පොලිස් ලොක්කෙක් හමුදා කුමන්ත්‍රණයක් මෙහෙය වන බව ඇන්. ඇම්. පාර්ලිමේන්තුවේදී කියයි

  👤  4061 readers have read this article !
2018-06-17

උදේනි සමන් කුමාර

ඒකාධිපති පාලනයට යටත් වන්නා වූ මීළඟ ආසියාතික රට ලංකාව වුවහොත් ඒ ගැන පුදුම වෙන්න එපා. සමාජවාදී අගමැති සොලමන් ඩයස් බණ්ඩාරනායක පහ කර දමා ආණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක නුදුරු කාලයේදී සම්පූර්ණ පාලනය සියතට ගන්නවා ඇතැයි මෙහි ලැබෙන විශ්වාසදායක රහසිගත ආරංචිවල පළවේ. ඔහුගේ පරමාර්ථය රත්තන් බලයට ඒම වැළැක්වීමයි. දැනට පවත්නා විදිහට ඇමැති මණ්ඩලයේ හැම දේශපාලන දර්ශනයකටම අයත් උදවිය සිටිති. කිසිම දෙයක් ගැන එකඟ නොවෙති.

ඇමෙරිකානු ප්‍රවෘත්ති සඟරාවක් වන නිව්ස්වීක්හි 1959 අප්‍රේල් 20දා කලාපයේ එසේ පළ විය.

මේ ප්‍රකාශය පළ කෙරෙන විට 1956 ජනතා ජයග්‍රහණයෙන් බිහිවූ මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුවේ එක්සත්කම බොහෝදුරට දෙදරා ගොස් තිබිණි. ප්‍රතිගාමී, ප්‍රගතිශීලී කඳවුරු දෙකකට බෙදී මහජන ආණ්ඩුව ඇතුළේ කෙරෙන සටනක් ගැන විවිධ තොරතුරු දේශීය පුවත්පත්වල මෙන්ම විදේශීය පුවත්පත්වලද පළ විය.

ආණ්ඩුව ඇතුළත මෙන්ම පිටතද සිටි බලවතුන්ගේ විවිධ මතිමතාන්තර අනුව ගොඩනැඟී තිබුණු මතභේද බොහෝ දුරට එළි පෙහෙළි වූයේ කුඹුරු පනතිනි. කුඹුරු පනතට විරුද්ධව කැබිනට් මණ්ඩලයේ ඇතැම් සාමාජිකයෝ පවා පෙළපාළි යනු දක්නා ලදහ.

මහජන එක්සත් පෙරමුණු රජය පිහිටුවා තුන් අවුරුද්දක් ඇවෑමෙන් මෙබඳු අර්බුදකාරී දේශපාලන පරිසරයක් ඇති වන්නට ප්‍රධාන හේතුව වූයේ, බණ්ඩාරනායක අගමැති ඇතුළු ඇමැතිවරුන් කිහිපදෙනකු ප්‍රගතිශීලී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නට දැරූ ප්‍රයන්තයට එරෙහිව දේශීය හා විදේශීය අධිරාජ්‍යවාදීන්ගේ ආශීර්වාදය හා අවවාද අනුශාසනා ඇතිව ආණ්ඩුව දකුණට ගෙන යන්නට උත්සාහ කළ ඇමැතිවරුන් කිහිපදෙනකු ගෙන ගිය වැඩපිළිවෙළය.

පිලිප් ගුණවර්ධන මහතාට විරුද්ධව අපහාස නඩුවක් පැවැරීමට එවකට නියෝජ්‍ය පොලිස්පතිවරයකුව සිටි සිඩ්නි ද සොයිසා මහතාට අගමැතිවරයා අවසර දීම මත භේදයට තුඩු දුන් තවත් කරුණක් විය.

මෙයට හේතු වූයේ රජයට විරුද්ධව විපක්ෂය විසින් ඉදිරිපත් කර තිබූ විශ්වාසභංග යෝජනාවේදී විපක්ෂ නායක ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහතා කළ ප්‍රකාශයක් අනුමත කරමින් ගොවිකම් හා ආහාර ඇමැති පිලිප් ගුණවර්ධන මහතා කළ කතාවකි.

ආචාර්ය පෙරේරා සිය කතාවේදී මෙසේ සඳහන් කළේය.

පසුගිය වතාවේදී අගමැතිවරයා නොයෙක් කුමන්ත්‍රණ ගැන කතා කළේය. ඔහු සඳහන් නොකළ කරුණක් ගැන මම මෙහිදී වගකීමෙන් සඳහන් කරමි.

ඉතාමත් සූක්ෂ්ම අන්දමින් තමන්ගේ අතට බලය අල්ලා ගැනීමේ දුෂ්ට ප්‍රයත්නයක යෙදී සිටින භයානක පුද්ගලයෙක් දැන් පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින බව මම මෙහිදී සඳහන් කරමි. පොලිස්පති පවා පසෙකට තල්ලු කරදමා උසස් නිලතලවලට තම සහචරයන් පත් කර ගැනීමට ඔහු ක්‍රියා කරයි.

කලකට උඩදී මෙම භයානක පොලිස් නිලධාරියා අගමැතිවරයා පවා අනුමත කළ බදුල්ලේ පෙළපාළියක් පවත්වන්නට ඉඩ දුන්නේ නැත. ඔහු දැන් අගමැතිවරයාටත් වඩා බලසම්පන්න පුද්ගලයෙකි.

මේ නිලධාරියා යුද හමුදාවේ සමහර උසස් නිලධාරීන් හමු වී සාකච්ඡා පවත්වා යුද්ධාණ්ඩුවක් ඇති කිරීම සඳහා කුමන්ත්‍රණය කර ඇති බවද මම දනිමි. මොහුගේ අනෙක් ඥාතිවරයකුද කිසියම් පරමාර්ථයක් ඉටු කර ගැනීම සඳහා හමුදා නිලධාරීන් හා සාකච්ඡා කර ඇත.

ඇන්.ඇම්. ගේ කතාවෙන් හෙළිදරව් කළ පොලිස් නිලධාරියා තමාගේ සොහොයුරු නියෝජ්‍ය පොලිස්පති සිඩ්නි ද සොයිසා බව මෙහිදී කියා සිටි මුදල් ඇමැති ස්ටැන්ලි ද සොයිසා එම චෝදනාවේ සත්‍යයක් නැතැයිද ප්‍රකාශ කළේය.

ඇන්.ඇම්. ඉදිරිපත් කළ චෝදනා සනාථ කරමින්, අනතුරුව කතා කළේ කෘෂිකර්ම හා ආහාර ඇමැති පිලිප් ගුණවර්ධන මහතාය.

එක්සත් ජාතික පක්ෂයේ උත්තර මන්ත්‍රිවරයකු, පොලිස්පති, හමුදාපති හා නියෝජ්‍ය පොලිස්පති සිඩ්නි ද සොයිසා සිය නිවෙසට කැඳවා රාත්‍රි භෝජන සංග්‍රයක් පවත්වා, අනතුරුව රට ඇල්ලීමක් ගැන කතා කළ බවද පිලිප් කීය.

සිඩ්නි ද සොයිසා පිලිප්ට විරුද්ධව පැවැරූ අපහාස නඩුව අධිකරණය විසින් නිෂ්ප්‍රභ කරනු ලැබීය.

වරප්‍රසාද ලත් පන්තියේ හිත සුව පිණිස නොවන ප්‍රගතිශීලී යෝජනා ක්‍රියාත්මක කරමින් අගමැතිවරයා දුන් නායකත්වය හේතු කොට ගෙන තමන්ට එල්ලවන තර්ජනය දක්ෂිණාංශික කණ්ඩායම මැනවින් අවබෝධ කර ගත්හ.

සමාජවාදය ගොඩනැංවීම සඳහා ඇප කැප වන්නට පොරොන්දු වී නියෝජ්‍ය මන්ත්‍රි මණ්ඩලයට පත්වූ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන්ට පෞද්ගලික ජාවාරම්වල යෙදෙන්නට බණ්ඩාරනායක ඉඩ දුන්නේ නැත.

මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුව තුළ ඇති වූ ප්‍රධාන මතභේදය කුඹුරු පනත නිසා ඉස්මතු විය. වී බුසලට ගෙවූ රුපියල් 12 සහතික මිලෙන් රුපියල් 2ක් අඩු කොට එයින් ගොවීන්ට උපකරණ හා පොහොර සැපයීිමට පිලිප් ගුණවර්ධන මහතා කළ යෝජනාවට කැබිනට් ඇමැතිවරුන්ගේ එළිපිට සටනක් බවට පත්වූණේ 1958 මාර්තු 8දාය. විමලා විජයවර්ධන, සී.පී. ද සිල්වා, ආර්.ජී. සේනානායක යන ඇමැතිවරු ආණ්ඩුවට විරුද්ධව ගොවි පෙළපාළියක නායකත්වය ගෙන සිටියහ. කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම් බොහෝ ඇමැතිවරු අමතක කළහ.

තම කැබිනට් මණ්ඩලය තුළම ඇතිවූ සටනකට මැදි වී සිටින්නට බණ්ඩාරනායක අගමැතිතුමාට සිදුවිය.

මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුවේ ඉරණම විසඳූ මීළඟ අර්බුදය මතුවූයේ සමුපකාර බැංකු පනත තුළිනි. සමුපකාර ව්‍යාපාරයේ අලුත් ප්‍රතිසංවිධානයක් ඇති කළ ආහාර ඇමැති පිලිප් ගුණවර්ධන මහතා ගැමි ජනතාව ණය බරින් මුදා ගැනීමටත් ඔවුන්ට සහනයක් සලසා දීමටත් මෙම පනත සකස් කළ බවට සැකයක් නැත.

සමුපකාර බැංකු පනත සම්බන්ධයෙන් පිලිප් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ කැබිනට් සන්දේශය 1957 ඔක්තෝබර් 28දා කැබිනට් මණ්ඩලය ඒකමතිකව අනුමත කළේය.

පසුව කැබිනට් වර්ජනයකට තුඩු දුන්නේ කැබිනට් මණ්ඩලය මඟින් අනුමත කරන ලද යෝජනා අනුව රජයේ නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද මේ පනතය.
ඇමැතිවරුන් දහ දෙනකු කැබිනට් මණ්ඩලය මඟින් අනුමත කරන ලද යෝජනා අනුව රජයේ නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද මේ පනතය.

ඇමැතිවරුන් දහ දෙනකු කැබිනට් රැස්වීම් වර්ජනය කළේ පිලිප් ගුණවර්ධන ඉවත් කරන ලෙස අගමැතිතුමාට බල කරමිනි. සමුපකාර බැංකු පනතට ඇමැතිවරුන් දහ දෙනකු විරුද්ධත්වය පළ කර ඇති හෙයින් ඒ ගැන තීරණයක් ගන්නට පෙර පාර්ලිමේන්තු කණ්ඩායම් සාකච්ඡාවකට භාජනය කළ යුතු යැයි බණ්ඩාරනායක අගමැතිතුමා නියම කොට තිබිණි. ඒ සඳහා මැයි 11දාට රැස්වීමක් පවත්වන හෙයින් ප්‍රසිද්ධ රැස්වීම්වලදී පනත විවේචනය නොකළ යුතු බවත් අගමැතිතුමාගේ නියමය විය.

පසුව රැස්වීම පැවැත්වුණේ 23දාය. සමුපකාර බැංකු පනත ඉතාම අවශ්‍ය වැදගත් පනතක් බව ප්‍රකාශ කළ බණ්ඩාරනායක අගමැතිතුමා, යම්කිසි සුළු සංශෝධන පමණක් කරන්නට අදහස් කරන බවද අනාවරණය කළේය.

මේ තීරණයට කිසිවෙක් විරුද්ධ නොවූහ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon