ශ්‍රී වික්‍රම රාජසිංහ රජු නෙරපීමේ දේශපාලනය

  👤  4231 readers have read this article !
2018-06-17

උදේනි සමන් කුමාර

කන්ද උඩරට රාජධානිය බිඳ වැටීම සම්බන්ධව චෝදනා එල්ල වන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුටය. උඩරැටියෝ ඉංගී්‍රසීන්ට සිංහාසනය භාර දුන්නේ 'දුෂ්ට වඩිගයාගෙන් මිදුණෙමු' යන සිතිවිල්ලෙනි. ශ්‍රී වික්‍රම රජුට එල්ල කෙරෙන චෝදනා වනාහී රජුගේ පාලනයෙන් අතෘප්තියට පත් බල ලෝභයෙන් මඬනා ලද රදල නායකයන්ගේ චෝදනා වන්නේය. එම චෝදනා හුදෙක් පදනම් විරහිත අධානග්‍රාහී චෝදනාය. උඩරට රාජධානිය බිඳ වැටුණේ ඇයි? ඊට හේතු වූ දේශපාලන හා ආර්ථික කරුණු මොනවාද යන්න වෙනමම අධ්‍යයනය කළ යුතුය. ඉංගී්‍රසීන් හා රදල නායකයන් රජුගේ අව ක්‍රියා වශයෙන් හුවා දක්වන කරුණු සිදු නොවීනම් පැරැණි රාජාණ්ඩුව තවදුරටත් නඩත්තු කරන්නට හැකි වේද? වැඩවසම් පාලනය බිඳ වැටුණේ එය එලෙස පවත්වා ගත හැකි උපරිම කාලය පැවැතීමෙන් අනතුරුව බව වටහා ගත යුතුය.

ශ්‍රී වික්‍රමට ප්‍රථමයෙන් සිටි සිංහලේ රජවරු බි්‍රතාන්‍යයන් සමඟ පමණක් නොව ලන්දේසීන් සහ ප්‍රංශ ජාතිකයන් සමඟ පවා යම් එකඟතාවන්ට පැමිණීමට වෑයම් කළ බව සත්‍යය. රාජ්‍යයේ පැවැත්මට, ආරක්ෂාවට, දියුණුවට අන්තර්ජාතික බලවතකුගේ සමාගමය අවශ්‍ය බව බොහෝ රජවරු තීරණය කළ බව පෙනේ. 17 වැනි සියවසේදී විමලධර්මසූරිය රජු ලන්දේසි දූත පිරිසක නායකයා වූ ජනරාල් ස්පිල්බර්ජන් සමඟ සාකච්ඡා පැවැත්වූ බව රහසක් නොවේ. ලන්දේසීන් කොළඹ කොටුවක් හදනවා නම් බිසවත් සමඟ පැමිණ එහි ගල් අදින්නට වුවත් සූදානම් බව විමලධර්මසූරිය රජු පැවැසූ බව සඳහන්ය. එහිදී මතුවන ප්‍රශ්නය නම් කන්ද උඩරට රාජධානිය ආර්ථික හා සමාජ පරිවර්තනයක් අපේක්ෂාවෙන් සිටි බවය. ඉංගී්‍රසීන් ඉතා සූක්ෂ්ම ලෙස මේ බිම් මට්ටමේ අවශ්‍යතාවට අනුරූපව හැඩ ගැසුණු බව පැහැදිලිය.

බි්‍රතාන්‍ය පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගමට අයත් නෞකා ලංකාවට සේන්දු වූයේ 1796 වසරේදීය. ලන්දේසීන්ට යටත්ව පැවැති මුහුදුබඩ පළාත් ඉංග්‍රීසීන් අතට පත්වෙද්දී අපේක්ෂා කළ අන්දමේ යුද ගැටුමක් නිර්මාණය වූයේද නැත. බි්‍රතාන්‍යයන් යටතේ වේගවත් සමාජ සංවර්ධනයක් සඳහා ‍ෙදාරටු විවර විය. වැඩවසම් සමාජ සබඳතා අහෝසි වෙමින් සමාජ දේහයේ උත්තර් නිර්මිතය මත වෙනස්කම් රාශියක් සිදු විය.

කොළඹ හා ගාල්ල වරාය නගර වෙළෙඳ භාණ්ඩ හුවමාරු මධ්‍යස්ථාන ලෙස ශීඝ්‍රයෙන් දියුණුවට පත් විය. මුහුදුබඩ පළාත්වාසීන්ගේ ජීවිත විශාල පරිවර්තනයකට යොමු විය. බි්‍රතාන්‍ය වෙළෙඳ සමාගම් කොළඹ නගරයේ ස්වකීය ශාඛා ආරම්භ කළහ. රේන්ද හිමියන් බිහිවූ අතර රා මැදීම කර්මාන්තයක් ලෙස වැඩිදියුණු විය. ක්‍රිස්තියානි ආගම පැතිර ගිය අතර දෙව්මැඳුරු හා පල්ලි බිහි විය. අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි ඇතිවූ දියුණුව සමාජ සංවර්ධයට දැඩි බලපෑමක් ඇති විය. අශ්ව කෝච්චිය පැමිණීම, තැපෑල ආරම්භ වීමද මෙහිලා විශේෂ අවස්ථාවන්ය. මංමාවත් බිහි විය. වෙළෙන්දෝ රට අභ්‍යන්තරයට භාණ්ඩ රැගෙන ගියෝය.

මේ කිසිදු සමාජ පරිවර්තනයක් කන්ද උඩරට රාජධානියේ නොවීය. එය පැවැතියේ හුදෙකලා වූ කොදෙව්වක් පරිද්දෙනි. වැඩවසම් ක්‍රමය මත ඉතා මන්දගාමී ස්වරූපයක මහනුවර නගරය පැවැතියේය.

වැඩවසම් සමාජ සබඳතාවලට සිරවී සිටීම තවදුරටත් ඔරොත්තු නොදෙන තත්ත්වයට පත් වෙමින් තිබිණි. පහතරට පළාත්වල රාජකාරි ක්‍රමය නොපැවැති අතර මිනිස්සු තමන්ගේම නිවාසවල පදිංචිව ස්වාධීන රැකියා කළහ. පහතරට වලව් බිහි විය. රා, රේන්ද, ධීවර කර්මාන්තය හලාවත මුතු කිමිදීම සහ කුරුඳු වගාව හේතුවෙන් පහතරට වැසියන්ගේ ජීවන තත්ත්වය වෙනස් ස්වරූපයක් ගත්තේය.

උඩරට රදල ප්‍රභූන් නිලමෙලා අදිකාරම්ලා නිතර පහතරට සංචාරයේ යෙදුණු අතර ඔවුහු සිදුවෙමින් පවතින සමාජ පරිවර්තනය දුටුවෝය. පිළිමතලාව ඇහැළේපොළ වැනි ශ්‍රී වික්‍රම රජුගේ ඇමැති මණ්ඩලයේ ප්‍රධාන පෙළේ ඇමැතිවරුන්ට අවශ්‍ය වූයේ මහනුවර රාජධානියේ එක තැන සිරවී පැවැති වැඩවසම් සමාජ සබඳතා පුපුරුවා හැරීම විය හැකිය. එය ස්වකීය අර්ථ ක්‍රමය දිගේලි කිරීම සඳහා ජෝන් ඩොයිලි හා බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා තුළ පැවැති අභිප්‍රාය සමඟ නිසැක ලෙසම සමපාත විය. වැඩවසම් සමාජ ආර්ථික හැඩගැස්ම පුපුරුවා හරින්නට ශ්‍රී වික්‍රම බලයේ සිටිනතාක් ඉඩ නොලැබෙන බව ඇහැළේපොළ දැන සිටියේය. රජු සුද්දන්ට කුදලාගෙන යන්නට මඟ පෑදුවේ ඒ නිසාය.

19 වැනි සියවසේ මුල බි්‍රතාන්‍ය පාලනය කන්ද උඩ රාජධානියේ ස්ථාපිත කිරීමත් සමඟ යටත්විජිත ආර්ථිකය තහවුරු කිරීමට බි්‍රතාන්‍යයන් පියවර ගත්තේය. තැපැල් කෝච්චිය නුවර ගියේය. බෝකර්, බ්‍රවුන්ස්, කාර්ගිල්ස් වෙළෙඳ සමාගම් බි්‍රතාන්‍ය පාලනයේ මුල් අඩසිය වස තුළම මහනුවර නගරයේ ස්ථාපිත කෙරුණි. නාථ දේවාල භූමියේ ශාන්ත පෝල් පල්ලිය ඉදිකරන ලද්දේ 1824දීය. නුවර ප්‍රධාන පල්ලි තුනක් ඉදි විය. රාජකාරි ක්‍රමය සහමුලින්ම අහෝසි කර දැමුවේය. ශ්‍රී වික්‍රම රජු මුහුණ දුන්නේ මෙන්න මේ සමාජ ආර්ථික පරිවර්තනයටය. පැවැති වැඩවසම් දේශපාලන සබඳතා වෙනුවෙන් පෙනී සිටිනවා හැර වෙනත් විකල්පයක් රජුට ඉතිරිව තිබුණේ නැත. අවසානයේ ඔහු එහිම ගොදුරක් බවට පත් විය.

බ්‍රවුන්රිග්ගේ රාජාඥාව ලෙස හැඳින්වූ උඩරට ගිවිසුම විසින් යට කී පරිවර්තනයන්ට අවශ්‍ය නෛතික පසුබිම නිර්මාණය කළේය. රාජාණ්ඩුවේ නායකයන් මෙන්ම භික්ෂුන් වහන්සේද මෙම පරිවර්තනයන් දුටුවේ ප්‍රගතිශීලී පියවරයන් ලෙසය. මුල් අවුරුදු තුන 1815-18 උඩරට නායකයෝ බ්‍රවුන්රිග්ලාට පාවඩ එළමින් සිටි බව අමතක නොකළ යුතුය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon