පොදු ප්‍රවාහනයේදී කාන්තාවට හිංසා කිරීම

  👤  3787 readers have read this article !
2018-06-20

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් බහුතරයක් සිය ගමන් පහසුව සලසාගන්නේ පොදු ප්‍රවාහනයෙනි. දුම්රියෙන් බස්රියෙන් එලෙස ගමන් කරන බාල මහලු තරුණ පිරිස් අතරින් කාන්තාවන්ගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් මතුවී ඇත. ඒ අන් කිසිවක් නිසා නොව ඔවුන් ලිංගික හිංසනයට ලක්වීම නිසාය.

කාන්තාවන්ට පොදු ප්‍රවාහන බස් රථ හා දුම්රියවලදී මුහුණදීමට සිදුවන ලිංගික හිංසනය පිළිබඳ පැවැත්වූ ජාතික සමීක්ෂණයක් තුළින් මේ බව අනාවරණය වී ඇත. අදාළ වාර්තාවට අනුව පෙනෙන්නේ තත්ත්වය මේ වනවිට ඉතා අයහපත් මට්ටමකට වැඩි වර්ධනය වී තිබෙන බවය.

සිතාමතා සිරුරේ කොටස් ස්පර්ශ කිරීම, පෞද්ගලික අවකාශ සීමාව උල්ලංඝනය වන පරිදි හැසිරීම, අසුන් ගැනීමේ අයෝග්‍ය හැසිරීම, ලිංගික අවයව අනෙකාගේ සිරුරේ ඇතිල්ලීම, සිතා මතා කකුල් පෑගීම, සිරුරේ කොටස් දෙස ගිජු ලෙස බලාසිටීම, දුරකථන අංකය ඉල්ලීම, කාමුක බැලුම් හෙළීම මේ ලිංගික හිංසනයන්ට අදාළය. මේ හිංසන කවදත් අඩු වැඩි වශයෙන් සිදුවූ අතර අවධානයට ගතයුතු කාරණය වන්නේ පොදු ප්‍රවාහනය භාවිත කරන කාන්තාවන්ගෙන් 90%ක් හිංසනයට ගොදුරු වන බව සමීක්ෂණයෙන් අනාවරණය වීමයි.

මෙරට ජනගහනයෙන් බහුතරය කාන්තාවෝ වෙති. සංඛ්‍යාලේඛනවලට අනුව කාන්තාවන් පිරිමින්ට වඩා වැඩියෙන් පොදු ප්‍රවාහනය භාවිත කරයි. මේ හිංසන හේතුවෙන් ඔවුන්ගේ සේවා කටයුතු හා අධ්‍යාපන කටයුතුවලට බාධා එල්ලවීම නොවැළැක්විය හැකිය.

හිංසනයට ලක්වන බොහෝ තරුණියන් හා පාසල් වයසේ පසුවන්නියන් ලැජ්ජා බය නිසා විරෝධය පළ කර ප්‍රතිචාර නොදැක්වීම හිංසකයන්ට වාසිදායක වී ඇත.

එහෙත් පොදු ප්‍රවාහනයේදී කාන්තාවන්ව හිංසාවට බඳුන් කරන අශිෂ්ටයන් දැනගත යුතු කාරණයක් වන්නේ මෙරට නීතිය අනුව කාන්තාවක දෙස කාමුක බැල්මක් හෙළීමත් දඬුවම් ලැබිය හැකි වරදක් බවය. ආරාධනයකින් තොරව අනෙකකු සිය සිරුර ස්පර්ශ කිරීම කාන්තාවන්ගේ අභිමානය කෙලෙසීමකි. ඇය ඒ අවස්ථාවේ විඳින වේදනාව මිනීමැරුමකට හා සමානය.

මගී කාන්තාවක එලෙස ලිංගික හිංසනයට බඳුන්වීමකදී ඊට එරෙහිව අඩු ගණනේ අනෙක් මගී කාන්තාවන් ඉදිරිපත් වන්නේ කලාතුරකිනි. එය මගීන් ලෙස ශිෂ්ට මිනිසුන් ලෙසද සිය සමාජ වගකීම පැහැර හැරීමකි. මේ ඒ ගැන ගැඹුරින් සිතා බැලිය යුතු කාලයකි.

පොදු ප්‍රවාහනය තුළ කාන්තාවට සිදුවන ලිංගික හිංසනය වර්ධනය වීමක් මිස අඩුවීමක් අපේක්ෂා කළ නොහැකිය. සමාජ දේශපාලන හා ආර්ථික වශයෙන් මෙරට දිනෙන් දිනම අගාධය කරා ඇදී යෑම ඊට හේතුවය. ඒ නිසා අවශ්‍ය පියවර සම්පාදනය කර මේ 'හිංසනය' අවම කර ගැනීමට බලධාරීන් කටයුතු කළ යුතුය. පොදු ප්‍රවාහනයේ ගමන් කරන මගීන් ලෙස අනෙකා වෙනුවෙන් පෙනී සිටීමද, කාන්තාවන් සෘජුව හා නොබියව හිංසනයන්ට විරෝධය පළ කිරීමද මෙහිදී අතිශය වැදගත් වේ.

පොදු ප්‍රවාහනය වැනි පොදු ස්ථානයකදී ලිංගික හිංසනයන්ට කාන්තාව ගොදුරුවීම වර්ධනය වීමෙන් පැහැදිලි වන එක් කාරණයක් වන්නේ අසහනකාරීත්වයෙන් පෙළෙන්නන් වැඩි සමාජයක 'ගෙදර බුදුන් අම්මා' වැනි කාන්තාවන්ට ලබාදන ගෞරවයන් තුට්ටුවකට නොවටිනා බවය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon