සෝමාරාම හිමිගේ සිට ඥානසාර හිමි දක්වා...

  👤  3817 readers have read this article !
2018-06-18

හය මසකට බන්ධනාගාරගත කළ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරකරුවකුගේ ඇඳුම වන ජම්පරය අඳිනවාද? නොඑසේ නම් චීවරය දරා සිටිනවාද යන්න මේ මොහොතේ ඇතැම් පිරිස් අතර විවාද සම්පන්න මාතෘකාවක් බවට පත්වී ඇත.

ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබූ පරිදි උන්වහන්සේට ලියාපදිංචි අංකයක් දී චීවරය ඉවත්කර සුදු රෙද්දත් ඇඳ ගැනීමට දී ඇත. සුදු රෙද්දක් ලබාදීමට හේතුව ලෙස පැවසෙන්නේ ඥානසාර හිමියන්ගේ ප්‍රමාණයට සිරගෙදර ජම්පර් නොමැතිවීමය.

1948 නිදහසින් පසු මෙරට ඉතිහාසයේ සිරදඬුවමකට ලක්වූ ප්‍රථම බෞද්ධ හිමිනම ඥානසාර හිමියෝ නොවෙති. නීතියෙන් දඬුවම් ලැබූ කුප්‍රකට හිමිනම වන්නේ බණ්ඩාරනායක ඝාතනයට වැරැදිකරු වූ සෝමාරාමය.

සැබෑ ඝාතකයා සෝමාරාම හිමියන්ද යන්න විවාද සම්පන්න නමුත් උන්වහන්සේ මෙන්ම බණ්ඩාරනායක ඝාතනයට වැරැදිකරුවකු වූ බුද්ධරක්ඛිත හිමියන්ද සිරගෙදර සිටි කාලයේ ජම්පරය මිස චීවරය දරා සිටි බවක් වාර්තා නොවේ. වෙනත් ආගම්වල පැවිද්දන්ටද වැරැදිකරුවන් වී බන්ධනාගාර ගතකළ පසු ලෝගුව ඇඳ සිටීමට ඉඩ ලැබී නැත.

ගලගොඩඅත්තේ ඥානසාර හිමි බන්ධනාගාරගත කෙරුණේ චෝදනා දෙකකට වැරැදිකරුවකු වූ හෙයිනි. පළමුවැනි චෝදනාව වන්නේ නඩුවක පැමිණිලිකාරියකට අධිකරණ භූමිය තුළදී බැනවැදී තර්ජනය කිරීමය. වින්දිත පැමිණිලිකාරියට තර්ජනය කොට බියගැන්වීම දෙවැනි චෝදනාවය. නඩුව වසර දෙකකට වැඩි කාලයක් විභාග වූ අතර අවසානයේ අදාළ තීන්දුව ලබාදුන්නේය. නීතිය කාට වුව එක හා සමාන යැයි මේ තීන්දුවෙන් සනාථ වන බව පිරිසක් පවසද්දී තවත් පිරිසක් පවසන්නේ සිංහල බෞද්ධයන් වෙනුවෙන් හඬ නැඟූ ඥානසාර හිමියන්ට ලබාදුන් මේ තීන්දුව කිසිසේත් අනුමත කළ නොහැකි බවය.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මීට පෙරද සිවිල් නීති කඩ කිරීම මත චෝදනා කිහිපයක් එල්ලවී තිබිණි. සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභාව මීට කලකට ඉහතදී නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ ඥානසාර හිමියන්ගේ 'හැසිරීම' අනුමත නොකළත් උන්වහන්සේ දරන අදහස් සමඟ සපුරා එකඟ බවය. එහෙත් ඥානසාර හිමියන් අයත් කෝට්ටේ ශ්‍රී සාමග්‍රී මහා සංඝ සභාව උන්වහන්සේව අධිකරණයෙන් 'වැරැදිකරු' කළ පසු පවා කිසිදු නිවේදනයක් නිකුත් කර නැත.

යක්කඩුවේ ප්‍රඥාරාම, උඩකැන්දවල සිරිසරණංකර, වල්පොල රාහුල, හේන්පිටගෙදර ඥානසීහ, මඩිහේ ප¿දාසීහ, මාදුළුවාවේ සෝභිත ආදී හිමිවරු රැසක් මෙරට ජනතාවගේ හිතසුව පිණිස විවිධාකාරයෙන් කටයුතු කළහ. උන්වහන්සේ පැවිදි විනය කඩ නොකළ අතර ජාති, ආගම්, කුල පක්ෂ වාදවලින් ජනමතය කිළිටි කළේද නැත. ඔවුහු පෙනී සිටියේ සාමග්‍රිය වෙනුවෙන් මිස අසමඟිය වෙනුවෙන් නොවෙති. බෞද්ධ භික්ෂු විනය සීමාවේ සිට දේශපාලනික භික්ෂුන් ලෙස කටයුතු කළ යුත්තේ කෙසේදැයි පැහැදිලි කරමින් වල්පොල හිමියෝ පොතක් ලියා පළ කළහ. එහෙත් එවැනි ආදර්ශ උකහා ගත්තේ වර්තමානයේ දේශපාලනය සමඟ සම්බන්ධව සිටින හිමිවරුන්ගෙන් අතළොස්සක් පමණි. නොඑසේනම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මෙවැනි ඉරණමකට බඳුන් වන්නේ නැත.

චීවරයේ ගෞරවය කෙලෙසා නොගෙන පැවිදි විනය ආරක්ෂා කර ගනිමින් එදා මෙදාතුර යතිවර පරපුරත්, ශාසනික හා සමාජ මෙහෙවරක නිරත වූහ. උන්වහන්සේ මඟ යමින් වර්තමාන භික්ෂුව කටයුතු කළ යුතු ආකාරය ගැන සංවාදයක්, කතිකාවක් පැවිදි සමාජය තුළ මෙන්ම ගිහි සමාජය තුළද ඇතිවිය යුතු කාලය එළැඹ ඇති බව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිද්ධිය යළි යළිත් අපට අවධාරණය කරයි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon