තැපෑල

  👤  3836 readers have read this article !
2018-06-22

තැපැල් සේවක වැඩ වර්ජනයට මේ වනවිට සති දෙකක් පිරීමට ආසන්නය. එහෙත් විසඳුමක් ලැබෙන පාටක් නැත. පෙරේදා අඛණ්ඩ උපවාසයක් ඇරැඹීමට වර්ජකයන් තීරණය කළේ එනිසාය. තවදුරටත් සිය ඉල්ලීම්වලට කන් නොදෙන්නේ නම් මාරාන්තික උපවාසයක් දක්වා යන බව ඔවුහු පවසති.

තැපැල් සේවකයන්ගේ ඉල්ලීම් සාධාරණ විය හැකිය. 'ප්‍රශ්නය' වැඩ වර්ජනයක් දක්වා දුරදිග යෑමට බලධාරීන්ගේ නොසැලකිල්ල හේතු වූවද විය හැකිය. එහෙත් මේ වැඩ වර්ජනය නිසා 'තැපෑල' ගැන ජනතාව තබා ඇති විශ්වාසය මුළුමනින්ම බිඳ වැටීමට ඉඩ තිබේ. දැනටමත් විද්‍යුත් තැපෑලට යොමුවෙමින් සිටින පාරිභෝගික ජනතාව තවදුරටත් ඊට පෙලඹීමයි.

'තැපෑල' මීට කලකට පෙර ජනතාව සමඟ යාවජීව බැඳීමක් තිබූ සේවයකි. සියලු ලිපි ලේඛන හුවමාරු සිදුවූයේ තැපෑලෙනි. පෙම් හසුන් දෙපාර්ශ්වයට රැගෙන ගිය 'පියුන්' පෙම්වතුන්ගේ හිතවතෙක් විය. එහෙත් අද තැපැල් කන්තෝරුව ගැන බොහෝ දෙනකුට එතරම් උනන්දුවක් නැත. තැපෑලෙන් සීමිත වැඩ කොටසක් තවමත් සිදුවේ. එහෙත් තැපැල් වැඩ වර්ජනයක් සිදුවුවද මගී බස්, විදුලිබල වැඩ වර්ජන මෙන් ජනතාවට නැත. ආණ්ඩුවද වැඩ වර්ජනයට විසඳුම් සෙවීමට එතරම් උනන්දු නොවන්නේ ඒ නිසා විය යුතුය.

එහෙත් තැපෑල තවමත් අවධානයට යොමුවී ඇත්තේ, විභාග ප්‍රවේශපත්, ඡන්ද පත්‍රිකා තවමත් බෙදාහරින්නේ තැපෑල නිසාය. 'තැපෑල' පෞද්ගලීකරණය කිරීමට මීට කලකට පෙර පාලකයන් ගත් තීරණය අත්හිටුවීමට බලපෑ ප්‍රධාන කාරණයද 'ඡන්ද පත්‍රිකා' රට පුරා බෙදාහැරීම පෞද්ගලීකරණය කළ තැපෑලකින් කළ නොහැකි වීමයි. රජයේ පාසල්වලට 1 වැනි වසරට ළමයින් ඇතුළත් කරගැනීම සඳහා අයැදුම් පත්‍ර භාර ගැනීමේ අවසන් දිනය තැපැල් වැඩ වර්ජනය නිසා කල් දැමීමෙන් පෙනෙන්නේ ඒ සම්බන්ධයෙන් 'තැපෑල' වැදගත් වන බවය.

තැපැල් සේවකයන් මෙවැනි වෘත්තීය ක්‍රියාමාර්ගයන් ගත යුත්තේ දෙවරක් නොව තෙවරක් සිතා බලාය. රටට වැඩ වර්ජන ඕනෑ තරම් ඇත. නැත්තේ වැඩ කරන සේවකයන්ය. ඉල්ලීම් දිනාගැනීමට ඇති උනන්දුව රාජකාරිය කිරීමට රජයේ සේවකයන් තුළ නැත. එය පොදු ඇත්තය. තැපෑල අරබයාද එහි වෙනසක් නොවේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon