ලාංකේය දේශපාලනය හා පාතාලයේ සංක්‍රාන්තිය

  👤  3723 readers have read this article !
2018-06-19

පහත දැක්වෙන්නේ සත්‍ය සිදුවීමකි

යහපාලන ආණ්ඩුව විසින් මුදල් අවභාවිතාවක් ගැන පසුගිය ආණ්ඩුව යටතේ සේවය කළ නිලධාරීන් පිරිසකට විරුද්ධව පවරා ඇති නඩුවකදී විත්තියේ නීතිඥයෙක් මෙසේ ඇසීය.

''ස්වාමිනී ලංකාවේ නීතිය අනුව නඩුවක් පවරන්නට පැමිණිල්ලක් තිබෙන්නට ඕනෑ. අපිට දැන ගන්නට අවශ්‍යයි මගේ සේවාදායකයාට විරුද්ධව පළමු පැමිණිල්ල කළ පුද්ගලයාගේ නම.''

රජයේ නීතිඥයා එය හෙළි කිරීමට අෑලි මෑළි වන විට විනිසුරුවරයා කීවේ පැමිණිලිකරු කවුදැයි දැන ගැනීමට විත්තියට නීතිමය අයිතියක් ඇති නිසා එය හෙළි කළ යුතු බවයි.

''ස්වාමිනී එහෙම පැමිණිලිකරුවකු නම් නැහැ. මෙය නිර්නාමික පෙත්සමක් මත ආරම්භ වූ පරීක්‍ෂණයක් බවයි අප දන්නේ'' රජයේ නීතිඥයා ඇඹරෙමින් කීවේය.

''අපි දන්නා නීතියට අනුව පොලිසියේ පරීක්‍ෂණයක් ආරම්භ කිරීමට පෙර පැමිණිල්ලක් තිබිය යුතුයි. ඊට අමතරව පැමිණිලිකරුගේ නම පොලිසියේ පොතේ ලියාගත යුතුයි. පැමිණිලිකරුගේ චෝදනාව පොලිසිය නිවැරැදිව ලියාගෙන ඇති බවට අස්සන් යෙදිය යුතුයි. එසේ නැතිව සෘජුව පොලිස් පරීක්‍ෂණයක් ආරම්භ කරනා විට පොලිසියේ ඉහළ නිලධාරියෙක් ඒ සඳහා අණ දී වගකීම භාරගත යුතුයි. ඉතින් පොලිසියටද මේ නිර්නාමික ලියුම ආවේ?'' විත්තියේ නීතිඥයා ඇසීය.

''නැහැ පෙත්සම ඇවිත් තියෙන්නේ අගමැති කාර්යාලයේ පිහිටුවා තිබුණු දැන් විසුරුවා තිබෙන දූෂණ මර්දන කමිටුවටයි. ඔවුන් තමා පොලිසියට මේ පැමිණිල්ල යවා තිබෙන්නේ'' රජයේ නීතිඥයා පැවැසීය.

''ස්වාමිනී අගමැති කාර්යාලයේ තිබුණාය කියන ඔබ කියන කමිටුව දේශපාලනඥයෝ කිහිපදෙනකු එකතු වෙලා පිහිටුවා ගත් අසම්මත කමිටුවක්. එයට කවදාවත් කිසිම නීත්‍යනුකූල බවක් තිබුණේ නැහැ. එය කැබිනට් අනුමැතියකින් හෝ පාර්ලිමේන්තු පනතකින් පිහිටුවූවක් නොවේ. පොලිසිය කොහොමද එහෙම දේශපාලන අරමුණු මත පිහිටුවූ නීති විරෝධී කල්ලියකට ලැබුණායැයි කියන පෙත්සමක් මත පරීක්‍ෂණයක් ආරම්භ කරන්නේ. එහෙම නම් හෙට මටයි ඔබතුමාටයි මේ උසාවිය ඉදිරිපිට කඩේ මුදලාලිටයි කමිටුවක් පිහිටුවා ගෙන කාට හරි කියලා අපේ තරහකාරයන්ට විරුද්ධව නිර්නාමික පෙත්සම් ටිකක් ගෙන්නගෙන ඒ පෙත්සම් පොලිසියට යොමු කළොත් පොලිසිය අපිටත් ඕනෑ විදියට පරීක්‍ෂණ පටන් අරන් අපේ තරහකාරයන්ට නඩු දානවාද?''

උත්තර නැත. නමුත් නඩුව තවමත් විභාග වේ.

මේ යහපාලනය යටතේ අද රටේ නීතිය ක්‍රියාත්මක වන ආකාරය ගැන එක් උදාහරණයක් පමණි.

තමන් බලයට ආ විට එතෙක් පැවැති සමඟි පෙරමුණේ උදවුකරුවන්ට පාඩමක් ඉගැන්වීමට නීතිය පවත්වාගෙන යන ආයතනවලට සතියක් නිවාඩු දෙනවා යැයි 1977 මහ ඡන්දය කාලයේ ජේ.ආර්. ජයවර්ධන ප්‍රසිද්ධියේ දේශපාලන වේදිකාවල කීවේය. එය නව ආණ්ඩුව බලයට ආ පසු හිංසනය රාජ්‍ය ප්‍රතිපත්තියක් වන බවට වූ අනාවැකියක් වැනි විය. රාවය පුවත්පතේ හිටපු කර්තෘ වික්ටර් අයිවන් තම චෞර රාජ්‍ය නමැති පොතේ වාර්තා කර ඇති ආකාරයට මැතිවරණ ප්‍රතිඵලය නිකුත් වූ 1977 ජූලි 22දාම දේශලපාලන මිනීමැරීම් 6ක් සිදුවිය. එක් සතියක් තුළ වාර්තා වූ ගෙවල් ගිනිතැබීම්, පහරදීම් හා කොල්ලකෑම් ප්‍රමාණය 1400 ඉක්ම විය. එක් මසක් තුළ දේශපාලන හේතු මත සේවයෙන් පහ කිරීම් 18,462ක් හා මාරු කිරීම් 72,881ක් වාර්තා විය. ඉන් මසකට පමණ පසු රජයේ බලධාරීන් විසින් උතුරේ තම දේශපාලන ප්‍රතිවාදීන්ට එරෙහිව හිංසනය මුදාහැරීම නිසා ඇති වූ ජාතිවාදී කෝලාහලවල ප්‍රතිඵලයක් ලෙස උතුරේ සහ කඳුකර ප්‍රදේශවල දේපළ කොල්ලකෑම් 2077ක්, ගෙවල් ගිනි තැබීම් 8088ක්, ස්ත්‍රී දූෂණ 284ක් පහරදී තුවාල කිරීම් 40,000ක් පමණ හා මිනීමැරුම් 100කට අධික සංඛ්‍යාවක් වාර්තා විය. 17 වසරක එක්සත් ජාතික පක්‍ෂයේ භීෂණ යුගය ආරම්භ වූයේ එලෙසය. මේ වසර 17 තුළ සාමාන්‍ය වැසියන් පමණක් 70,000කට ආසන්න පිරිසක් ඝාතනයට ලක්විය.

දේශපාලනයට පාතාලය සම්බන්ධ කර ගැනීමද 1977 ඇරැඹි පාලන තන්ත්‍රය තුළ සුලබ විය. බොහෝ විට ඡන්ද කාලවල ප්‍රතිවාදීන් බියගැන්වීමට හා ඔවුන් ඡන්ද පොළට යෑම වැළැක්වීමට හිංසනය දියත් කරන ලද්දේ රජයේ දේශපාලනඥයන්ගේ අවශ්‍යතා මත ක්‍රියාත්මක වූ විවිධ පාතාල කණ්ඩායම් විසිනි. පාතාලය විසින් කරනු ලබන ඝාතන ගැනද නිතර අසන්නට ලැබිණි. ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට හා වෘත්තීය සමිති ක්‍රියාකාරීන්ට නිරන්තරයෙන්ම මේ අයගේ පහරදීම්වලට ලක්වන්නට සිදුවිය. රජයේ යම් ප්‍රබල දේශපාලනඥයන්ට ඔවුන්ට සෘජුවම සම්බන්ධ පාතාල කණ්ඩායම් නායකයන් සිටි බව වික්ටර් අයිවන් තම පොතේ පැහැදිලි කරයි. උදාහරණයක් ලෙස එකල තරුණ කැබිනට් ඇමැතිවරයකුව සිටි වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයකු විසින් ස්ත්‍රී දූෂණයකට වැරැදිකරුව දස වසරකට සිරගෙදරට නියමිතව සිටි ගෝනවල සුනිල් නමැති කුප්‍රකට පාතාල නායකයාට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ලවා ජනාධිපති සමාවක් ලබාදුන් අතර පසුකලෙක මේ පාතාල නායකයා මුළු රටටම බලපාන ලෙස සාමදාන විනිශ්චයකරුවකු ලෙස පවා පත් කරන ලදී. ගෝනවල සුනිල්ගෙන් පසු ආණ්ඩුව තුළ ඒ නැන හිමි කරගත් සොත්ති උපාලි නමැති කුප්‍රකට පාතාල නායකයා ක්‍රියාත්මක වූයේ ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සුචරිතයේම සිට බව එකල ප්‍රසිද්ධ රහසක් විය. එදා නීතිය ඒ තරමට විහිළුවක්ව තිබිණි. උතුරේත්, දකුණේත් තරුණ නැඟිටීම් අවි ගත් ත්‍රස්තවාදයන් දක්වා වර්ධනය වී වසර 30කට ආසන්න කාලයක් පුරා ජීවිත දහස් ගණනක් හා කෝටි ප්‍රකෝටි ගණන් වටිනා දේපළ විනාශ වූයේ එදා දේශපාලන අධිකාරිය විසින් දුන් මේ වැරැදි පූර්වාදර්ශය නිසාය.

පසුගිය ආණ්ඩු කාලයේ සිදුවූවා යැයි කියන, අතේ ඇඟිලිවලින් ගණන් කළ හැකි එමෙන්ම අද වනතුරු වරදකරුවන් ඔප්පු වී නැති ඝාතන කිහිපයක්, පහරදීම් කිහිපයක් සහ පැහැර ගැනීම් කිහිපයක් මහපොළව නුහුලන අපරාධ යැයි ජනගත කරමින් බලයට ආ වත්මන් යහපාලන ආණ්ඩුව වෙනත් ආකාරයට යළි අරඹා තිබෙන්නේ ඉහත කී ගමනමය. එදා පාතාලය මුල් කරගෙන පටන් ගත් මර්දනයට පසුව නීතිය ක්‍රියාත්මක කරන ආයතනද සම්බන්ධ කර ගන්නා ලද අතර මෙවර අනුපිළිවෙළ පමණක් මාරු වී තිබිණි. මර්දනය මුලින්ම පටන් ගත්තේ නීතිය ක්‍රියාත්මක ආයතන අවභාවිත කරමිනි. පසුව එයට පාතාලයද එකතු විය. මේ රටේ දේශපාලන ඉතිහාසය ගැන යමක් දන්නා අය නම් මේ සිදු වෙමින් පවතින ක්‍රියාවලියට වෙනත් විග්‍රහ දෙන්නට තරම් බොලඳ නැත.

වත්මන් ආණ්ඩුව බලයට ආ විගස මුලින්ම අවධානය යොමු කළේ රට සංවර්ධනයට නොව තම ප්‍රතිවාදීන් දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම අරමුණු කරගත් මර්දනකාරී වැඩපිළිවෙළකටය. කුමක්දෝ අවාසනාවකට රටේ ජනතාවගෙන් විශාල පිරිසක්ද එකල මේ නාඩගම්වලට විසිල් ගසන්නට සූදානම්ව සිටියහ. එක් තරුණයෙක් තම මුහුණුපොතේ ලියා තිබුණේ 'වෙන මොනවත් එපා හොරු අල්ලපල්ලා' කියාය. මේ පොරොන්දුවෙන් හරි අඩක් නම් ආණ්ඩුව ටක්කෙටම ඉටු කළේය. ඒ 'වෙන මොනවත් කරන්න එපා' යන කොටසය. වසර 3 1/2කට පසුවත් නව රජය විසින් විවිධ මාධ්‍ය සන්දර්ශන හැරුණු විට රටට කළ දෙයක් පෙනෙන්නට නැත්තේ ඒ නිසාය. එදා 7%කට ආසන්නව තිබුණු සංවර්ධන වේගය 2017 වන විට 3.1%ට බැස්සෙත්, හාල් අතිරික්තයක් තිබුණු රටට හාල් පිටරටින් ගෙන්වන්නට සිදු වූයේත් තිබුණු රැකියාවලිනුත් ලක්‍ෂ දෙකක් රටට අහිමි වී ඇත්තෙත් රටේ නොපියවූ ණය බර රුපියල් කෝටි ලක්‍ෂ 3කින් වැඩි වී ඇත්තේත්, ජනතාවගේ බදු බර 100%කින් වැඩි වී ඇත්තෙත් පාරක තාර ටික දා ගන්නට හෝ නගරයක කුණු ටික එකතු කර ගන්නට බැරි තරමට සමස්ත පාලන තන්ත්‍රයම අකර්මණ්‍ය වී ඇත්තේත් ඒ නිසාය. ඒ අතර අල්ලපු හොරෙකුත් නැත. ලොකුම හොරු අද ඉන්නේ ආණ්ඩුව තුළ බව ඔප්පු වී අවසන් නිසා ආණ්ඩුව උනන්දුවෙන් පටන් ගත් එකම රාජකාරිය වූ හොරු ඇල්ලීමද විහිළුවක් බවට පත් වී හමාරය.

ආර්ථික සංවර්ධනයට අමතරව රජයකට ජනතාව සම්බන්ධයෙන් තිබෙන මූලික වගකීමක් වන්නේ ජනතාවගේ ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීමයි. ලාංකික ජනතාවගේ ආරක්‍ෂාවට දශක ගණනාවක් පුරා තිබුණු තර්ජනය වූ ත්‍රස්තවාදය 2009 මැයි මස අවසන් විය. එම කාර්යය පසුගිය රජය කෙතරම් සාර්ථකව ඉටු කළාද යත් යුද්ධයෙන් පසු ගතවූ වසර 9 තුළ අද වන තුරු රට තුළ කිසිදු ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදුවී නැත.
පහසුවෙන්ම අමතක වන රෝගයෙන් පෙළෙන ලාංකිකයන් රැසකට එදා මේ රටේ ත්‍රස්තවාදයක් තිබුණු බවවත් මතක නැති වීමට ප්‍රධාන හේතුව මේ සුරක්‍ෂිත බවයි.

2009දී යුද්ධය අවසන් වීමෙන් වසරක් හෝ දෙකක් පමණ ගත වන විට රට තුළ තවත් ආරක්‍ෂාවට සම්බන්ධ අර්බුදයක ලකුණු දිස්විය. ඒ යුද්ධයේදී අස්ථානගතවූ ආයුධ යොදාගෙන යම් යම් පාතාල ක්‍රියාකාරකම් රට තුළ ආරම්භ වීමයි. මැරකම්, පැහැර ගැනීම්, කප්පම් ගැනීම් ආදිය ප්‍රචලිත වෙමින් පවතින බව රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන්නට විය. එහෙත් මේ තත්ත්වයද වැඩි කලක් නොපැවැතිණි. රජය පාතාලයට විරුද්ධව දැඩි පියවර ගන්නට තීරණය කළ අතර ඒ අනුව රට පුරා පාතාල මර්දන ක්‍රියාකාරකම් ආරම්භ විය. බොහෝ පාතාල ක්‍රියාකාරිකයන් අත්අඩංගුවට ගන්නා ලදී. සමහරෙක් පොලිසිය සමඟ ගැටී මිය ගියහ. සමහරෙක් රට අතහැර පලාගොස් ඇති බව වාර්තා විය. පාතාල මර්දනය කෙතරම් සාර්ථකව සිදුවූවාද යත් 2014 පමණ වනවිට රටේ ජනතාවට පාතාලය යන නම භාවිතය පවා අමතකව තිබිණි.

2015 ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තු මැතිවරණයට සහාය ලබා ගැනීම පිණිස සමහරක් රජයේ යම් ප්‍රබල දේශපාලනඥයන් විසින් රට අතහැර ගොස් සිටි පාතාල නායකයන් ආපසු ගෙන්වා ගනිමින් සිටින බවට කට කතා පැතිර ගියේය. 1977 පත් වූ රජයේ ක්‍රියා කලාපය මතක අයට නම් එය පුදුමයට හේතුවක් නොවිණි. කට කතා සත්‍ය බව තහවුරු කරමින් පාර්ලිමේන්තු මැතිවරණයට ආසන්නයේ දිනෙක කොළඹ ප්‍රදේශයේ දේශපාලන රැස්වීමකට සහභාගි වෙමින් සිටි පිරිසකට වෙඩි ප්‍රහාරයකට ලක්වන්නට සිදුවිය. වෙඩි තැබීම පිටුපස පාතාල කණ්ඩායමක් සිටි බවත් එය මෙහෙයවා තිබුණේ පිටරට සිට ආපසු පැමිණි නායකයකු විසින් බවත් පුවත්පත්වල වාර්තා විය. ලංකාවේ දේශපාලනයට නැවත වරක් පාතාලයේ සංක්‍රාන්තිය මෙයින් සනිටුහන් විය.

යම් කිසි රටක නීතිය අවනීතිය වෙනවා නම් එය කල් වේලා ඇතිව හඳුනාගෙන එයට එරෙහිව නැඟී සිටීම ජනතාවගේ වගකීම වේ. ප්‍රමාද වුවහොත් තුවාලය සුව කළ නොහැකි තරමට ඔඩු දුවනු ඇත. ඒ නිසා රජයේ දේශපාලනඥයන් අනුන්ට මඩ ගසමින් විවිධ තර්ජන ගර්ජන කරන විට පුරුද්දට ඔල්වරසන් දීම පසෙකලා මේ වැරැදි පූර්වාදර්ශයන් හරහා රට තුළ මතුවෙමින් පවතින තත්ත්වය සාකච්ඡා කිරීමට රටේ දැන උගත් පුරවැසියන් සියලු දෙනා එක්විය යුතු කාලය පැමිණ ඇත.

ආචාර්ය නාලක ගොඩහේවා

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon