සිංහරාජයට අත නොතබනු

  👤  4029 readers have read this article !
2018-06-17

සිංහරාජ වනයේ විසූ අවසන් අලින් දෙදෙනා අල්ලන මෙහෙයුම වනජීවී අමාත්‍යාංශය විසින් සිකුරාදා හවස් වනවිටත් නවතා දමනු ලැබ තිබුණේ නැත. ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සිංහරාජයේ වනඅලි අල්ලන මෙහෙයුම නවතා දමන ලෙස නියෝග කර පැය 24ක් ගතවීත් වනඅලි පස්සේ පන්නන නිලධාරීහු ආපසු හැරුණේ නැත.

අප මේ දිවයිනේ අඳුරුම කාල පරිච්ඡේදයේ ජීවත් වන මිනිසුන් දැයි සිතෙන තරමට තත්ත්වය සංවේගජනක වී තිබේ. මෙරට බොහෝ ස්වාභාවික වනාන්තරවල මේ වකවානුවේදී මිය යන්නේ අවසන් දළ ඇතාය. අවසන් ගෝනාය, මුවාය. එසේ නැති නම් අවසන් වලසාය. අප සියලු වනසතුන් මරා කා අවසන් කොට අපට පමණක් තනිව ජීවත් විය හැකි යැයි සිතන පෘථිවියේ වෙසෙන අමන ජන කොට්ඨාසයකට අයත් වූවන් යැයි සිතේ.

කලකට ඉහත තෙත් කලාපීය වැසි වනාන්තරවල ජීවත් වන හස්තීන් 12කට ආසන්න රංචුවක් සිංහරාජයේ ජීවත් වූහ. මෑතකදී එම අලි ගහනය 7ක් දක්වා අඩු වූ අතර අද සිටින්නේ දෙදෙනකු පමණි. එම සතුන් දෙදෙනාද කුදලා ගෙන ගොස් සිංහරාජය නිදහස් කර ගන්නට හදන්නේ කුමකටදැයි සිතාගත නොහැකිය.

සිංහරාජ වනාන්තරය හෙක්ටයාර් 11,250ක පැතිර පවතින ජාතික වනෝද්‍යානයකි. එහි පිහිටි උස මීටර් 300-1,170ට සීමා වේ. සිංහරාජය යුනෙස්කෝව විසින් ජෛව ගෝල රක්ෂිතයක් ලෙස 1978 වසරේද, ලෝක උරුම අඩවියක් ලෙස 1988 වසරේද නම් කරන ලදී. එය ලොව ඉහළම ජෛව හා ශාක විවිධත්වයෙන් යුතු නොඉඳුල් වැසි වනාන්තරයකි.

සිංහරාජය අපේ තනි බුක්තියට අයත් වූවක් නොවේ. එය ලෝක උරුමයකි. ලෝකවාසී සෑම මනුෂ්‍යයකුටම ඊට උරුමය තිබේ. ඉහේ උකුණන් සූරා දමන්නා සේ සිංහරාජයේ අලින් අල්ලා බැඳ දමන්නට කිසිවකුට අයිතියක් නැත. වනජීවී අමාත්‍යාංශයට පැවරී තිබෙන්නේ ලෝකවාසීන් වෙනුවෙන් එම අයිතිය රැක දීමේ වගකීම බව ඔවුන් වටහා ගත යුතුය.

අද සිංහරාජ වනාන්තරය උපද්‍රව ගණනාවකට මුහුණදී තිබේ. හෙක්ටයාර් සිය ගණන් වනය, මායිමේ කැලය එළිකරන මිනිසුන් ඉඩම් අල්ලාගෙන තේ වගා කරති. වනයට රිංගා ගත් දේශපාලන බල පුළුවන්කාරයෝ ගස් කපා කඳන් පටවති. වනාන්තරය මැද වාඩි ගසාගෙන මැණික් ගරති. වල්ලපට්ටා ශාකය සොයා කැලෑ වදින මිනිස්සු වන උරුමයට නොසිතූ විරූ හානි පමුණුවති. මස්වැද්දෝ සතුන්ට ගිනි බිඳිති. කලවාන, වැද්දාගල, දෙණියාය, නෙළුව, රක්වාන, සූරියකන්ද, බදුරලිය මේ සෑම ඉසව්වකින්ම උවදුරු අඩුවක් නැතිව සිදුවෙමින් පවතී.

අලින් දෙදෙනා වධයක් වී තිබෙන්නේ නීති විරෝධී ජාවාරම්වල යෙදෙන මිනිසුන්ටය. ආණ්ඩුව ගත යුත්තේ ජාවාරමුන්ගේ පැත්ත නොවේ. පොළොවෙහි හා දියෙහි වසන සත්ත්වයන්ද, අහසේ පියාඹන කුරුල්ලෝද රැක බලා ගැනීම රජුගේ වගකීම බව මිහිඳු මහ රහතන් වහන්සේ මිහින්තලාවේදී දෙවන පෑතිස් රජුට දේශනා කළ බව අමතක නොකළ යුතුය. සිංහරාජයේ අලි දෙදෙනා රැක ගත යුතු බව යුනෙස්කෝව ඇහැට ඇඟිල්ලෙන් ඇන කියාදෙන තුරු සිටීම ගැන අප ලැජ්ජා විය යුතුය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon