වන්නියේ මහ වන මැද කඳවුරක දින ගණනක්

  👤  4476 readers have read this article !
2018-06-17

පරිවර්තනය - සුනිලා විජේසිංහ

එදින මධ්‍යහ්නය වනවිට අපි තවත් කොටි සාමාජිකයන් පිරිසක් හා එක් වූයෙමු. අත් හැර දමන ලද නිවෙසක ඉස්තෝප්පුවෙහි එම කණ්ඩායමේ නායකයා වාඩි වී සිටිනු අපි දුටුවෙමු. ඔහු හැඳ සිටියේ කොලරය දක්වාම සිපය ආවරණය කළ කළු පැහැති සම් ජැකට්ටුවකි. ඒ මහත්තයාය. ඔහු තම කණ්ඩායම සමඟ පැමිණෙන්නට ඇත්තේ අපට කලින් පැමිණි බෝට්ටුවකින් විය යුතුය.

ඉදිරිපස මිදුලේ රුක් සෙවණක් සොයා අපි වහ වහා වැතිරගතිමු. අප සියලු දෙනාම සිටියේ අධික වූ තෙහෙට්ටුවකිනි. කුසගින්න ද එපරිදිම විය. එහෙත් අපට ඉහළින් සෙවණ දුන් අඹ හා කොස් ගස්වල එකදු ගෙඩියක් හෝ නොතිබිණි.

මඳ වේලාවකින් අප දෙසට පැමිණියේ ට්‍රැක්ටරයකි. එහි මඩ්ගාඩය මත වාඩි වී සිටි අයෙක් අප වෙත බත් පාර්සල් දහයක් ලබා දුන්නේය. කෙසෙල් කොළවල එතූ පාර්සල් තුළ තිබුණේ රතු කැකුළු සහලේ බතක් හා මුරුංගා වෑන්ජනයකි. අපට බත් ලැබුණේ දින හතරකට පසුවය. එහෙත් බත් පාර්සල් දහය ගිල දමන්නට එහි සැදී පැහැදී බලා සිටි කටවල් ගණන හැටක් විය. ඉතාමත්ම ඉක්මනින් බත් ඇටයකුදු ඉතිරි නොකර ගිල දැමූ අපි අපිරිසුදු තුරු සෙවණේ වැතිර නින්දට වැටුණෙමු.

එදින සන්ධ්‍යාවේ තවත් තරුණයෝ දෙදෙනෙක් අප හා එක් වූහ. ඔවුන් පැමිණියේ ට් - 3 තුවක්කු උරහිසෙහි එල්ලාගෙනය. ඒ සමඟම ගැහැනු ළමුන් සඳහා මහත්තයා විසින් නිවේදනයක් නිකුත් කෙරිණි. ඒ අනුව ගැහැනු ළමයි සියල්ලෝම තෙරපි තෙරපී ට්‍රැක්ටරයේ ට්‍රේලරයට ගොඩවූහ. මඩ සහිත අතුරු පාරක් දිගේ උඩ විසිවෙමින් ඉදිරියට ඇදී ගිය ට්‍රැක්ටරය අනතුරුව තාර පාරකට සේන්දු විය. කලකට පෙර එය තාර දමා හොඳ තත්ත්වයේ තිබූ පාරක් බව පෙනෙන්නට තිබිණි.

අප පිටුපසින් වූයේ මහ වනයයි. සිහිල් සුළං අතොරක් නැතිව අපේ කම්මුල්වලට පහර දුන්නේය. වනාන්තරයේ දැව සුවඳ ඒ සුළඟේ දැවටී තිබිණි. තුරු මුදුන් අග කෙළි දෙළෙන් පසු වූ අළු හා කළු පැහැති රිළවුන් සහ වඳුරන් අප දෙස බලා සිටියේ කිසියම් සැකයකින් මෙනි. මඟ දෙපස නිදැල්ලේ ඇවිදිමින් සිටි මොනරුන්ද, මුවන්ද අපගේ පැරැණි ට්‍රැක්ටරයේ ගොරතර හ¾ඩින් බියපත්ව පලා දුවනු දක්නට ලැබිණි. මාස ගණනාවකින් මගේ සිතට කිසියම් නිදහස් නිස්කලංක බවක් දැනුණේ ඒ මොහොතේය.

මගේ මුවගට ගීතයක පද ගලා ආවේ මා ද නොදැනුවත්වමය.

"පෝහුම් පාතෙයි දුරම්,"
"වාසුම් කාලම් කොන්ජේම්."

(අප මේ තරණය කරමින් සිටින්නේ දීර්ඝ වූ ගමන්මඟකි. එහෙත් අපේ ජීවිත ඉතා කෙටිය)
මගේ සගයෝ සැබැවින්ම විමතියට පත් වූහ. මා දෙස දෑස් දල්වා බැලූ ඔවුහු ඊළඟ මොහොතේ දී මා හා අත්වැල් ගායනයට එක් වූහ.

ජීවා සුහාම් පේරා රාගා
නදියනිල් නී නීන්ද...
(එන්න මා හා එක්වන්න.
පිහිනන්න සංගීත නාදයේ....
සුවපත් කරන්නට ඔබගේ ආත්මය....)

අපි දිගටම ගායනා කළෙමු. සියල්ල අමතක කොට සිනාසුණෙමු. අප ගායනය නතර කළේ ට්‍රැක්ටරය මහ වනය තුළට ඇදී ගිය අපිරිසුදු අතුරු මාවතකට හැරෙද්දීය. අපි ඇතුළු වෙමින් සිටියේ වන්නි මහ වනයට බව මම ඒ මොහොතේ නොදැන සිටියෙමි.

අහස ඉතා පැහැදිලිව තිබූ අතර සඳ පායා බැබළෙමින් තිබුණේ අලංකාර දසුනක් මවා පාමිනි. එකා පිටුපස එකා එක පෙළට වැටෙන්නට අපි තව තවත් ගන වනය තුළට ඇදුණෙමු. පෙරමුණෙහි ගමන් කළේ පිරිමි සෙබළුය. අප ඔවුන් අනුගමනය කරමින් සිටි අතර මා සිටියේ කාන්තා පෙළෙහි තෙවැන්නාටය. මට පිටුපසින් සිටියේ අකිලාය.

එහෙයින් මට දැනුණේ සුරක්ෂිත බවකි. වන සතුන් මුණට ගැසෙනු ඇතැයි මසිතෙහි වූයේ මහත් භීතියකි. එම වනාන්තරය තුළ වෙසෙන සියයක් පමණ වන සර්ප විශේෂයන් අතුරින් එකෙක් කොයි මොහොතේ හෝ මා හට දෂ්ට කරනු ඇතැයි මසිතෙහි චකිතයක් ද විය.

අඩිපාර තරමක් පුළුල් මාවතකට වැටුණි. අපට ඉහළින් වූ අතු ඉති වියනක්ව බැඳී තිබුණේ සඳ එළිය බිඳුවකට හෝ මහ පොළොව දක්වා ගලා එන්නට ඉඩක් නොදෙමිනි. වැසි සමය නිසාවෙන් පාරේ බොහෝ තැන් ලිස්සනසුලු විය. තවත් තැනෙක දණක් උසට ගං වතුරය. එහෙත් කිසිවක්ම නොකියා තමා ඉදිරියෙන් ගමන් කරන්නා අනුගමනය කරමින් සිටියහ. හෝරාවකට කලින් දැනුණු තාවකාලික සතුට හා ප්‍රමෝදය කා හටත් අමතකව ගොස් තිබිණි. දියෙහි බැස යන අපගේ පියවර හඬ රාත්‍රි වනයේ අමිහිරි නාද රටා අතර යටපත්ව ගියේය. කෘමි විලාපයත්, වඳුරු කලබලයත්, මොනරුන්ගේ රළු හඬත් වනය පුරා අඩු නැතිව පැතිර ගියේය.

"තව කොච්චර දුරද?"
මම අපේ මඟපෙන්වන්නාගෙන් ඇසුවෙමි. ඒ වනවිට අපගේ පයින් ගමනට පැයක පමණ කාලයක් ගතවී තිබිණි.
"එච්චර නෑ."
ඔහු මිමිනුවේ හිස දෙපසට වනමිනි. ගන අඳුරේ ඔහුගේ සුදු දත් දෙපෙළ දිලිසුණි. ඔහු සිනාසුණා විය යුතුය.

ඔහුගේ පිළිතුර මට සතුටක් විය. මගේ නිරාවරණ දෙපයෙහි දෙවිළුඹ ඒ වනවිට ඉදිමී රිදුම් දෙමින් තිබිණි. දිවා ආහාරයට ලද බත් සුඟ සහ ඉන් පසුව ලද කෙටි නින්ද අතීත මතකයක් පමණක්ම විය.

අප ගමනාන්තයට පැමිණියේ පසුවදා පාන්දරට වන්නටය. කුඩා කඳු ගැටයක් පාමුලදී අපගේ වෙනත් සගයකු මුණගැසුණි. ඔහු එහි මුර සේවයේ යෙදී සිටි අතර අප අදාළ ස්ථානය වෙත යොමු කළේය.

සද්දන්ත තුරු මුදුන්වලින් ආවරණය වී තිබූ කඳු ගැටය මුදුනේ වූයේ විශාල මඩුවකි. කණු අටකින් යුක්ත වූ එහි බිත්ති නිමවා නොතිබිණි. වහලයට සෙවිලි කොට තිබුණේ පොල් අතුය. ගෙබිම නිමකොට තිබුණේ ගන රෙද්දක් පොළොව මතුපිට අතුරා ලීමෙනි. අප එහි යනවිට ගැහැනු ළමුන් කණ්ඩායමක් එහි එක් පසෙක එක පොදියට නිදා සිටියහ.

අප සූදානම් වන්නේ වනාන්තරය තුළ සැඟවී ගන්නට විය යුතුය. ජීවිතය නැවත වෙනස්ම ආකාරයකින් ආරම්භ කරන්නට විය හැකිය. මට ඒ බව අවබෝධ වූයේ එහි නිදා සිටි ගැහැනු ළමයින් දුටු විටය.

ගන තුරු වියන අතරින් සූර්යාලෝකය පෙරී ආවේ ඇසට නැවුම් දසුනක් දෙමිනි. කාන්තා කඳවුරෙහි සිටි තරුණියන් සංඛ්‍යාව පනහකට ආසන්න විය. ඒ අතුරෙන් බොහෝ දෙනෙක් පුහුණු කඳවුර තුළදී මුණගැසී තිබිණි. එය සිතට කිසියම් සහනයක් ගෙන දුනි.

එහෙත් කාංචනා ඒ අය අතරද නොසිටියාය. ඇගේ කෙළිලොල් මිත්‍රශීලී භාවය ලැබේ නම් මගේ සිත තරමක් දුරට හෝ සුවපත් වෙනු ඇතැයි මම නොයෙක් විට සිතුවෙමි. කෙමෙන් කෙමෙන් මම අඳුරු ගුලක පත්ලට ඇදී යන හැටියක් මට දැනෙමින් තිබිණි. කාංචනා කොහේ හෝ සිට පැමිණ මා ඉන් පිටතට ඇද මුදවාගනු ඇතැයි මම බලාපොරොත්තුව සිටියෙමි. එහෙත් මම ආගිය කොතැනකවත් අෑ පිළිබඳ සලකුණක් හෝ නොදුටුවෙමි.

අකිලා අම්මා කෙනකුගේ ඇල්ම බැල්ම දෙමින් නිබඳවම මා ආරක්ෂා කළ ද එය මගේ ජීවිතය පුරවාලූයේ එක්තරා ප්‍රමාණයකින් පමණකි.

මම මඩුවෙන් පිටතට පැමිණ නැවුම් වාතය ආශ්වාස කළෙමි. වනාන්තරයේ සුවඳ එහි නොඅඩුුව රැඳී තිබිණි. මීවන ශාක විශේෂයන් සහ නොයෙකුත් වර්ගයේ වැල් උසැති ගස් කඳන් වැලඳ සිටියේ බොහෝ ඇල්මෙනි. මකුළු දැල් මත රැඳී උදෑසන පිනි බින්දු මතට හිරු එළිය වැටී දේදුනු වර්ණයෙන් බැබළිණ. තොරතෝංචියක් නොමැතිව සිවු දෙසින් ගලා ආවේ කෘමි සතුන්ගේ අනවරත නාදය සහ කුරුලු ගී හඬයි. නිල් පිළිහුඩුවන්ද, රතු සහ දුඹුරු පෙඳ සහිත වළි කුකුළන් ද සුලබ දසුනක් විය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon