වන මැද වැටුණු ගුවන්යානයේ ජීවිත ගලවා ගත් ධාවන ශූරිය ලින් බ්ජෝක්ලන්ඩ්

  👤  4435 readers have read this article !
2018-06-17

වෛද්‍ය ලංකා සිරිවර්ධන

මෙක්සිකෝවේ ක්‍රිස්ටෝ කඳු වැටියට උදා වෙමින් තිබුණේ තවත් පියකරු නිසංසල උදෑසනකි. ළහිරු කිරණ ලින් බ්ජෝක්ලන්ඩ්ගේ කඳුකර කූඩාරම මත පතිත වෙමින් තිබිණි. විධායක නිලධාරිනියක ලෙස කළ රැකියාවෙන් ලැබුණු සතියක නිවාඩුව ගත කිරීමට ඇය මේ පැමිණ සිටින්නේ පෙකෝස් වනාන්තරයටය. ඒ අසලම තම කූඩාරම සවි කර ගෙන සිටියේ ඇගේ සහෝදරයා වන එරික්ය. වෙලාව උදේ 7.30 විය. නාගරික ඝෝෂාවෙන් මිදී දින කිහිපයක් සොබාදහමේ හුදෙකලා රසය විඳීමට පැමිණි ඔවුන් අමනාපයට පත් කරමින් නිසල වනය දෙදරවා ගෙන ඇසුණේ ගුවන් යානයක හඬය. එහෙත් ඒ ඇසුණේ වෙනදා පුරුදු හඬ නොවේ. අමුතු ශබ්දයකි.

දෙදෙනකු පමණක් රැගත් එම සැහැල්ලු ගුවන් යානය අහසට නැඟුණේ මීට පැය භාගයකට පෙරය. ගුවන් නියමුවා තිස් එක් හැවිරිදි ස්කොට්ය. ඔහු තෙමසකට පෙර විවාහ වී තිබිණි. බිරිය ගැබිනියක්ව සිටියාය. ජීවිතයේ බලාපොරොත්තු ඉටු වෙමින් තිබුණෙන් ඔහු සිටියේ සතුටිනි. ඔහුගේ ගමන් සගයා වූයේ දුම්රිය රියැදුරකු වූ හතළිස් අට හැවිරිදි බොබ්ය. දෙදෙනා එකිනෙකා දැක තිබුණේ එදිනම වුවත් ඉක්මනින් කුලුපග වී තිබිණි. විහිළු තහළු කරමින් සැහැල්ලුවෙන් සිටි බොබ්ට හදිසියේම වැටහුණේ ගුවන් යානය තවදුරටත් ඉහළ නැඟීම නවතා ඇති බවකි. ස්කොට් මා රැවටීමට ශිල්ප දක්වනවාවත්ද? නැත්නම් විහිළු කරනවාවත්ද?

ඔහු සිනාවකින් ස්කොට් දෙස බැලුවේය. එහෙත් පළපුරුදු නියමුවකු වූ ස්කොට්ගේ මුහුණේ පිළිතුරු සිනාවක් ඇඳුණේ නැත. තත්ත්වය බැරෑරුම් බව ඔහුගේ මුහුණින් කියැවිණි. ගුවන් යානය ඉහළට පියාසර කිරීම වෙනුවට විනාඩියට මීටර් දෙසීයක වේගයෙන් පහත බසින බවකි. පහළ කඳුගැට සහිත වනාන්තරය ඔවුන් සිටින දෙසට විශාල වෙමින්, වේගයෙන් ඇදී එනවාක් සේ පෙනේ. හදිස්සියේ ඔහු දුටුවේ හිරු එළියට දිලිසෙන හිම සහිත තණ නිල්ලකි. ඔහු උපරිම වෙර යොදා යානය ඒ මතට පහත් කර ගැනීමට වෑයම් කළේය. බිම ගැටෙද්දී වන කම්පනය අවම කර ගැනීමට රෝද පිටතට ගැනීමද සිදු කළේය.

එහෙත් අවාසනාවක මහත. උස තණගොල්ල යට පැතිරී තිබුණේ දැවැන්ත ගල් කුළකි. යානය මහ හඬක් නංවා ගෙන ඒ මත පතිත වුණු අතර ඉන්ධන ටැංකිය පුපුරා ගියෙන් එකවරම ගිනි ජාලාවක් පැන නැංගේය. ඇඳුම්වලට ගිනි ඇවිළෙද්දීම අතපය මුහුණ පිලිස්සෙද්දීම, ගිනි ජාලාව අතරින් ඔවුන් පිටතට රිංගා පැමිණියහ. මහත් වේදනාවෙන් කෑ ගසමින්, තෙත පින්නේ බිම පෙරළෙමින් ගිනි නිවා ගැනීමට උත්සාහ කළේය.

තම කෑම්ප් එක අසලම කඩා වැටුණු යානය දෙසට දිව ආ ලින් හා එරික් දුටුවේ මීටර් පහක් උසට නැඟෙන ගිනිදලුය. ඒ එක්කම ඔවුන් දුටුවේ බියකරු දර්ශනයකි. ඒ අසලම ගිනි ගන්නා ඇඳුම් සහිතව බිම පෙරළෙන දෙදෙනෙකි.

ප්ලේන් එකේ තව කවුරු හරි ඉන්නවාද? උදවු ඉල්ලා පණිවුඩ යැව්වාද? ලින් දිව ආවේ අෑත සිටම කෑ ගසමින්ය. ඔවුන් දෙදෙනා පමණි. උදවු ඉල්ලා රේඩියෝ පණිවුඩ යැවීමට වෙලාවක් තිබී නැත. ලැබුණු පිළිතුර එය විය. ඔවුන් සිටින්නේ හෙක්ටයාර් ලක්ෂයක කඳුකර වනයකය. ඇගේ මෝටර් රථය ඇත්තේ සැතපුම් විස්සක දුරකිනි. උදවු ගැනීමට නම් පළමුව එතැනට යා යුතුය.

ලින් හා එරික් දෙදෙනා එක්ව, තැන තැන ලේ වැගිරෙන සිරුරින්ද, බරපතළ පිලිස්සුම් තුවාල ද සහිතව සිටි ඔවුන්ව කූඩාරම වෙත ගෙන ගියහ. මොහොතක් වත් පමා නොවී, වහා තම දිවීම් සපත්තු දමා ගත් ලින්, වතුර බෝතලයත්, කොම්පස් එක, ග්ලූකෝස්, ඇතුළු හදිසි අවස්ථාවකට ගත යුතු අඩු වැඩිය සහිත මල්ලත් ගෙන එතැනින් පිටත් වන විට වේලාව 8.15 විය.

ලින් ජෝක්ලන්ඩ් මැරතන් ශූරියකි. දුර දිවීමේ රන් පදක්කම් ලබන විට ඇගේ වයස අවුරුදු විසි හතරකි. ජීවිතයේ අප යමක් පුරුදු පුහුණු කරන්නේ කිසියම් දවසක කිසියම් සුවිශේෂි මොහොතක් වෙනුවෙන් නොවේද? දැන් ඇයට ඒ මොහොත උදා වී ඇත. ඇය මෙතෙක් දිවීම කර ඇත්තේ ඇය සඳහාය. තරග ජය ගැනීමටය. එහෙත් දැන් සතළිස් හැවිරිදි වියේ පසුවන ඇය වෙනත් දෙදෙනකුගේ ජීවිතය රැක දීමට දිව යන්නට වූවාය. ඇගේ දිවීම කොතරම් කාලයක් ගනීද, ඒ කාලය ඇතුළත ඔවුන්ගේ පණ ඉතිරිව තිබේද නොදැනම, ඒ ගැන නොසිතාම, එකම අරමුණකින් ඇය දිව්වාය. රළු කඳුගැට සහිත අසීරු වනය මැදින් දිව ගියාය. හති ඇරීමට විවේක ගැනීමට වැය කළ නොහැකි තරමටම හැම තත්ත්පයක්ම වැදගත් බව සිහිකරමින්, ලිස්සා යෑම්වලට, වැටීම්වලට ඉඩක් නැතිවම දිව්වාය. වරින් වර කොම්පාසුවේ ආධාරයෙන් මඟ සොයා ගනිමින් දහදිය වැගිරෙද්දී, දෙපා මස්පිඩු වේදනාවෙන් කකියද්දී දිගටම නොනැවතී දිව්වාය.

ඒ අතර එරික් තමා භාරයේ සිටි මිනිසුන් දෙදෙනාගේ බිහිසුණු පිලිස්සුම් තුවාලවලට හැකි පමණින් ප්‍රතිකාර කරමින්, වරින් වර ජලය පොවමින් රැක බලා ගත්තේය.

පැය තුනකට පසු එනම් වෙලාව පෙ.ව 11.15 වන විට, සැතපුම් විස්සක් දුර ගෙවා, ලින් අගේ මෝටර් රථය වෙත ළඟාවූවාය. වහා රථයට නැඟ ගත් ඇය නිවාඩු නිකේතනයට ළඟා වී උදවු ඉල්ලා දුරකථන ඇමතුමක් ගන්නා විට වේලාව 11.38 විය.

දවල් 1.30 වන විට ඇසුණු හෙලිකොප්ටර් හඬ ස්කොට්, බොබ් මෙන්ම එරික්ද ඇසූ මිහිරිම හඬ වන්නට ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon