උඩගිය අයට රිදෙන්න මහින්ද ඉඹුල්ගොඩදී ඇන්න ටොක්ක

  👤  5865 readers have read this article !
2018-06-17

මුතුරාජවෙල වගුරු බිමේ අනවසර පදිංචිකරුවන්ට හිමිකම් ඔප්පු

අමාත්‍ය මණ්ඩල රැස්වීම පසුගිය අඟහරුවාදා (12දා) ජනාධිති කාර්යාලයේදී පැවැත්විණි. මුතුරාජවෙල සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මුතුරාජවෙල වගුරු බිමෙහි අනවසර පදිංචිකරුවන් ඉවත් කරන ලද නමුත් නැවතත් එම අයට වගුරු බිමෙහි පදිංචිය සඳහා හිමිකම් ඔප්පු ලබා දීමට මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති චම්පික රණවක ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවිය. මුතුරාජවෙල අවරකොටුවේ ඔවුන් පදිංචි කරවනු ඇත.

දුම්රිය එන්ජින් 12ක්
මිලදී ගැනීමේ අනුමැතිය

උඩරට දුම්රිය මාර්ගයේ මෙහෙයුම් වැඩිදියුණු කිරීම සඳහා දුම්රිය එන්ජින් 12ක් මිලදී ගැනීමට අගමැති රනිල් ඉදිරිපත් කළ යෝජනාවටද අනුමැතිය ලැබිණි. ඊට අවශ්‍ය ප්‍රතිපාදන ඇ.ඩො. මිලියන 48.67ක් කැනඩා අපනයන සංවර්ධන ආයතනයේ සහයෝගය මත ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව වෙතින් ලබා ගනු ඇත.

දුම්රිය මැදිරි 160ක කොන්ත්‍රාත්තුවක්

දුම්රිය සේවාව වැඩිදියුණු කිරීමේ අරමුණින් ඉන්දියානු ණය ආධාර යටතේ දුම්රිය මැදිරි 160ක් මිලදී ගැනීමට ඇමැති නිමල් සිරිපාල ගෙනා යෝජනාවටද අනුමැතිය ලැබිණි. ඇ.ඩො. මිලියන 82.62ක් වූ අදාළ කොන්ත්‍රාත්තුව එම්.එස්. රයිට්ස් ලිමිටඩ් සමාගමට පිරිනමනු ඇත.

සමෘද්ධි සහනාධාර
ලබන්නන් ප්‍රමාණය 150,000කින් වැඩි කෙරේ

දැනට සමෘද්ධි සහනාධාර ලබන පවුල් සංඛ්‍යාව මිලියන 1.38කි. අඩු ආදායම් ලබන තවත් පවුල් විශාල සංඛ්‍යාවක් සිටිති. ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අනුමැතියට යටත්ව සහනාධාර ලබන්නන් සංඛ්‍යාව 150,000කින් වැඩි කිරීමට සමාජ සවිබල ගැන්වීමේ ඇමැති හැරිසන් ගෙනා යෝජනාවටද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය.

රාජ්‍ය සේවය සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම

රජයේ සේවය සඳහා උපාධිධාරීන් බ¼දවා ගැනීමට ස්වදේශ කටයුතු ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර ගෙනා යෝජනාවටද ඇමැති මණ්ඩල අනුමැතිය හිමිවිය. මෙහිදී අදහස් දැක්වූ ජනපති ප්‍රකාශ කළේ උපාධිධාරීන්ගේ රැකියා ප්‍රශ්නය ඉක්මනින්ම විසඳනවා උපාධිධාරීන් බඳවා ගැනීමේදී අභ්‍යන්තර උපාධිධාරීන් කෙරෙහි වැඩි අවධානය යොමු කරන ලෙසය. ඔවුන්ගේ විෂය දැනුම හා කුසලතාව වැඩි බවද පෙන්වා දී තිබිණි

ඊශ්‍රායලය සමඟ තානාපති සබඳතා හදා ගන්නැයි
මාරපන ඉල්ලයි

ඊශ්‍රායලය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩනඟා ගත යුතු බවට තිලක් මාරපන ඇමැතිවරයා ගෙනා යෝජනාවක් කැබිනට් මණ්ඩලය පසෙකින් තැබීය. එය දීර්ඝ වශයෙන් සලකා බලා එළැඹිය යුතු නිගමනයක්ය යන්න ජනපතිගේ අදහස වූවේය.

මරාගෙන මැරුණු බාබුටත් වන්දි ගෙවනවාද

උතුරු සහ නැඟෙනහිර පළාත්වල පැවැති ගැටුම්වලට මැදිවී පීඩාවට පත් තැනැත්තන් සඳහන් බලහත්කාරයෙන් අතුරුදන් කරවූ තැනැත්තන් වෙනුවෙනුත් වන්දි ප්‍රදානය කළ යුතු බවට ඇමැති ස්වාමිනාදන් විසින් ඇමැති මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබිණි. එකී යෝජනාව කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරද්දී මේ යෝජනාව අනුව එල්.ටී.ටී.ඊ. සටන්කරුවන් සඳහාද වන්දි ලබාදිය යුතු බව කියවෙනවා යැයි ඇමැති පාඨලී ප්‍රශ්නයක් මතු කළේය. ඇමැතිවරයා තර්කයක් මතු කරමින් ප්‍රශ්න කළේ රණසිංහ ප්‍රේමදාස ජනපති සමඟ මරාගෙන මැරුණු බාබු වෙනුවෙනුත් වන්දි ගෙවිය යුතුද කියාය. කෙසේ වුවද ස්වාමිනාදන්ගේ යෝජනාව පසෙකින් තැබිණි.

භූමිතෙල් සහනාධාර

ලෝක වෙළෙඳපොළේ මිල ගණන්වලට සාපේක්‍ෂව භූමිතෙල් මිල ඉහළ දැමිය යුතු බව ප්‍රකාශ කළ ආණ්ඩුව භූමිතෙල් ලීටරය රු. 101 දක්වා වැඩි කළේය. විශේෂයෙන් ධීවර ජනතාවගේ උද්ඝෝෂණ හමුවේ එය රුපියල් 70 දක්වා පහත දමන්නට අඟහරුවාදා කැබිනට් මණ්ඩලය තීරණය කළේය. එහෙත් ඇතැම් ධීවර සමිති භූමිතෙල් මිල රුපියල් 45ක් විය යුතු බවට උද්ඝෝෂණ ඉදිරියට ගෙන යති. දැනට බහුදින යාත්‍රා සඳහා දෙනු ලබන සහනයක් පිටත එන්ජින් සවිකළ බෝට්ටු සඳහාද ලබාදෙන ලෙස කැබිනට් රැස්වීමේදී ඇමැති විජයමුනි ඉල්ලා සිටියේය. එහෙත් මුදල් ඇමැති මංගල එය ප්‍රතික්‍ෂේප කළේය.

සැප්තැම්බර් 2 ශ්‍රී ල.නි.ප.ය
ප්‍රබල දේශපාලන
තීන්දුවක් ගන්නවා

සැප්තැම්බර් 2 ශ්‍රී ල.නි.ප.ය ප්‍රබල දේශපාලන තීන්දුවක් ගන්නා බව ජනාධිපති මෛත්‍රි 14දා 16 කණ්ඩායමට ප්‍රකාශ කර ඇත. ජනපති කාර්යාලයේ පැවැති 16 කණ්ඩායමේ එම සාකච්ඡාවට 12 දෙනකු පමණක් සහභාගි විය. ජනපති හැරුණු විට එහි සිට ඇත්තේ මහ ලේකම් රෝහණ ලක්‍ෂ්මන් පමණි. එහිදී ඔවුන් තදින්ම ප්‍රකාශ කර ඇත්තේ පක්‍ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවයි. එ.ජා.ප.යට විරුද්ධව ඒකාබද්ධ විපක්‍ෂය සමඟ ගොඩනැඟී තිබෙන පුළුල් සන්ධානය පක්‍ෂයට එක්විය යුතු බව ඔවුන්ගේ අදහස වී තිබේ. එ.ජා.ප. වුවමනාවන්ට අනුව වැඩ කරන ශ්‍රී ල.නි.ප. ප්‍රධාන තනතුරු දරන අය සමඟ පක්‍ෂ ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය සිදුකළ නොහැකි බවද 16 කණ්ඩායමේ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් කියා ඇත.

වැඩි බලය ඇත්තේ
මහ ලේකම්ටද
ජාතික සංවිධායකටද

මහ ලේකම්ට වඩා වැඩි බලයක් ජාතික සංවිධායක සතු බවට මහින්ද අමරවීර ප්‍රකාශ කර ඇති බව ඩිලාන් කියා ඇත. මෙහිදී ජනපති පැහැදිලි කර ඇත්තේ පක්‍ෂයේ සංවිධාන කටයුතු විධිමත්ව හා පුළුල්ව සිදු කරන අදහසින් පසුකාලීනව ජාතික සංවිධායක තනතුර ඇති කරන ලද බවය. අනුර සහ බැසිල් මෙයට පෙර එම තනතුර දරා ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය. 16 කණ්ඩායම හැටියට ඉදිරියට යෑමට වෙනම වැඩපිළිවෙළක් අවශ්‍ය බවද ඔවුහු ජනපති දැනුවත් කළහ.

මෛත්‍රි ජනාධිපති
මහින්ද අගමැති

මෛත්‍රි ජනපති මහින්ද අගමැති වැඩපිළිවෙළකට යෑම එ.ජා.ප.ය පරාජය කිරීමේ හොඳම උපාය මාර්ගය බව 16 කණ්ඩායම වෙනුවෙන් ඩිලාන් කීය.

''මතක නැද්ද ඕව කියන්න ගිහින් රෝහිතගේ බඩ පුරා කෑවා''
යැයි ජනපති ඊට පිළිතුරු වශයෙන් කියා ඇත.

''අපට යූ.ඇන්.පීයත් ගහනවා ඒකාබද්ධයත් ගහනවා දෙපැත්තෙන්ම කන්න වෙලා'' ඩිලාන් කියා ඇත. මේ අතර 16 කණ්ඩායම ජනපති සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී ටී.බී. ඒකනායක පොහොට්ටුවට එකතු වීමට කරන ලද ඉල්ලීමක්ද අසන්නට ලැබිණි.
''මම පොඩි මුට්ටියක් දාලා බැලුවා'' යැයි ටී.බී. කීවේය.'

මස් කටුවේ
මස් ටික කාලා
ඇතුළත් සූප්පු කරන්න බලා
ඉන්න හාදයෝ කවුද..?

ශ්‍රී ලනිප 16 කණ්ඩායම තමන් පිළිනොගන්නා බවත් පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගත්තොත් පමණක් ඔවුන් ගැන සලකා බලන බව බැසිල් රාජපක්ෂ නෙළුම් මාවතේ පැවැති මාධ්‍ය හමුවකදී කීවේය. කුකුල් දෙක දෙපැත්තේ තියාගෙන කටයුතු කරන උදවිය ගැන විශ්වාසය තැබිය නොහැකි බවද හෙතෙම අවධාරණය කළේය. එහිදී බැසිල් තවත් අපූරු උපමාවක්ද යොදාගෙන තිබේ. මස්කටුවේ මස් ටික කාලා ඇතුළත් සූප්පු කරන්න බලාගෙන ඉන්න කට්ටියක් ඉන්නවා. ඒක හරියන්නේ නැති බවද බැසිල් කීවේය.

පොහොට්ටුවේ නායකයා මහින්ද අපි මහින්ද එක්ක කතා කළා එස්.බී. කියයි
16 කණ්ඩායම එක් එක් පක්ෂ සමඟ විශේෂ සාකච්ඡා වටයක් ඉකුත් සතිය පුරා පැවැත්වීය. පළමු කොට මහින්ද සමඟ සාකච්ඡා කළේ විජේරාම පාරේ මහින්දගේ නිල නිවෙසේදීය. අනතුරුව ඩිව් ගුණසේකර ඇතුළු වමේ පක්ෂ නායකයන් කිහිපපොළක්ද ඔවුහු මුණගැසුණහ. මේ අතර එස්.බී. දිසානායක ඇමතූ බැසිල් ඔහු සමඟ සාකච්ඡා නොකරන්නේ මන්දැයි යන්න පිළිබඳවද ඉඟියක් දක්වා ඇත.

"අපි පොහොට්ටුව සමඟ සාකච්ඡා කළා පොහොට්ටුවෙ නායකයා මහින්දනෙ. එයා එක්ක කතා කළා තව මොනවද" එස්.බී. කියා ඇත.

"නැහැ මම කිව්වෙ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ක ඔයාලා කතා කළේ නැහැනෙ"
"ඉතින් පොදුජන පෙරමුණේ නායකයා මහින්දනේ අපි මහින්ද එක්ක තමයි මුලින්ම කතා කළේ" එස්.බී. බැසිල්ට පැහැදිලි කර දුන්නේය.
මේ අතර 16 කණ්ඩායම මාතලේ පැවැති උත්සවයකදී සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීය.

මහින්ද අමරවීර
එහෙම කීවේ නෑ

ජනපති - අගමැති ඇතුළු ආණ්ඩුවේ ප්‍රබලයන් පිරිසක් පසුගියදා පවත්වන ලද විශේෂ සාකච්ඡාවක් පිළිබඳව ඉකුත් සතියේ කැබිනට් එක තීරයේ අපි සඳහන් කළෙමු. එහිදී රාජපක්ෂවරුන් සම්බන්ධ නඩු ඉක්මන් කළ යුතු බවට ඇමැති මහින්ද අමරවීර ප්‍රකාශ කළ බව සඳහන් වූයේ ප්‍රමාද දෝෂයකිනි. ඒ සම්බන්ධව මහින්ද අමරවීර මහතාට කනගාටුව පළ කරමු.

ඔයාට කවුරුහරි එන්න එපා කිව්වද මහින්ද ප්‍රා. සභා සභාපතිගෙන් අහද්දී ප්‍රසන්න නැගිට යයි

හිටපු අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායකගේ පියාණන් වන අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.ඩී. බණ්ඩාරනායක මහතාගේ පිළිරුවක් පසුගියදා ඉඹුල්ගොඩ මංසන්ධියේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

මේ අවස්ථාවට එම පවුලේ සාමාජිකයන්ට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න

රණතුංග, හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන, පළාත් සභා මන්ත්‍රිවරුන් වන සුනිල් විජේරත්න, ලක්ෂ්මන් ගුණවර්ධන, ගම්පහ නගරාධිපති එරංග සේනානායක, ප්‍රාදේශීය සභා සභාපතිවරුන් වන රංජිත් ගුණවර්ධන, සුදීමා චාන්දනී සහ නාගරික මන්ත්‍රි සමිත දිසානායක ඇතුළු පිරිසක්ද එක්වූහ. පිළිරුව විවෘත කිරීමෙන් අනතුරුව පැමිණි ආරාධිතයන් වෙනුවෙන් ඉඹුල්ගොඩ "ලක්නාරා" හෝටලයේදී තේ පැන් සංග්‍රහයක් සූදානම් කර තිබිණි.
මේ අවස්ථාවේ මහින්ද රාජපක්ෂ මහතා එකවරම මහර ප්‍රාදේශීය සභාවේ සභාපති සුදීමා චාන්දනී දෙස බැලුවේය.

"ඕගොල්ලො අපි කිව්වට එන්නෙ නෑනෙ දැන් නේද..? එදා මම ඔයාගේ කොට්ඨාසයට ආපු නිසා රංජිත් ඔයාට කතා කරලා එදා එන්න කියලා තිබුණේ. ඔයා ආවේ නෑනේ" යැයි මහින්ද රාජපක්ෂ මහතා කීවේය.

"අනේ... නෑ සර්..." යැයි කියමින් සභාපතිවරිය සිටි තැනින් තරමක් පස්සට ගියාය.
"නෑ නෙවෙයි ඇයි ඔයාට කවුරු හරි එන්න එපා කිව්වද..? දැන් එහෙමත් කියන කට්ටිය ඉන්නවා නේද..? ඕගොල්ලො දැන් හොඳටම උඩ ගිහිල්ලානෙ ඉන්නේ නේද..?" යැයි මහින්ද රාජපක්ෂ මහතා යළිත් වරක් කීවේය.

"අනේ නෑ සර්.. නෑ සර්.." යැයි කියමින් සුදීමා චාන්දනී සභාපතිවරිය කඳුළු සලමින් පස්සෙන් පස්සට ගොස් රැස්ව සිටි පිරිස අතරින් මුවා වූවාය.

මේ අවස්ථාවේ ප්‍රසන්න රණතුංග මන්ත්‍රිවරයා නැඟිට එම ස්ථානයෙන් පිටව ගියේය.
තේ පැන් සංග්‍රහය අවසන් වී මහින්ද රාජපක්ෂ මහතා හෝටලයෙන් පිටත් වීමට සූදානම්වී" කෝ ප්‍රසන්න යැයි වටපිට බැලුවේය

ප්‍රසන්න රණතුංග මන්ත්‍රිවරයා ඒ වනවිටත් හෝටලයෙන් පිටත්ව ගොස් තිබිණි.
අනතුරුව එදිනම පස්වරුවේ මහර ප්‍රාදේශීය සභාවේ සභාපතිනි සුදීමා චාන්දනී හිටපු ජනාධිපතිවරයා මුණගැසී සමාව ඉල්ලා සිටියාය.

ඥානසාර හිමියන්
සිරගත වීම

අතුරුදන් මාධ්‍යවේදී එක්නැලිගොඩගේ බිරිය සන්ධ්‍යාට හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී බැන තර්ජනය කිරීම හා සාපරාධී බිය ගැන්වීම යන චෝදනා ලැබු ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මාස 6ක සිර දඬුවම් නියම වීම ඉකුත් සති අන්තයේ සමාජ අවධානයට හේතුවිය. උන්වහන්සේ වැලිකඩ බන්ධනාගාරය වෙත ගෙන යන ලදුව සිවුරෙන් ඉවත්ව ජම්පරයට යොමු කිරීම ගැන දැඩි කතාබහක්ද ඇතිවිය. දඬුවම් ලැබූ බොහෝ භික්ෂුන් වහන්සේලා මේ අවස්ථාවට මුහුණ දුන් බව බන්ධනාගාර නිලධාරීහු පැවැසූහ.

වංගු එපා කෙළින් එන්න

මහින්ද පසුගිය සෙනසුරාදා ගම්පහ බලා ගියේ ඉඹුල්ගොඩ වීරයා යැයි විරුදාවලිය ලත් එස්.ඩී. බණ්ඩාරනායකගේ පිළිරුව විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමටය. පිළිරුව ඉදිකර තිබුණේ ඉඹුල්ගොඩය. එස්.ඩී. බණ්ඩාරනායකගේ පුත් පණ්ඩු බණ්ඩාරනායක පසුගිය කාලයේ මෛත්‍රි පාර්ශ්වයට සහාය දක්වමින් සිටියද ඔහු දැරූ ආසන සංවිධායකකම සති කිහිපයකට පෙර මෛත්‍රි විසින්ම ඉවත් කර තිබිණි.

මෙම උත්සවයට සහභාගි වීම සඳහා ප්‍රසන්න රණතුංග කලින්ම පැමිණ සිටි අතර ඒකාබද්ධයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රිවරුන් වන ප්‍රසන්න රණවීර, ඉන්දික අනුරුද්ධ ඇතුළු පිරිසක්ද ප්‍රසන්න සමඟ වූහ.

ප්‍රසන්න දුටු එක් ව්‍යාපාරිකයකු "ආ මන්ත්‍රිතුමා එන්න ඉස්සරහට, දැන් ඉතින් යහපාලනේ කට්ටිය ඉස්සරහට එන කාලෙනේ. එයාලට දැන් තමයි අපිව මතක් වෙලා තියෙන්නේ" යැයි කීවේ ප්‍රසන්නට පිටුපසින් සිටි සුදර්ශනී දෙසද බලමිනි. ව්‍යාපාරිකයාගේ කතාව ඇසුණු පණ්ඩු ප්‍රසන්නට සුදර්ශනීව ඇහෙන් පෙන්වීය.

"ඕවා ගණන් ගන්න එපා. අපි එයාලා එන එකට අකැමැති නැහැ. නොමඟ ගිය අය යහමඟට එනවා දකින්න තමයි අපිත් කැමැති. හැබැයි එන අය කෙළින් එන්න ඕනේ වංගු ගහන්නේ නැතිව" ප්‍රසන්න ඇඟටපතට නොදැනී කීවේය.

අතුල් කේෂාප්-මහින්ද හමුවීම

ඉරිදා උදෑසන ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති අතුල් කේෂාප් මහින්ද හමුවීමට විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවෙසට පැමිණියේය. මහින්දගේ පෞද්ගලික ලේකම් උදිත් ලොකුබණ්ඩාරද මෙම අවස්ථාවට සහභාගිව සිටි අතර වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ මෙහිදී මහින්ද අදහස් දැක්වීය.

දෙපැයකට ආසන්න කාලයක් මෙම සාකච්ඡාව පැවැති අතර පසුව යාපනයේ පළවන ද්‍රවිඩ මාධ්‍ය පුවත්පතක් සහ සමාජ ජාල හරහා පැතිර ගියේ ඉදිරි ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ඇමෙරිකාව අප්‍රසාදය පළ කර ඇති බවය. එහෙත් මහින්දගේ පාර්ශ්වය එම පුවත ප්‍රතික්ෂේප කළ අතර එවැනි කිසිදු අදහසක් එම සාකච්ඡාවේදී කතාබහකට ලක් නොකෙරුණු බවත් අවධාරණය කෙරිණි.

ඇමැතිවරුන්ගේ යාළුවෝ පාතාලේ රජ වෙලාලු

එදින සවස මහින්ද කරන්දෙණිය බලා ගියේ ඝාතනයට ලක්වූ කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාට අවසන් ගෞරව දැක්වීමටය. මේ දිනවල රට පුරා යහමින් පැතිර යමින් තිබෙන පාතාලයේ ගොදුරක් බවට පත්වීමට උප සභාපතිවරයාට සිදුව තිබිණි.
රමේෂ් පතිරණ සහ මොහාන් ද සිල්වා යන මන්ත්‍රිවරුන් ද සමඟ සම්පත් අතුකෝරාල ද මෙම අවස්ථාවට සහභාගිව සිටි අතර මහින්ද ඇතුළු පිරිස සාකච්ඡා කළේද පාතාල ලෝකයේ හිස එසවීම සම්බන්ධයෙනි. "අපේ ආණ්ඩුව තිබුණු කාලේ නම් සර්ලට පින් සිද්ධ වෙන්න පාතාල ලෝකය මර්දනය වෙලා තිබුණා. අද චණ්ඩි පාට් දාන පාතාලයෝ සේරම හිටියේ මර බයේ රටින් පැනලා. හැබැයි මේ ආණ්ඩුව ආවා විතරයි සේරම ටික ආපහු ලංකාවට ඇවිත් වැඩ පෙන්වන්න පටන් ගෙන" සම්පත් පැවැසීය.

"ඒක ඇත්ත. යහපාලන ආණ්ඩුව ඇවිත් ගෙවුණු අවුරුදු තුනට දකුණේ පාතාලයේ ශීඝ්‍ර වර්ධනයක් වුණා. දැන් හැමතැනම මිනීමැරුම්. දකුණේ මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න තිබුණු ඉඩත් යහපාලන ආණ්ඩුව නිසා නැති වුණා" රමේෂ් පැවැසීය.

"පාතාලය මර්දනය කරන්න බැරි වෙලා තියෙන්නේ මේ ආණ්ඩුවේ ඉන්න ලොකු ලොක්කෝ සේරම පාතාලයට යටින් උදවු කරන නිසයි. මේ ආණ්ඩුවේ ඉන්න ඇමැතිවරුන්ගේ හොඳම යාළුවෝ ටික තමයි ඔය පාතාලයේ රජවෙලා ඉන්නේ. ඒ හින්දා පොලිසියටත් වෙලා තියෙන්නේ සද්ද නැතුව ඉන්නයි" මහින්ද පැහැදිලි කළේය.

මහින්දගේ කරේ එල්ලිලා පාර්ලිමේන්තුවට රිංගා ගන්න බලන් ඉන්න කට්ටිය

අඟහරුවාදා හවස 5ට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසේදී පැවැත්වුණේ මහින්දගේ ප්‍රධානත්වයෙනි. මෙහිදී විශේෂයෙන්ම සාකච්ඡාවට ලක්වූයේ නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම, සුදර්ශනීගේ පරාජය සහ ඉදිරි දේශපාලන තත්ත්වය සම්බන්ධයෙනි. බැසිල් ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියේය.

"මේ දවස්වල ඒකාබද්ධ විපක්ෂයේ බෙදීමක් ගැන මතවාදයක් වපුරන්නට උත්සාහ ගනිමින් සිටිනවා. ඒකාබද්ධ විපක්ෂය කියන්නේ පක්ෂ කිහිපයක එකතුවෙන් හැදුණු දෙයක්. ඒ පක්ෂ අතර විවිධ මතවාද තියෙනවා. ඒ මතවාද කලින් ප්‍රකාශයට පත්වුණාම තමයි ඒකාබද්ධය බෙදිලා කියලා ආණ්ඩුව දේශපාලන වාසියක් ගන්නේ.

ඒ නිසා අපි කවුරුත් අපේ මතවාද ප්‍රකාශ කරනකොට ප්‍රවේසම් වෙන්න ඕනේ. මොන මතවාද තිබුණත් අපි හැමදාම තීන්දු ගත්තේ හැමදෙනාම එකතු වෙලා සාකච්ඡා කරලයි. ඒ නිසා අපි මේ කාරණය ගැන මීට වඩා කල්පනාකාරී විය යුතුයි" මහින්ද පැහැදිලි කළේය.
"ආණ්ඩුවෙන් එළියට බැස්ස 16 දෙනාගේ කණ්ඩායම විවිධ මත ප්‍රකාශ කරමින් යනවා. සමහරු කියනවා මහින්ද මහත්තයට උදවු කරනවා කියලා. තවත් සමහරු කියනවා පොහොට්ටුවේ ඡන්ද ටිකත් අරන් මෛත්‍රි ගාවට යනවයි කියලා. අපි අවුරුදු ගාණක් දුක්විඳලා හදාගත්තු මේ බලවේගය විනාශ වෙන්න දෙන්න බැහැ.

අපි ඒ අය එනවට විරුද්ධ නැහැ. හැබැයි එනවා නම් සියලු දෙනාම එක මතයක් ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම අපිත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. විපක්ෂයට එනවා කියලා ඇවිත් මෛත්‍රි එක්ක දේශපාලනයක් කරන්න උත්සාහ ගන්නවා නම් අපිට ඒකට ඉඩ තියන්න බැහැ.

අපිට හිතෙන්නේ මේ සමහරු උත්සාහ කරන්නේ මහින්ද මහත්තයාගේ කරේ එල්ලිලා ආයෙත් වතාවක් පාර්ලිමේන්තුවට රිංගාගන්න. රෝහිත පැවැසීය.

මෛත්‍රි නායකත්වයෙන් ගමනක් යන්න හදන අයට ඒකාබද්ධයෙන් ඉඩ නෑලු

"කවුරු වුණත් එනවා නම් එකාබද්ධය සමඟ එකතු වෙන්න ඕනෙ"වෙල්ගම ද පොහොර දැම්මේය.
"16 දෙනාගේ කණ්ඩායම ඇතුළෙත් ඔය ප්‍රශ්නය සාකච්ඡා කෙරෙමින් තියෙනවා" මහින්ද පැවැසීය.

"16 දෙනාගේ කණ්ඩායමෙන් හතර පස්දෙනෙක් අපිට එකතු වෙන්න සාකච්ඡා කරමින් ඉන්නවා. අපේ පක්ෂයේ ප්‍රතිපත්ති පිළිගන්න ඕනේ කෙනකුට අපිත් එක්ක ඉන්න පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ" බැසිල් කීවේය.

"අපි කටයුතු කරමින් ඉන්නේ මහින්ද මහත්තයාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවක් රටේ හදලා නැවත වතාවක් රට දියුණු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන්නයි. අපේ නායකයා විදියට අපි පිළිගන්නේ මහින්ද මහත්තයාවයි. ඒ නිසා අපිට එකතු වෙන අයත් ඒක පිළිගන්න ඕනේ. එහෙම නැතිව මෙතනට ඇවිත් මෛත්‍රිගේ නායකත්වයෙන් ගමනක් යන්න හදන අයට අපි ළඟ ඉඩක් නැහැ" ජී.එල්. පැවැසීය.

හරීන්, මනූෂ කළගුණ සලකති

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උෟව පළාත් කාර්යාලය විවෘත කිරීමට ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා ඇමැති හරීන් ප්‍රනාන්දු බදුල්ලට ගොස් සිටියේය. නියෝජ්‍ය ඇමැති මනූෂ කොළඹ සිට බදුල්ලට යෑමට සූදානමින් සිටියේ ජනාධිපතිවරයා සමඟය. ජනාධිපතිවරයා හෙලිකොප්ටරයෙන් බදුල්ල බලා පිටත්ව යෑමට නියමිතව තිබුණත් අයහපත් කාලගුණය නිසා හෙලිකොප්ටරයෙන් යෑමට හැකියාවක් තිබුණේ නැත. මේ නිසා මාර්ගයෙන්ම බදුල්ල බලා යෑමට තීරණය කළේ පෙර දින රාත්‍රියේය. කලින් දවසේ රෑම මනූෂට දුරකතන ඇමතුමක් දුන් ජනාධිපතිවරයා කීවේ උදේ 5ට බදුල්ලට යෑමට තමන්ගේ නිවෙසට එන ලෙසය.

උදෑසන 5ටම මෛත්‍රි තමන්ගේ නිවෙසින් පිටත්ව ගියේ මනූෂත් තමන්ගේ මෝටර් රථයට නංවාගනිමිනි. කොළඹ සිට බණ්ඩාරවෙලට ගිය මෛත්‍රි පාසලක උත්සවයකට සම්බන්ධ වූයේ බදුල්ල දිස්ත්‍රික්කයේ මැති ඇමැතිවරු සමඟය. එතැන් සිට දිවා ආහාරය ගැනීමට ඉහළ ඇල්ලේ පිහිටි මහ ඇමැති චාමර දසනායකට අයත් හෝටලයකට පිරිස ගියේය. දිවා ආහාරය ගත් පිරිස හාලිඇළ බලා පිටත්වූයේ උෟව පළාත් කාර්යාලය විවෘත කිරීමටය. ඒ වන විට ඩිලාන් එහි පැමිණ සිටියේය. ඒ එම මධ්‍යස්ථානයට මුල් ගල් තබන විට විදේශ රැකියා ප්‍රවර්ධන ඇමැතිවරයා ලෙස කටයුතු කළේ ඩිලාන්ය.

මෛත්‍රි පැමිණ පීත්ත පටිය කපන විටත් ඩිලාන් එහි කොනක් අල්ලාගෙන සිටියේ හරීන් අසලටම වෙමිනි. ඉන් පසුව සමරු ඵලකය නිරාවරණය කළේය.

"සර් අතන තවත් එකක් තියෙනවා" මනූෂ මෛත්‍රිගේ කනට කර කීවේ තවත් සමරු ඵලකයක් ගැනය. එය ඩිලාන් ඇමැතිවරයා ලෙස කටයුතු කරන කාලයේදී මෙයට මුල් ගල තැබූ බව සඳහන් වන සමරු ඵලකයකි.

"කොතැනද ඒක තියෙන්නේ" මෛත්‍රි වටපිට බැලුවේය.

"ඔය අය පොඩ්ඩක් අෑතට වෙන්න" එම සමරු ඵලකය අසල සිටි අය අෑත් මෑත් කළේ මනූෂය.

"හොඳ වැඩක්නේ. මේකට තමයි කළගුණ සලකනවා කියන්නේ. මේකේත් පින්තූරයක් ගන්න" මෛත්‍රි කීවේ හරීන්ගේ හා මනූෂගේ කළගුණ සැලකීම් ගැන කියමිනි.

එතැන සිට පිරිස ගියේ උත්සවය පැවැත්වෙන ශ්‍රවණාගාරයටය. මනූෂ එක් කෙළවරක වූ අතර මෛත්‍රි හා හරීන් මැදිකරගෙන ඩිලාන් අනෙක් කෙළවරේ සිටියේය.
"කවදාවත් මේ යුගයේ නොදකින දෙයක් මම දැක්කා. ඒක තමයි කෙළෙහිගුණ සැලකීම කියන එක. ඒක හරීන් ප්‍රනාන්දු ඇමැතිතුමා ප්‍රගුණ කිරීම ගැන ස්තුතිය පුදකරන්න ඕන." ඩිලාන් කීවේ සමරු ඵලකය ගැනත් තමන්ට ආරාධනා කිරීම ගැනත් සිහිපත් කරමින්ය.
"අපි ඉතින් ඩිලාන් ඇමැතිතුමා එක්ක දේශපාලන වේදිකාවේ රණ්ඩු කරනවා. ඒත් ඉතින් හොඳ වැඩවලට අපි හොඳයි කියන්න ඕනනේ" හරීන් කීවේ සිනාසෙමිනි.

20 ආවොත් මාස 7කට කලින් රනිල්ට ගෙදර යන්න වෙනවා

ජවිපෙ නායකයන් මේ දිනවල විද්වත් පිරිස් සමඟ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව කරුණු සාකච්ඡා කරමින් සිටියි. පසුගියදා 20 පිළිබඳව තිබූ සාකච්ඡාවකදී නීතිඥවරයෙක් විජිත හේරත්ගෙන් මෙසේ ඇසීය. "මන්ත්‍රිතුමා මොකද්ද මේ රනිල්ගේ වුවමනාවට මේ සංශෝධනය ගෙනාවා කියන්නේ. මාසයක් රනිල්ට බලය ලැබෙනවා කියලත් කතාවක් යනවා."

"අපි යෝජනාව දැම්මට පස්සේ ඊට කලින් මවපු බිල්ලෝ මවන්න සමහර ඔඩොක්කු කුක්කන්ට බැහැ. ඒ නිසා දැන් පරණ පුරුද්දට රනිල් පටලවා ගන්නවා. 20 ක්‍රියාත්මක වෙන්නේ 2020 ජනවාරි 8න් පස්සේ. 20 ක්‍රියාත්මක වීමත් සමඟ 2020 පෙබරවාරි මාසේ 8දා පාර්ලිමේන්තුව විසුරුවන්න කියලා අපි යෝජනා කරනවා. නමුත් දැන් තියෙන ආණ්ඩුව 2020 සැප්තැම්බර් වෙනකල් තියෙනවා. විස්ස නිසා 2020 පෙබරවාරි පාර්ලිමේන්තුව විසුරුවනවා. ඇත්තටම වෙන්නේ මාස 7ක් කලින් රනිල්ගේ ආණ්ඩුව අවසන් වෙන එකයි. ඒක රනිල්ට පාඩුයි. එතකොට කියනවා රනිල්ට ජනවාරි සිට පෙබරවාරි දක්වා මාසයක බලයක් යනවලු. මාසයකින් පස්සේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්න යෝජනා කරන්නේ රටේ අස්ථාවරත්වයක් ඇති වෙයි කියලා. නමුත් කවුරු හරි යෝජනා කරනවා නම් 2020 ජනවාරි 9දාම විසුරුවා හරින්න කියලා. අපි ඒකටත් කැමැතියි." විජිත හේරත් කියා සිටියේය.

20න් පස්සේ මහින්දටයි මෛත්‍රිටයි මොකද වෙන්නේ

"එතකොට මන්ත්‍රිතුමා මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයාට සහ මෛත්‍රිපාල ජනාධිපතිතුමාට මොකද වෙන්නේ" විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් විමසා සිටියේය. "මූලික වශයෙන් අපි පුද්ගල සාධක ගැන හිතලා සංශෝධනය හැදුවේ නැහැ. නමුත් මේකෙන් මෛත්‍රි ජනාධිපතිතුමාට වාසියක් තියෙනවා කියලා තර්කයක් හදන්න පුළුවන්. 20 ක්‍රියාත්මක වෙලා ඊළඟ පාර්ලිමේන්තුව මඟින් ජනාධිපති පත් වෙනකල් මෛත්‍රිට 20 ප්‍රතිපාදන අනුව ජනාධිපති පුටුවේ ඉන්න පුළුවන්. නැත්නම් මෛත්‍රි 2020 ජනවාරි 9දා ගෙදර යන්න ඕනෑ. ඒ නිසා කවුරු හරි කියනවා නම් මේක මෛත්‍රිගේ වුවමනාවට කරනවා කියලා ඒකට තර්කයක් තිබෙනවා. මහින්ද රාජපක්ෂගේ පැත්තෙන් බැලුවොත් දැන් තියෙන ව්‍යවස්ථාව අනුව මහින්දට රටේ නායකයා වෙන්නත් බැහැ. ආණ්ඩුවේ නායකයා වෙන්නත් බැහැ. මොකද රටේ නායකයාත් ආණ්ඩුවේ නායකයාත් ජනාධිපති නිසා. නමුත් 20ට අනුව මහින්දට ආණ්ඩුවේ නායකයා වෙන්න පුළුවන්. මොකද 20 වැනි සංශෝධනය අනුව ආණ්ඩුවේ නායකයා වෙන්නේ අගමැතිවරයායි. ඒ නිසා කාට හරි කියන්න පුළුවන් මේක මහින්දගේ වුවමනාවක් කියලත්."

අපිට 20 දිනන්න පුළුවන් අනුර කියයි

"එතකොට මන්ත්‍රිතුමා මේක සම්මත කර ගන්නේ කොහොමද? පළමු වටයේ මේ සංශෝධනයට 2/3ක් ඕනෑ. ඒ කියන්නේ මන්ත්‍රිවරු 150ක්" ස්වාමින් වහන්සේ නමක් විමසා සිටියහ. ඊට පිළිතුරු දුන්නේ අනුරය. "අපිට ඉන්නේ මන්ත්‍රිවරු 6යි. අපිට අභියෝගයක් තියෙනවා. අපිට 2001 මන්ත්‍රිවරු හිටියේ 10යි. ඒ වෙලාවේ 17 වැනි සංශෝධනය සම්මත කරගත්තා. එදා මන්ත්‍රිවරු 223ක් 17ට එකඟ වුණා. මොකද? එදා පාර්ලිමේන්තුවේ වෙනත් අරාජික තත්ත්වයක් තිබුණා. ඒක අපි ප්‍රයෝජනයට ගත්තා. අද පාර්ලිමේන්තුවේ සංයුතිය කොහොමද? එජාපයේ 106යි. මහින්දගේ 54යි. ටීඑන්ඒ 16යි. මෛත්‍රිගේ 23යි. ‍ෙදාරකඩ 16යි. දේවානන්ද ළඟ 01යි. මේ තත්ත්වය අපිට පාවිච්චි කරගන්න පුළුවන්. මොකද ආණ්ඩුවට 2/3ක් තිබුණ වෙලාවේ සම්මත කරගත්ත සංශෝධන ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒවා.

නමුත් 17 සහ 19 පමණයි ප්‍රජාතන්ත්‍රවාදයට හිතකර වුණේ. ඒවා සම්මත කරගත්තේ පාර්ලිමේන්තුවේ පොදු සම්මුතියෙන්. අදත් පාර්ලිමේන්තුවේ තිබෙන සංයුතිය හොඳයි.

මහින්ද විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න එකඟයි. මෛත්‍රිපාල සිරිසේන අවස්ථා ගණනාවකදී ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කිව්වා. රනිල් වික්‍රමසිංහ අවස්ථා ගණනාවකදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න එකඟවෙලා තිබෙනවා. මේ තිදෙනාම අහෝසි කරන්න එකඟතාවක් තිබෙනවා. ඒ නිසා අපිට යම් විභවයක් තිබෙනවා 20 සම්මත කර ගැනීමට. ඒ වගේම වෙල්ගම, බන්දුල, ප්‍රසන්න රණතුංග, වාසුදේව වගේ ඒකාබද්ධයේ පිරිස් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ මූලික එකඟතාවයේ ඉන්නවා" අනුර දිසානායක පැහැදිලි කළේය.

මිල්කෝ සමාගම කිරි ගොවීන්ට රු. මිලියන 900ක් ණයලු

පසුගිය මාසයකට පමණ අධික කාලයක සිටි කිරි ගොවියන් විසින් උද්ඝෝෂණ මාලාවක් පවත්වමින් සිය ගැටලු පිළිබඳව ආණ්ඩුවේ අවධානය යොමු කරවීමට උත්සාහ දැරීය. මාසයකට ආසන්න කාලයක් කිරි ගොවියන් සඳහා මිල්කෝ සමාගම "කිරි පඩි" ලබා නොදීමත් කිරි ගවයන්ට ලබා දෙන සත්ත්ව ආහාර අධික ලෙස මිල වැඩි වීමෙන් කිරි නිෂ්පාදන මිල ඉහළ යෑමත් ඇතුළු ගැටලු ගණනාවකට කිරි ගොවියන් මුහුණදී තිබේ. මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ නාමල් කරුණාරත්න මැදිහත් වූ අතර කිරි ගොවි සමිති ඒකරාශී කොට කිරි ගොවි සමිති එකතුවක්ද ගොඩනඟා ගත්තේය. පසුව විජිතමුණි ඇමැතිවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා සිටියේය.

13දා දහවල් කිරි ගොවියන් 500ක් පමණ කොළඹට පැමිණ අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළ අතර පසුව ඇමැතිවරයා සමඟ සාකච්ඡාවක්ද පැවැත්වීය.

"අපි කිරි ගොවියන්ගේ මුදල් ගෙවන්න කටයුතු කරනවා. ප්‍රශ්න විසඳන්න අපිට මාස තුනක කාලයක් දෙන්න" විජිතමුණි ඇමැතිවරයා නියෝජිතයන්ට පොරොන්දු විය. මේ වසරේ මැයි මස 15 වන විට මිල්කෝ ආයතනය රුපියල් මිලියන 1078ක ණයකාරයකු වී ඇති බවත් ගොවියන් සඳහා පමණක් තවත් මිලියන 900ක් පමණ ගෙවීමට ඇති බවත් හෙළි විය.

ලක්ෂ්මන් වසන්තගේ
හරක් 400

"බැසිල් රාජපක්ෂ කිරි ගවයන් 4,900ක් විතර ගෙනත් තියෙනවා. ඒ කිරි ගවයන් වෙනුවෙන් ආණ්ඩුව ලක්ෂ 5ක් බැගින් දරනවා. නමුත් කිරි ගවයෙක් ගොවියට දෙන්න තිබුණේ ලක්ෂ දෙක ගාණේ. ඇමැතිතුමා, නමුත් ආණ්ඩුවෙන් නීතියක් දාලා තිබුණා අවම වශයෙන් හරක් 10ක් ගන්න කියලා. එතකොට ගොවියකුට ලක්ෂ 20ක් ඕනෑ. ඒක දාලා තියෙන්නෙම ව්‍යාපාරිකයන්ට හරක් ටික විකුණන්නයි. ඒ නිසා තමයි ලක්ෂ්මන් වසන්ත පෙරේරා හරක් 400ක් ගත්තේ. ආණ්ඩුව විශාල වියදමක් දරලා මන්ත්‍රිවරුන්ට හරක් දීලා." නාමල් කරුණාරත්න කීවේය.

දාගැබ් නැති ගම්බද
විහාරස්ථානවලට දාගැබ් 25ක්

දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ 94වැනි ජන්ම දිනයට සමගාමීව දිවයිනේ දිස්ත්‍රික්ක 25 තුළ දාගැබ් 25ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජේ‍යෂ්ඨ කථිකාචාර්ය ප්‍රණීත් අභයසුන්දර ප්‍රමුඛ විද්වතුන්, භික්ෂුන් වහන්සේ හා රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණේ ඇමැති සජිත්ගේ ප්‍රධානත්වයෙනි. "සසුනට අරුණ-වැවයි දාගබැයි-ගමයි පන්සලයි" යන තේමාව යටතේ ක්‍රියාත්මක වන මෙම දාගැබ් ඉදිකිරීමේ වැඩපිළිවෙළ ගැන කතා කරමින් සජිත් කීවේ "මෙතෙක් කල් පැත්තකට ඇද දමා තිබුණු "උදා ගම්මාන" වැඩපිළිවෙළ අපි නැවත සක්‍රිය කළා. මේ වෙනකොට රට පුරා උදා ගම්මාන 766ක් හැදෙමින් පවතිනවා. ඉලක්කය 2020 වන විට නව ගම්මාන 2,500ක්. ඊට සමගාමීව මගේ පියාව අනුස්මරණය කරමින් මේ දාගැබ් ඉදිකිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ රටේ සංවර්ධනයත් සමඟ ආධ්‍යාත්මික හා ශාසනික සංවර්ධනය තහවුරු කරන්නටයි" කියාය. විද්වත් පිරිසේ සියල්ලන්ම කීවේ මෙය ඉතා කාලෝචිත වැඩසටහනක් බවයි. "දාගැබ් ඉදිකරන සෑම විහාරස්ථානයකටම නුදුරින් අලුත් උදා ගම්මාන 2 බැගින් ඉදිකරනවා. මුදල් ඇමැතිතුමාගේ "ගම් පෙරළිය" වැඩසටහන සමඟ එක්ව ඒ ගම්මානවල ප්‍රතිලාභීන් වෙනුවෙන් ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් සැලසුම් කර තිබෙනවා. බදු ගෙවන්නන්ගේ මුදල් සහ රාජ්‍ය අරමුදල් භාවිත නොකර පෞද්ගලික දානපතියන්ගේ පරිත්‍යාගවලින් පමණක් කරන ව්‍යාපෘතියක් නිසා වැදගත් අර්ථයක් ඊට එකතු වෙනවා. දාගැබ් 25 වැඩසටන මෙහෙයවන්නේ ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන පවා ඉදිකළ "සෙවණ" අරමුදලයි." සජිත් වැඩිදුරටත් පැහැදිලි කළේය. දැනට දාගැබ් නොමැති ග්‍රාමීය විහාරස්ථාන පමණක් මෙම ව්‍යාපෘතිය සඳහා තෝරා ගැනේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon