්ටන් පෙදෙසේ නිවෙසකය. ඔවුන් දෙදෙනාගේ පුත්‍රයා වූයේ පසු කලෙක මෙරට ප්‍රකට ආර්ථික විද්‍යාඥයකු වූ ගාමිණී කොරයා මහතාය.

තරුණ ඩඩ්ලි සේනානායක මහතාද මේ නිවෙසට යාම් ඊම් කළේ පවුල් අතර සබැඳියාවත්, දේශපාලනයට සම්බන්ධ ඇතැම් දේ සාකච්ඡා කෙරුණේ එහිදී නිසාත්ය. එහෙත් පසු කලෙක කිසියම් හේතුවක් නිසා ප්‍රීඩා - කොරයා අතර විවාහය දික්කසාදයකින් නිමාවට පත් වූයේය.

1956 අගමැති ජෝන් කොතලාවල සමයේ එංගලන්තයේ එලිසබෙත් මහ රැජන සංචාරයක් සඳහා ලංකාවට ආවේය. ඒ අවස්ථාවේ එක් රාත්‍රි භෝජන සංග්‍රහයක් පැවැත්වුණේ ප්‍රීඩා හා කොරයා යුවළගේ හෝර්ටන් පෙදෙසේ පිහිටි නිවෙසේය. ඩඩ්ලි සේනානායක ඇතුළු දේශපාලන ක්‍ෂේත්‍රයේ බොහෝ ප්‍රභූ පිරිසක් එවැනි උත්සවවලදී මේ නිවෙසේදී හමු වූහ.

එවන් එක් අවස්ථාවකදී ප්‍රීඩා - ඩඩ්ලි අතර වූ කතාබහ ඊටත් වඩා දුරකට ඇදී ගොස් ළෙන්ගතු ආදර සම්බන්ධයක් බවට පත්වූ බව පවුලේ බොහෝ දෙනාට රහසක් නොවීය.

තවත් විවාහයක් දක්වා දුර දිග නොගිය ලොවටම රහසක් වූ ඩඩ්ලි - පී්‍රඩා ආදර කතාව දැන සිටියේ ඥාති පරපුරේ වැඩිහිටියන් පමණි. ඩඩ්ලි සේනානායක මහතා මුළු දිවිය පුරා අවිවාහකව සිටියේ මේ ප්‍රේමය නිසා බව බොහෝ කලක් යනතුරු කිසිවකුට අනාවරණය නොවීය.

මෙරට සිවු වරක් අගමැති ධුරය දැරීමට වාසනාවන්ත වූ ඩඩ්ලි සේනානායක මහතා 1972 අප්‍රේල් මස 13 වැනිදා අවසන් හුස්ම හෙළුවේය. ඔවුන් දෙදෙනාගේ සුන්දර ළෙන්ගතු ප්‍රේමය එලෙස නිමා වූ දවසේ සුදු ඇඳුමින් සැරසුණු ඇය රතු රෝස මලක් හා සුවඳ විලවුන් බෝතලයක් ඩඩ්ලිගේ මිනී පෙට්ටිය මත තැන්පත් කළ අයුරු සමීප ඥාතීන්ට දැක ගත හැකි විය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon