රාජ්‍ය ගිණුම් කාරක සභාවේ වාර්තාව සම්බන්ධයෙන් සභාව කල්තබන ලද අවස්ථාවේ ඉදිරිපත් කරන ලද යෝජනාව පිළිබඳ විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මැති ඇමැතිවරු දැක්වූ අදහස්

  👤  3885 readers have read this article !
2018-06-20

දයා පෙරේරා, ජේ.ටී. ද සිල්වා

කාරක සභා දෙකම දත් නැති විකන්න බැරි කටක් වගේ - මන්ත්‍රි නලින්ද ජයතිස්ස

ව්‍යවස්ථාවෙන් රාජ්‍ය මූල්‍ය පාලනයේ වගකීම පැවැරී තිබීමත් ඒ අනුව රාජ්‍ය ගිණුම් කාරක සභාව හා පොදු ව්‍යාපාර කාරක සභාව ස්ථාපිත කර තිබුණත් එය ප්‍රමාණවත් නැහැ. ගිණුම් කාරක සභාවේ සාමාජිකයන් තම පක්ෂයේ ප්‍රතිපත්තිවලට එහා ගොස් රට වශයෙන් සලකා ක්‍රියා කළ අවස්ථා තිබෙනවා. ඒ සඳහා උදාහරණයක් නම් ආන්දෝලනාත්මක කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා ගොඩනැඟිල්ලක් කුලියට ලබා ගැනීම සම්බන්ධයෙන් ගිණුම් කාරක සභාවේ ප්‍රකාශය දැක්විය හැකියි. ජනතා බදු මුදල් නිකරුණේ වියදම් කිරීම සම්බන්ධයෙන් ගිණුම් කාරක සභාව එසේ ක්‍රියා කර තිබෙනවා. එහෙත් කෘෂිකර්ම ඇමැති හෝ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ අගමැතිවරයා හෝ පියවරක් නොගැනීම ගැන කාරක සභාවට කළ හැක්කේ කුමක්ද? ජනතා බදු මුදල් හිරිකිතයකින්් තොරව අවභාවිතයේ යොදවන විට අවම වශයෙන් හෝ නීතිමය පියවරක් ගත හැකිද? ඒ නිසා මේ කාරක සභා දෙකම දත් නැති, විකන්න බැරි කටක් වගේ විලිස්සමින් ඉන්න පුළුවන්.

සේවක අර්ථ සාධක අරමුදලේ රුපියල් බිලියන හයක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් කාරක සභා දෙකට පියවරක් ගත හැකි වුණාද?

මේ වාර්තා මඟින් අදාළ ඇමැතිවරු සදාචාරාත්මක බැදීමකට ලක් කරනවාද? 2012දී ජාතික කෞතුකාගාරයේ සොරකමෙන් වසර පහක් ගතවී ඇතත් මේ දක්වා ආරක්ෂිත කැමරා පද්ධතිය ක්‍රියාත්මක වෙන්නෙ නැති බව කාරක සභා වාර්තා පවසනවා. වාර්තා පාර්ලිමේන්තු පුස්තකාලයට යෑමෙන් පලක් නැහැ. ඒ ගැන පාර්ලිමේන්තුවේ වගවීමක් තිබිය යුතුයි. වගකීමට බැඳිය හැකි යාන්ත්‍රණයක් කාරක සභා දෙකට අවශ්‍යයි.

පළාත් සභා මැතිවරණ ප්‍රමාදය ගැන කථානායකවරයාට දුන්
ලිපියට මෙතෙක් පිළිතුරක් නෑ - මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් 21 වැනිදා බ්‍රහස්පතින්දා පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී තීරණයක් ලබා දෙනවා. එම රැස්වීමට විෂය භාර ඇමැති ෆයිසර් මුස්තාපා කැඳවා ඇතැයි කථානායක කරු ජයසූරිය පාර්ලිමේන්තුවේදී ඊයේ (19දා) පැවැසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම

ගරු කථානායකතුමනි, අපි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු මැයි 22දා ඔබතුමාට ලිපියක් භාර දුන්නා, පළාත් සභා මැතිවරණය පැවැත්වීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන්. මේ වනතෙක් ඒ ලිපිය සම්බන්ධයෙන් කිසිවක් සිදුවෙලා නැහැ.

කථානායක
මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් සමඟ සාකච්ඡා කරලා තීරණයක් දෙන්න ඕනෑ. විෂය භාර ඇමැතිවරයා ලබන බ්‍රහස්පතින්දා පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට කැඳවලා තිබෙනවා. එදාට තීරණයක් අරගෙන දැනුම් දෙන්නම්.

මුදල් අමාත්‍යාංශය රාජ්‍ය ණය ප්‍රමාණය සඟවා දැමුවා - රාජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න

පසුගිය රජය කාලේ මුදල් අමාත්‍යාංශය රාජ්‍ය ණය ප්‍රමාණය සැඟෙව්වා. එසේ කළේ නැත්නම් රජයේ ණය ප්‍රමාණය ප්‍රකාශිත ණයට වඩා වැඩියි.

රාජ්‍ය ආදායමෙන් සියයට 85ක්ම ලැබෙන්නේ රේගුව, ආදායම් බදු, සුරාබදු දෙපාර්තමේන්තුව මඟින්. සියලුම ආයතන තොරතුරු තාක්ෂණයෙන් එකතු කිරීමේ ක්‍රමවේදයකට යායුතුයි. 2017 ඔක්තෝබරයේ ගිණුම් කාරක සභා ප්‍රගති වාර්තාව ඉදිරිපත්වී නැහැ.

මුදල් අමාත්‍යාංශය ගැන විගණකාධිපතිතුමා ළඟදී කළ ප්‍රකාශය නිවැරදි බව කිවයුතුයි. නමුත් ඒ ප්‍රකාශය අරගෙන හිටපු මහ බැංකු අධිපති මුදල් අමාත්‍යාංශය රාජ්‍ය ණය ප්‍රමාණය සඟවන බව ඇඟවෙන ප්‍රකාශයක් සිදුකර තිබුණා. විගණකාධිපතිවරයා සඳහන් කර තිබෙන්නේ රජයේ මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 389කින් පමණ අඩු බවයි. විගණකාධිපති කී දේ හරියටම හරි. පසුගිය රජය කාලෙ මුදල් අමාත්‍යාංශය ඒ ණය සැඟෙව්වෙ නැත්නම් රජයේ ණය ප්‍රමාණය ප්‍රකාශිත ණය ප්‍රමාණයට වඩා වැඩියි. අද අමතක වීමේ රෝගයක් තිබෙනවා. හොර බොරු වංචා කර තවත් වංචා කරන්න හදන අය ජනතාව දැන ගත යුතුයි.

රාජ්‍ය ආයතන සියල්ල ගිණුම්කාරක සභාවට
කැඳවිය යුතු වුවත් එම කාර්යය ඉටු වී නෑ - නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න

රාජ්‍ය ආයතන සියල්ලම වසරක් පාසා රාජ්‍ය ගිණුම් කාරක සභාව හමුවට කැඳවිය යුතු වුවත් ඉතිහාසයේ එම කාර්යය නිසි පරිදි ඉටු වී නැහැ. සමස්ත පාර්ලිමේන්තුවම ඊට වගකිව යුතු බැව් නිහතමානීව පිළිගත යුතුයි.

රාජ්‍ය ගිණුම් කාරක සභාව කියන්නේ එහි සභාපතිවරයා නොවේ. සියලු දේශපාලන පක්ෂ නියෝජනය කරන මන්ත්‍රිවරු විසිහයක් ඉන්නවා. දේශපාලන ප්‍රතිපත්ති එළියේ තබා සැබෑ මහජන නියෝජිතයන් ලෙස කටයුතු කිරීම නිසා මේ වගකීම ඉටුකළ හැකි වුණා.

ගිණුම් කාරක සභාවෙන් කරන්නේ හා කළ යුත්තේ කුමක්ද? පාර්ලිමේන්තු අය වැයෙන් වෙන්කරන මුදල් නිසි පරිදි වැය කළාදැයි පරීක්ෂා කිරීම සඳහා ගිණුම් කාරක සභාව, පොදු ව්‍යාපාර කාරක සභාව හා මුදල් පිළිබඳ කාරක සභාවක් පත්කර තිබෙනවා.

රාජ්‍ය ආයතන 837ක් රාජ්‍ය ගිණුම් කාරක සභාවට අයත් වෙනවා. ඒ ආයතනවල කාර්ය සාධනය මේ කාරක සභාව සෑම වසරකම සොයා බැලිය යුතුයි. 1994 සිට 2010 දක්වා පාර්ලිමේන්තුවට කැඳවා තිබෙන්නේ ආයතන තුනයි. 1978 සිට මේ දක්වා කැඳවීමට හැකිවී ඇත්තේ ආයතන 463ක් පමණි. සෑම වසරකම මේ ආයතන කැඳවිය යුතු වුවත් ඉතිහාසයේ මේ කාර්යය නිසි පරිදි ඉටුවී නැහැ. සමස්ත පාර්ලිමේන්තුවම ඒ වගකීම ඉටුකර නොතිබූ බව නිහතමානීව පිළිගත යුතුයි.

2015 වසරේ මේ ආයතන 837 ගිණුම් පිළිබඳවත් 2018 ගිණුම් පිළිබඳවත් වාර්තා ඉදිරිපත් කර තිබෙනවා.

මහජන නියෝජිතයන් පුහුණු කිරීමට නිසි ආයතනයක් අප රටේ නෑ - මන්ත්‍රි බන්දුලාල් බණ්ඩාරිගොඩ

ප්‍රාදේශීය සභාවේ සිට පාර්ලිමේන්තුව දක්වා මහජන නියෝජිතයන් පුහුණු කිරීම සඳහා නිසි ආයතනයක් අප රටේ නැහැ

සංවර්ධන නිලධාරීන් ලෙස බඳවාගත් උපාධිධාරීන් රාශියක් සිටිනවා. තමනට රාජකාරියක් නැතැයි ඔවුන් පාරට ඇවිත් උද්ඝෝෂණය කරනවා. විගණන නිලධාරීන් ලෙස ඔවුන් පුහුණු කර බඳවාගන්න බැරි ඇයි? පළාත් සභාවල තවම විගණනය කරන්නේ අවුරුදු දහයකට පහළොවකට පෙර ගිණුම් කටයුතුයි. අදාළ නිලධාරීන් විශ්‍රාම ගිහින්. තවත් අය මියගිහින්. දේශපාලනඥයන් පවා නැහැ. අද නිගන්ඨයන්ගෙන් බණ අහන්න සිදුවෙලා. වගකීම් හරියට නොකිරීම නිසා තමයි අපට එහෙම බණ අහන්න වෙලා තියෙන්නෙ.
අදාළ පුද්ගලයන්ට දඬුවම් දුන්නා නම් අපට දිගම්බරයන්ගෙන් නිර්වස්ත්‍රකරුවන්ගෙන් බණ අහන්න වෙන්නේ නැහැ.

ප්‍රාදේශීය මට්ටමේ සිටම දේශපාලනඥයන් හා මහජන නියෝජිතයන් පුහුණු කරන්න පුළුවන් නිසි ආයතනයක් අප රටේ නැහැ. හුඟක් මහජන මුදල් නාස්ති වෙන්නෙ ඒ නිසයි. සිදුවී ඇති විනාශය අනුව එවැනි ආයතනයකට වියදම් කළාට කම් නැහැ. ගිණුම් කාරක සභා නිර්දේශ ක්‍රියාත්මක කිරීමට යාන්ත්‍රණයක් තිබිය යුතුයි.

පසුගිය කාලෙ සිදුවූ වංචා දූෂණ බැඳුම්කර සිද්ධියෙන් අමතක කරලා - නියෝජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා

වංචා හා දූෂණ නැති කිරීම සඳහා වන වගකීම ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුව සතු බලතල ශක්තිමත් කර ඉදිරියට යා යුතුයි.

රාජ්‍ය ගිණුම් කාරක සභාව හා පොදු ව්‍යාපාර කාරක සභාව වෙනදාට වඩා ක්‍රියාකාරීව නිසි කලට වාර්තා ඉදිරිපත් කරනවා.

පසුගිය කාලෙ සිදුවූ වංචා හා දූෂණ මහ බැංකු බැඳුම්කර සිද්ධිය මඟින් අමතක කර තිබෙනවා. අනෙක් වංචා හා දූෂණ බැඳුම්කර සිද්ධියෙන් යට කරන්න දෙන්න බැහැ. මහ බැංකු සිද්ධිය මේ රටේ සිදුවුණු එකම දූෂණය නොවේ.

වංචා, දූෂණ වැඩියෙන්ම සිදුවන රේගුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැනි ස්ථානවල තොරතුරු තාක්ෂණය වැඩි වැඩියෙන් පාවිච්චි කර, ඒ දූෂණ, වංචා අවම කිරීමට කටයුතු කරනවා.

විගණන පනත පාර්ලිමේන්තුවට ගේන්න
තවමත් බැරි වෙලා - මන්ත්‍රි වාසුදේව නානායක්කාර

නොයෙක් බලපෑම් හා කකුලෙන් ඇදීම නිසා මේ ආණ්ඩුවට විගණන පනත පාර්ලිමේන්තුවට ගේන්න තවමත් බැරි වී තිබෙනවා. ඒ ගැන මට කනගාටුයි.

ලලිත් වීරතුංගට සිදුවූ දේ අනුව රජයේ නිලධාරීන්ගෙන් භාගයකට සිරගත වෙන්න සිදුවන බව විගණකාධිපතිවරයා කියා තිබෙනවා. මුදල් අවභාවිතය එතරම් සිදුවන බවයි එයින් කියැවෙන්නේ. විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැරැදි වියදම් ගාණක් විගණකාධිපතිවරයා කියා තිබෙනවා.

රාජ්‍ය සේවය ඵලදායි ලෙස තබාගැනීමටත් රාජ්‍ය රැකියා පුරප්පාඩු පිරවීම සඳහාත් පුරෝකථනයක් කළ යුතුයි.

මහ බැංකු හොරකම දැන් ලෝක ප්‍රසිද්ධයි. තවත් හොරකම් තිබුණත් මහ බැංකු හොරකම ගැන පමණක් පවසන බව නිරෝෂන් පෙරේරා නියෝජ්‍ය ඇමැති කියනවා. මහ බැංකු හොරකම යනු සියලුම හොරකම්වල අම්මා බවයි කිවයුත්තෙ. මේවාට සම්බන්ධකම් ඇති සියලුම මන්ත්‍රිවරුන් අදාළ කාරක සභාවලින් ඉවත් වෙන්න ඕනෑ. ඔවුන් ඉවත් නොවුණහොත් කථානායකතුමා පියවර ගන්න ඕනෑ.

සේවකයන් ඉවත් කරන බවට තැපැල්පති කළ ප්‍රකාශය ඉල්ලා අස් කරගන්න

තැපැල් සේවකයන්ගේ සේවා ව්‍යවස්ථාව අලුතින් ඇති කරන ලෙස ඉල්ලා විසි හය දහසක් පමණ වන සේවක පිරිසක් කරන ඉල්ලීම තැපැල් ඇමැතිවරයා විසින් ඉටු කිරීමට කටයුතු නොකිරීම නිසා රට පුරාම තැපැල් බෙදීම සම්පූර්ණයෙන්ම ඇනහිට ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී පැවැසීය.

සේවකයන්ගේ සාධාරණ ඉල්ලීම ඉටු නොකිරීම නිසා කටුනායක ගුවන් තොටුපළේ ගුවන් ලිපි ලක්ෂ ගණනක් ගොඩගැසී තිබෙනවා.

වර්ජනය කර සිටින තැපැල් සේවකයන් සේවය හැර ගියා සේ සලකන බවට තැපැල්පතිවරයා කර ඇති ප්‍රකාශය අපි හෙළා දකිනවා. ඔවුන් ඉවත් කරන බව ප්‍රකාශ කර තිබෙනවා.

මේ තැපැල් වර්ජනය අවසන් කිරීමට තැපැල් ඇමැතිවරයා ගනු ලබන ක්‍රියාමාර්ගය කුමක්ද කියා අපි දැනගන්න ඕනෑ.

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල

මේ සම්බන්ධයෙන් අද කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වුණා. මේ සඳහා විසඳුමක් අද සවස ලබාදී වර්ජනය අවසන් කරන බවට තැපැල් ඇමැතිවරයා ඇමැති මණ්ඩලයේදී පොරොන්දු වුණා.

දිනේෂ් ගුණවර්ධන

එහෙම කරනවා නම් හොඳයි. මේ සේවකයන් ඉවත් කරන බවට තැපැල්පතිවරයා අද කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්න ඕන. සේවකයන් වර්ජනය කර තිබෙන්නේ වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමට. ඒක සේවක අයිතියක්. මේ ප්‍රශ්නය විසඳන්න තිබුණා. රජය ඒ සඳහා උනන්දුවක් දැක්වූවේ නැහැ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon