ගිණුම් කාරක සභා වාර්තාවෙන් හෙළිවන තිත්ත ඇත්ත

  👤  3468 readers have read this article !
2018-06-21

ඉකුත් දශක දෙක තුන තුළ මෙරට රාජ්‍ය සේවය අන්තයටම පිරිහී ගියේය. රාජ්‍ය ආයතනවල කඩාවැටීම ඇරැඹුණේ ඊටත් පෙරාතුවය. තැටියයි රොටියයි මෙන් සැලැකිය හැකි රාජ්‍ය ආයතන හා රාජ්‍ය සේවය දැන් ළිපට වැටී ඇත.

පසුගිය වසරේ පමණක් මෙරට රාජ්‍ය ආයතනවල පාඩුව බිලියන 50ක් බව රාජ්‍ය ගිණුම්කාරක සභාව පැවැත්වූ වැඩමුළුවකදී අනාවරණය වී තිබේ. රාජ්‍ය ආයතන 837ක් අතරින් 50ක් දුර්වල ආයතන බව ඉකුත් වසරේ හඳුනාගෙන ඇති අතර මුදල් අමාත්‍යාංශය නිකුත් කළ වාර්තාවලට අනුව මේ වසරේ මුල් කාර්තු දෙකේදී රාජ්‍ය ආයතන 20ක් දුර්වල ආයතන ලෙස හඳුනාගෙන තිබේ.

ඉකුත් 19 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්තාවෙන් හෙළිදරව් වන්නේ ඊටත් වඩා භයානක තත්ත්වයකි.

රජයේ අමාත්‍යාංශ පනස් එකෙන් සියයට පනහකට වඩා වැඩි සංඛ්‍යාවක මූල්‍ය පාලනය සහ කාර්ය සාධනය දුර්වල මට්ටමක පවතින බව අදාළ වාර්තාවේ සඳහන් කර ඇත.
මේ අනුව අමාත්‍යාංශ 26ක් ස්ථාවර වත්කම් ලේඛනය යාවත්කාලීන කර පවත්වාගෙන ගොස් නැත. විගණන විමසුම් සඳහා නියමිත කාලය තුළදී අමාත්‍යාංශ 29ක් පිළිතුරු ලබාදී නොමැත. අමාත්‍යාංශ පමණක් නොව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම, පාර්ලිමේන්තුව පවා නියමිත පරිදි කටයුතු කර නැත.

රජයේ දෙපාර්තමේන්තු අනූ දෙකෙන් සැලකිය යුතු සංඛ්‍යාවක දුර්වලතා මේ වාර්තාවෙන් අනාවරණය කර ඇති අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා පළාත් සභා පිළිබඳවද අදාළ තොරතුරු හෙළිකර ඇත. සියලුම අමාත්‍යාංශ අතරින් අදාළ නියමයන්ට සාර්ථකව ප්‍රතිචාර දක්වා ඇත්තේ ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය පමණකි. සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව හා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සියයට සියයක සාර්ථකත්වයක් පෙන්වා ඇත. විගණකාධිපති දෙපාර්තමේන්තුව සියයට 99කි. ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සියයට 96ක්ද, සීතාවක ප්‍රාදේශීය සභාව සියයට 95.5ක්ද සාර්ථක ලෙස කටයුතු කර තිබේ.
මේ වාර්තාවට අනුව පෙනී යන්නේ අමාත්‍යාංශවලින් හරි අඩකට වැඩි ගණනක මූල්‍ය පාලනය සහ කාර්ය සාධන ක්‍රියාවලිය දුර්වල මට්ටමක පවතින බවය. අමාත්‍යාංශවල තත්ත්වය රාජ්‍ය අංශයේ තත්ත්වය නිරූපනය කරයි. මේ රාජ්‍ය ආයතන පවත්වාගෙන යන්නේ ඇමැතිවරුන් ඇතුළු නානාවිධ ඇමැතිවරුන්ගේ අධීක්ෂණය යටතේය.

කළමනාකරණය ගැන නොදන්නා දේශපාලන හෙංචයියන්ගෙන්, සට්ටැඹි යන්ගෙන් රාජ්‍ය ආයතනවල "පුටු" පිරවීමෙන් සිදුවන්නේ සමස්තයම වළපල්ලට යෑමය. 1970 ආණ්ඩුව ජනසතු කළ "වතු" එවැනි හෙංචයියන්ට දීම නිසා සැලකිය යුතු විනාශයක් වූ බව ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමෙන් පැහැදිලිය. අද සිදුවන්නේ පාඩු ලබන බව කියා රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමය.

කුමක් කරන්නත් අවංකකම මෙන්ම ඕනෑකමත් තිබිය යුතුය. පාලකයන්ට නැත්තේද එයමය. බිලියන ගණනින් රාජ්‍ය ආයතන පාඩු ලැබුවත්, අමාත්‍යාංශ හා ඒ යටතේ තිබෙන ආයතනවලට හෙණ ගැහැව්වත් මැති-ඇමැතිවරුන්ට ගාණක් නැත. කන්න දෙනවා නම් බොන්න දෙනවා නම් සාක්කුවත් පිරෙනවා නම් රටට මොන කෙංගෙඩියක් වුණත් මොකද? ඇමැති පට්ටම් ටික පරිස්සම් වුණොත් මදිද?

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon