ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මැති ඇමැතිවරු දැක්වූ අදහස්

  👤  3741 readers have read this article !
2018-06-21

දයා පෙරේරා, ජේ.ටී. ද සිල්වා

සයිටම් අහෝසියි - උසස් අධ්‍යාපන ඇමැති
ආචාර්ය විජයදාස රාජපක්ෂ

'සයිටම්' වෛද්‍ය විද්‍යාලය මෙම පනත සම්මත කිරීමෙන් පසු අහෝසි වෙනවා. මින් ඉදිරියට එම ආයතනයට වෛද්‍ය උපාධි පිරිනැමීම සිදු කළ නොහැකියි.
පෞද්ගලික පාසල් පද්ධතියත්, විශ්වවිද්‍යාල පද්ධතියත් පාලනය කරන්න, නිරීක්ෂණය කරන්න නීතිමය රාමුවක් අපේ රටේ සකසලා නැහැ.

සයිටම් ප්‍රශ්නය කෙටි කාලයක් තුළ විස¼දා ගැනීමට තිබුණු ප්‍රශ්නයක්. සාකච්ඡා මඟින් විස¼දාගත හැකි ප්‍රශ්නයක් ඇයි මේ තරම් දුරදිග ගියේ කියන එක අපටත් ප්‍රශ්නයක්.
මේ පනත අයත් වන්නේ සයිටම් වෛද්‍ය විද්‍යාලයේ 2009 සිට 2011 මැයි දක්වා කාලය තුළ අධ්‍යාපනය ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවනට පමණයි. මේ කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කරගනු ලබන්නේ අවශ්‍ය සුදුසුකම් තිබෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පමණයි.
කොතලාවල වෛද්‍ය පීඨයට 'සයිටම්' ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළත් කිරීමේදී විශේෂඥ කණ්ඩායමක් විසින් ඔවුන්ගේ පුහුණුව පිළිබඳ ඇගැයීමක් සිදු කිරීමෙන් පසුවයි විශ්වවිද්‍යාලයට ඇතුළත් කරන්නේ.
මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලබා ඇති සායනික පුහුණුව පිළිබඳවත් සොයා බලනවා. සයිටම් විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් කොතලාවල විශ්වවිද්‍යාලයට ඇතුළත් කරගත් පසු ඔවුන් ලබා ඇති සායනික හා අධ්‍යාපනික පුහුණුව පිළිබඳව පරීක්ෂණයට භාජන කර ඔවුන්ට තවදුරටත් සායනික පුහුණුව ලැබීමට අවශ්‍ය නම් ඒ සඳහා වැඩිදුර පුහුණුව ලබාදීමක් සිදු වෙනවා.
මේ පනත සම්මත වූ පසු යළිත් සයිටම් ආයතනයෙන් වෛද්‍ය උපාධි පිරිනැමීමක් සිදු වන්නේ නැහැ.
පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබඳව කාගේවත් ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නය තිබෙන්නේ වෛද්‍ය විද්‍යාල ගැන පමණයි.
පෞද්ගලික විශ්වවිද්‍යාල පවත්වනවා නම් ඒවා ප්‍රමිතියකට පවත්වාගෙන යා යුතු බව උගතුන්ගේත්, වියතුන්ගේත් අදහස වී තිබෙනවා.
මහාමාර්ග ඇමැති කබීර් හෂීම්
ඇමැතිතුමා මේ තත්ත්වය ඇති වුණේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලයේ හිටපු උසස් අධ්‍යාපන ඇමැතිවරයා අනුගමනය කළ ක්‍රියාපිළිවෙත නිසයි. එහෙම නොකළා නම් අද මේ අර්බුදය ඇති වන්නේ නැහැ.
විජයදාස රාජපක්ෂ
අපේ රටේ 2012 හිටපු උසස් අධ්‍යාපන ඇමැතිතුමා නීතිය ගැන නොසලකා මේ සයිටම් ආයතනය පවත්වාගෙන යෑමට ඉඩ දුන්නා.
සයිටම් ප්‍රශ්නය නිසා විශ්වවිද්‍යාල පද්ධතිය කඩාවැටුණා. අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයම බිඳවැටෙන්න මේ කාරණය සමත් වුණා.
විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් 'සයිටම්' ප්‍රශ්නය නිසා පාරට බැස්සා. අපි සෑම අංශයක් සමඟම සාකච්ඡා කර කාටත් පිළිගත හැකි විසඳුමක් මේ පනත මඟින් ඇති කර තිබෙනවා.
වෛද්‍ය උපාධිය ලබා ගන්නා උපාධිධාරියකු සම්බන්ධයෙන් ඔවුන්ගේ උපාධියේ ප්‍රමිතිය, අවශ්‍ය සුදුසුකම් ආදිය පිළිබඳ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව දැනට අනුගමනය කරන ක්‍රියාපිළිවෙතට මේ පනත නිසා කිසිදු බලපෑමක් ඇති වන්නේ නැහැ.

ඇමැතිවරුන් දෙදෙනෙක් නිසා සයිටම් ප්‍රශ්නය දිග්ගැස්සුණා - දයාසිරි ජයසේකර

"හිටපු උසස් අධ්‍යාපන ඇමැතිවරයාත්, සෞඛ්‍ය ඇමැතිවරයාත් 'සයිටම්' ප්‍රශ්නයට නරක විදියට මැදිහත් වුණ නිසා ප්‍රශ්නය දිග්ගැස්සුණා" යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර පැවැසීය.
වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය පිළිබඳ තීරණය කරන ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ඇති බලතල මේ 'සයිටම්' ශිෂ්‍යයන් කොතලාවල විශ්වවිද්‍යාලයට ඇතුළත් කිරීමේදී ක්‍රියාත්මක වීමට ඉඩ තිබිය යුතුයි.
එසේම මේ පනත ඉදිරියේදී මෙතැනින් එහාටත් යෑමට ඉඩ තිබෙනවා. ඒකයි මම කියන්නේ.
උසස් අධ්‍යාපන ඇමැති
මේ පනත අදාළ වන්නේ 'සයිටම්' ආයතනයෙන් වෛද්‍ය අධ්‍යාපනය ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 982යි. ඒ ළමයි ඇතුළත් කිරීමෙන් පසු මේ පනත අහෝසි වෙනවා.
දයාසිරි ජයසේකර
හිටපු උසස් අධ්‍යාපන ඇමැති හා සෞඛ්‍ය ඇමැති 'සයිටම්' ප්‍රශ්නයට නරක විදියට මැදිහත් වුණු නිසා ප්‍රශ්ය දිග්ගැස්සුණා. නමුත් නව උසස් අධ්‍යාපන ඇමැති අලුත් විදියට බලන, නිහතමානීව කටයුතු කරන කෙනෙක්. මේ ගැන ඉතිහාසය පුරාම ඇති වුණු සැක සංකා, ඔබතුමාට අද මකා දමන්න සිදුවෙලා. 'සයිටම්' එකට මම එදත් විරුද්ධයි. අදත් විරුද්ධයි.

ආරක්ෂක විශ්වවිද්‍යාල පනත අකුළා ගන්න; ඒක ගෙනාවොත් තවත් ගින්නක් පත්තු වෙනවා - වාසුදේව නානායක්කාර

මේ රටේ ආණ්ඩු, මා හිටපු ආණ්ඩු වෙන්නත් පුළුවන්. නිදහස් ‍ෙදාස්තරලා සහ ව්‍යාපාරිකයන් සමඟ එකතුවෙලා නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමට ගෙනා ක්‍රියාව අද අවසන් වී තිබෙනවා. ව්‍යාපාරිකයන් මේ දරුවන්ට වන්දි ගෙවිය යුතුයි. එදා උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලීය ප්‍රශ්නයේදී සටන් කළ වෛද්‍ය සංගම්වල සිටි ‍ෙදාස්තරලා අද වෙනස්වෙලා.
සයිටම්හි නිසි ප්‍රමිතිය ඇති කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්තියයි. ඉසෙඩ් අගය අනුව විශ්වවිද්‍යාලවලට බඳවා ගන්න. පෞද්ගලික විශ්වවිද්‍යාල හෝ රජයේ විශ්වවිද්‍යාල වුවත් කම් නැහැ. වියදම් කිරීමට මුදල් ඇති අයට පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යා හැකියි. සල්ලි නැති නිසා අධ්‍යාපනයෙන් බැහැර විය යුතු යැයි මේ සමාජය කියනවා නම් ඒ සමාජය කීතු කීතු කොට ඉරා දැමිය යුතුයි.
රජයේ විශ්වවිද්‍යාල තත්ත්වය පහත වැටී පෞද්ගලික විශ්වවිද්‍යාල තත්ත්වය ඉහළ නැඟ ඇතැයි කියනවා. වගකිවයුත්තේ පාලකයන්. ආරක්ෂක විශ්වවිද්‍යාල පනත අකුළා ගන්න. ඒක ගෙනාවොත් තවත් ගින්නක් පත්තු වෙනවා.

අන්තර්ග්‍රහණය කිරීමෙන් පසු සයිටම් වැසී යනවා - කනක හේරත්

අපේ අධ්‍යාපන ක්‍රමවේදයේ තිබෙන වැරැදි හරියාකාරව සකස් කරගතහොත් අනාගතයේ මෙවැනි ප්‍රශ්න මතු වෙන්නෙ නැහැ. රජය අධ්‍යාපනය ලබාදෙන අතර පෞද්ගලික අංශයද ඒ සඳහා දිරි ගන්වන්න ඕනෑ.
උසස් පෙළ විභාගයෙන් සමත් වන සිසුන් වැඩි පිරිසකට රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට අවස්ථාව නැහැ. ඒ නිසා පෞද්ගලික විශ්වවිද්‍යාල ප්‍රමිතියකට අනුව තිබිය යුතුයි. උපාධි කඩවල නොවේ. ප්‍රමිතිගතව ඒ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබාදීමට ක්‍රියා කළහොත් වැඩි දෙනකුට උපාධි ලබාගත හැකියි.
අපි පෞද්ගලික විශ්වවිද්‍යාලවලට විරුද්ධ නැහැ. ප්‍රමිතියකට අනුව ඒවා සිදු කරනවා නම් අප සහාය දෙනවා. මේ ප්‍රශ්නය අවුරුදු තුනක් පුරා විසඳීමට බැරි වුණා.
මාස තුනක් ඇතුළත අන්තර්ග්‍රහණය කිරීමෙන් පසු සයිටම් වෛද්‍ය විද්‍යාලය වැසී යනවා. අනාගතයේදී මෙවැන්නක් සිදු නොවීමට අවශ්‍ය කටයුතු කළ යුතුයි.

පනතේ අඩුපාඩු හරහා ශිෂ්‍ය ප්‍රජාව නැවත පාරට ගැනීමට කටයුතු නොකළ යුතුයි - රමේෂ් පතිරණ

ඉදිරියේදී ප්‍රමිතියෙන් තොර වෛද්‍ය අධ්‍යාපන ආයතන ආරම්භ කර කොතලාවල වෛද්‍ය පීඨයට එම සිසුන් ඇතුළත් කිරීම සඳහා ඉඩක් නොතැබිය යුතු බව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි වෛද්‍ය රමේෂ් පතිරණ පැවැසීය.
වෛද්‍ය පීඨ ආචාර්ය මණ්ඩල ඉතාම සාධනීය විසඳුම් ලබාදීමට කටයුතු කළ හැමට ස්තුති කරනවා. වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ආරක්ෂා විය යුතු බව අප හැම විටම කීවා. මෙහි අධ්‍යාපනයට ඇතුළත් වූ හැම දරුවකු කෙරෙහිම අවධානය යොමු කළා.
පෞද්ගලික අධ්‍යාපනයට මා පෞද්ගලිකව විරුද්ධ නැහැ. නමුත් ගුණාත්මකභාවයක් තිබිය යුතුයි. ඉදිරි කාලෙදි වෛද්‍ය සභාව විසින් නිර්ණායක සකස් කළ යුතුයි. සයිටම් අර්බුදයේදී අපේ ආණ්ඩුවේ හා ඊට පෙර ආණ්ඩුවලත් ඇමැතිවරු ඉතා තදින් කියා සිටියේ මේ ආයතනය වසා නොදමන බවයි. නමුත් අද හැම දෙනාම එය වසා දැමිය යුතුය යන මතයට ඇවිත් තිබෙනවා.
මේ පනතේ යම් අඩුපාඩුවක් හරහා ශිෂ්‍ය ප්‍රජාව නැවත පාරට ගැනීමට කටයුතු නොකිරීම අප හැමගේ වගකීමයි. මේ ප්‍රශ්නය මේ තරම් දුර නොගොස් විසඳීමට අවස්ථා ගණනාවක් තිබුණා. එය පැහැර හැරීම නිසා වෛද්‍ය අධ්‍යාපනය වසරකින් ප්‍රමාද වුණා. මේ ගැන අද තත්ත්වය ඉතා හොඳයි. ආයතනය වසා දැමෙනවා පමණක් නොව ඉදිරියේදී ප්‍රමිතියකින් තොරව වෛද්‍ය අධ්‍යාපන ආයතන ආරම්භ කර මේක පූර්වාදර්ශයක් ලෙස ගෙන කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීම සඳහා ඉඩ නොතැබිය යුතුයි.
අන්තර්ග්‍රහණය සිදුවන තෙක් අධ්‍යාපනය ලබාදෙන ආයතනයේ ප්‍රමිතිය ගැන ගැටලුවක් නොවිය යුතුයි. 980වක් එකවර ඇතුළත් කිරීමට නොහැකි වනු ඇති. වෛද්‍ය සභාවේ අධීක්ෂණය මත අන්තර්ග්‍රහණය සිදුවිය යුතුයි.

වෛද්‍ය අධ්‍යාපනය කනත්තට යන දවස ඉක්මන් වේවි - සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

"අවම ප්‍රමිතිය එක් තැනකට ගෙන ඒමෙන් වෛද්‍ය අධ්‍යාපනය කනත්තට යන දවස ඉක්මන් වේවි"යි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පැවැසුවාය.
'සයිටම්' ආයතනයේ වෛද්‍ය පීඨය අහෝසි කරන්න සංශෝධනයක් ගෙන ඒම ගැන ස්තුතිවන්ත වෙනවා. මෙතැන ප්‍රමිතිය ගැන ප්‍රශ්නයක් තියෙනවා. සයිටම් ආයතනයටත් සී දෙකයි එස් එකයි තිබුණේ.
උසස් අධ්‍යාපන ඇමැති
මේ එස් තුන අදාළ වන්නේ මේ
ළමයින්ට පමණයි. එය මේ පනතට පමණයි සීමා වෙන්නේ.
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය අපි ආරක්ෂා කරගන්න ඕන. සයිටම් ශිෂ්‍ය ශිෂ්‍යාවන් කොතලාවල විශ්වවිද්‍යාලයට අනුයුක්ත කළත් ඒ අයගේ සායනික පුහුණුව ගැනත් මේ පනතට ඇතුළත් වෙන්න ඕන.
උසස් අධ්‍යාපන ඇමැති
ඒ ළමයි සායනික පුහුණුව සම්පූර්ණ කළොත් පමණයි උපාධිය ලැබෙන්නේ.
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතියක් තියෙන්න ඕන. එසේ නොමැති වුවහොත් ගුණාත්මකභාවයක් ඇති වෛද්‍යවරු බිහි කරන්න නොහැකි වෙනවා.

චෞරයන්ට අවනත නොවන හැම මන්ත්‍රිවරයකුටම 116 ලැයිස්තුව හෙළි නොවීම ප්‍රශ්නයක් - ඩලස් අලහප්පෙරුම

"බැඳුම්කර වංචනිකයන්ගෙන් මුදල් ලබාගත් 118 දෙනා පිළිබඳව තොරතුරු හෙළි නොවුණහොත් මන්ත්‍රිවරයකුට ගෙදර ගියාම තාත්තා කියල කියන්න දරුවකුට බැරි තත්ත්වයක් ඇති වෙනවා." යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම පැවැසීය.
මන්ත්‍රිවරු 118ක් පිළිබඳව ලේඛනයක් ලැබී නැති බව කථානායකතුමා කියනවා.
බැඳුම්කර වංචනිකයන්ගෙන් මුදල් පමණක් නොව ගෙවල්, රුසියානු රූමතියන් ලබාගත් අයත් සිටින බව නියෝජ්‍ය ඇමැතිවරයෙක් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
"එක්කෝ ඒ චෞරයන් කවුද කියල හෙළි කරන්න. ඒ චෞරයන්ට නිල්, කොළ, රතු වර්ණයක් නැහැ. මූලාසනයේ පුටුව රටට නායකත්වයක් දෙන්න ඕන.
සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල
ඔය 118 කතාව කිව්වේ කවුද? දයාසිරි ජයසේකර මන්ත්‍රිතුමා තමයි ඒක කිව්වේ. අපිම කතා කරනවා එහෙම හෙළිදරව්වක් නැහැ කියල. අපිම අපේ පාර්ලිමේන්තුවේ වටිනාකම නැති කරගන්නවා."
ඩලස් අලහප්පෙරුම
හොඳ කාටූනයක් අන්න තියෙනවා පාර්ලිමේන්තුවට එන පාරේ සවි කරලා. ඒ දැන්වීම් පුවරුව මේ ගැන හොඳ පණිවුඩයක් දීල තියෙනවා. හෘදය සාක්ෂියට එකඟව චෞරයන්ට අවනත නොවන හැම මන්ත්‍රිවරයකුටම මේ 116 ලැයිස්තුව හෙළි නොවීම ප්‍රශ්නයක් වී තිබෙනවා.

මේ පනත ගේන්න තිබුණේ
'සයිටම් අහෝසි කිරීමේ පනත' හැටියටයි - ජයන්ත සමරවීර

"සයිටම්" හොර උපාධි කඩයේ සම්පත්වලට වෙන්නෙ මොනවද කියල මේ පනතේ සඳහන් වෙන්නෙ නැහැ"යි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර පාර්ලිමේන්තුවේදී පැවැසීය.
මේ රටේ හොර උපාධි කඩ, වෛද්‍ය උපාධි කඩ බිහි කිරීම, ත්‍රිමා විතාරණ ශිෂ්‍යයාගේ ජීවිත පූජාවෙන් ඇනහිටියා. එදා උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය පිහිටුවීමට යෑමේදී ගෙන ගිය ශිෂ්‍ය ව්‍යාපාර නිසා තමයි එය වළක්වාගත හැකි වුණේ. මේ පනත හරි නම් ගේන්න තිබුණේ 'සයිටම්' අහෝසි කිරීමේ පනත හැටියටයි. නමුත් ඒක එහෙම වෙලා නැහැ.
සයිටම් මුදලාලි ශිෂ්‍යයන් 980 දෙනකුගෙන් අය කරගත්ත සල්ලිවලට මොකද වෙන්නේ? ඒ සල්ලි ආපසු ගෙවනවද? ඒ අහිංසක දරුවන්ට මේ රටේ බදු ගෙවන අහිංසක මවුපියන්ගෙන් අය කරගත්ත මුදල් ආපසු ගෙවන්නෙ නැද්ද?
උසස් අධ්‍යාපන ඇමැති
සයිටම් ආයතනයේ සම්පත්වලට අපිට වගකියන්න බැහැ. ඒක පෞද්ගලික ආයතනයක්. නෙවිල් ප්‍රනාන්දු ළමයින්ට ශිෂ්‍යත්ව ලබාදීල තියෙනවා. ඒ සල්ලිත් ගෙවන්න කියන්න.

සයිටම් ඇතුළෙ 'එස්' තුන නැති ළමයිත් ඉන්නවා - නලින්ද ජයතිස්ස

සයිටම් වෛද්‍ය පීඨයේ නවසියයක් සිසුන් අතරින් එකසිය හැටක් පමණ පිරිසකට අවම සුදුසුකම් නැති බවත් ඔවුනට වෛද්‍ය උපාධිය ලබාදී රටක් අනතුරට පත් කළ යුතුද? සයිටම් ඇතුළෙ 'එස්' තුන නැති ළමයි ඉන්නවා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අන්තර්ග්‍රහණය කරන සිසු සිසුවියන්ගේ තොරතුරු විභාග අංක හා ප්‍රතිඵල ආදියද සමඟ පාර්ලිමේන්තු සභාගත කරන්න. එවිට සියල්ල දැනගත හැකි වෙයි. ඉසෙඩ් අගය 0.058 තිබෙන අයෙක් සයිටම් ආයතනයේ ඉන්නවා. මෙවැන්නකු වෛද්‍යවරයකු වුවහොත් සිදු වන්නේ කුමක්ද? සයිටම් දරුවකුට වෙන සාධාරණය රටේ බහුතරයකට අසාධාරණයක් වෙන්න බැහැ. අවම සුදුසුකම් වැඩි විය යුතු බව ආචාර්ය සංගම් කියන්නේ ඒ නිසායි.
නෙවිල් ප්‍රනාන්දු මහතා දැන්වීම් පළ කර ඇත්තේ සී 2යි එස් 01යි සහිත සිසුන් සයිටම් විද්‍යාලයට සුදුසු බවටයි. අසරණ දරුවන්ගේ මුදල් ලබා ගනිමින් ඔහු ව්‍යාපාරයක් කළා.
ඔහුත් වක්‍ර ආකාරයට බැඳුම්කර මගඩියක් සිදු කර තිබෙනවා. මේ විද්‍යාලයේ 'එස් තුන' නැති අයත් ඉන්නවා. නමුත් රාජ්‍ය වෛද්‍ය පීඨවලට සිසුන් ඇතුළත් කිරීමේ අවම සුදුසුකම 'ඒ' දෙකයි 'බී' එකයි. ඒ නිසා මෙය සුදුසු නැහැ. මොවුන්ගේ අවම සුදුසුකම වැඩි විය යුතුයි.
ආචාර්ය විජයදාස රාජපක්ෂ
ඔබතුමන්ලා හැමදාම කීවේ මේ දරුවන්ට සාධාරණයක් කරන්නයි. ඉතින් මීට වඩා සාධාරණයක් කරන්නේ කොහොමද?

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon