එක්සත් ජාතික පක්ෂයක ගමන් මඟ

  👤  4596 readers have read this article !
2018-06-22

එක්සත් ජාතික පක්ෂය මීළඟ පළාත් සභා මැතිවරණයට හෝ ජනාධිපතිවරණයට කෙසේ මුහුණ දෙන්නට යන්නේදැයි තවමත් පෙනෙන්නට නැත. එනමුත් ආණ්ඩුවේ පැවැත්ම උදෙසා, ආණ්ඩුව ඇදගෙන යෑම උදෙසා එජාපය මැතිවරණ ජයග්‍රහණයක් උදෙසා සැබැවින්ම කැපවෙනවාදැයි විමසන්නට සිතෙන තරම්ය.

හීන්සීරුවේ පක්ෂ යාන්ත්‍රණය ශක්තිමත් කරගෙන හෙමින් ගමනක් යන්න වෙලාවක්ද ඉතිරි වී නැති මුත් ජයග්‍රාහී ප්‍රතිඵලයක් ලබාගත හැක්කේ මීට වඩා ජවසම්පන්න උත්සාහයකින් පමණක්ම බවත් කියැවෙන කතා බොහෝය.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය මේ මොහොතේ පසුවන්නේ සිය පක්ෂයේ අනාගතය තීන්දු කරන ප්‍රබලම සන්ධිස්ථානයකය. පළාත් සභා ඡන්දයේ ප්‍රතිඵලය පරණ සමානුපාතික ක්‍රමයට හෝ අලුත් බහුබූත ක්‍රමයට පැවැත්වූයේ වුවද, අභියෝගය බරපතළය. පොහොට්ටුවට වැටෙන, මහින්දට ළබැඳි ජනතාවගේ, ආණ්ඩුවට එරෙහි විරෝධාකල්ප අඩංගු ඡන්ද මෙන්ම, ශ්‍රීලනිපයද කඩා ගන්නා යම් ප්‍රමාණයක හෝ ඡන්ද සංඛ්‍යාවත්, ජවිපෙට මෙන්ම සෙසු පක්ෂ කිහිපයකට බෙදී යන ඡන්ද ප්‍රමාණයත් සලකා බලද්දී මේ තීරණාත්මක අභියෝගය එක්සත් ජාතික පක්ෂයට නම් බලපාන්නේ දැඩිවය.

එ.ජා.ප. නායකත්වය වෙනස් නොකළේ වුවද පක්ෂ යාන්ත්‍රණය "නාමික වශයෙන් හෝ තරුණයන් අතට පත් කර ඇති බව" පෙනෙයි. තරුණයන් යැයි හඳුන්වාදෙන කණ්ඩායම තුළින් මීළඟ දශක දෙකක් ඉදිරියට සිතා රනිල් පෙන්වා දෙන හඳුන්වාදීම් ගැනද සිතා ගත හැකිය. ඒ අනුව රනිල්ගෙන් පසු එජාපයේ වගකීම කරට ගෙන එම පක්ෂය ඉදිරියට ගෙන යා හැක්කේ මේ අතරින් අසවලාට යැයි පාක්ෂිකයන්ට සිතාගත හැකි අනුමානයක්ද දක්වා ඇත. එය ඒ ඒ අයට රිසි පරිදි තම තමන් විශ්වාස කරන පරිදි කෙසේ හෝ විය හැකිය.

එහෙත් රනිල් නායකත්වයේ තවදුරටත් සිටින්නේ නම් පළාත් සභා මැතිවරණයේදී එජාපය යම් පසුබෑමකින් ගලවා ගැනීමේ වගකීමද හිස මත දරා සිටින්නේය. තරුණ නායකයන් ඉදිරියට ගත්තා යැයි කියා සිටියද රනිල්ට එළැඹෙන මැතිවරණයකදී පරාජයකට මුහුණ දෙන්නට සිදුවූයේ නම් එහි වගකීමෙන් පලා යන්නට ලැබෙන්නේ නැත. එනිසාම තරුණ නායකයන්ටද රනිල් පරදිනවා බලා කාලකණ්ණි සතුටක් විඳිමින් 'තමන්ට තව කල් තිබෙනවා' යැයි සිතා කටයුතු කරන්නට බැරිය. කළ යුතුම දේ නොකර, කල් මරමින්, එක එක කතා කියමින් ඉන්නටද බැරිය. ඒ තරමටම පක්ෂය ඉදිරියේ එහි අනාගතය තීන්දු කරන අවස්ථාව ලබාදීමක් සිදුකර ඇති බැවිනි.

"යූ.එන්.පී.යේ ඉලක්කය තමයි පළාත් සභාවල බලය ගන්න පුළුවන් සභා වෙනුවෙන් උපරිම උත්සාහයක් ගන්න එක. දිනන්න අපහසු පළාත් සභා වෙනුවෙන් මීට වඩා වැඩි අවධානයක් දීලා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නයි. නමුත් මේ ඡන්දයේ වැඩි වාසිය ලබා ගන්නවාට වඩා ජනාධිපතිවරණයට ඕන කරන පසුබිම හදාගන්න එක තමයි බරපතළම රාජකාරිය. පළාත් සභා පහුකරලා නම් ජනාධිපතිවරණය යූ.එන්.පි.ය දිනන්නම ඕනෑ" මේ වෙනුවෙන් වධ වෙන, ඒ ගැන කැක්කුමක් ඇතිව වැඩ කරන එජාප තරුණ නායකයකු කීවේ එවැන්නකි.

මේ මොහොතේ ජනාධිපතිවරණය ජය ගන්න හදන යූ.එන්.පි.යට සිය අතීත නායකයන් එකී පක්ෂය ජය ගන්න කළ කැප කිරීම් පිළිබඳ ඉතිහාසයෙන් බිඳක් දැක්වීම කාලෝචිතය. මහාමාන්‍ය ඩී.එස්. සේනානායකයන් මුල්වී හැදූ බණ්ඩාරනායක මහතාද ඇතුළත්ව සැකසූ එදා එජාප ව්‍යවස්ථාවෙ පක්ෂය ගැන සඳහන් ඡේදයක් මෙසේය.
"2. සාමාජිකත්වය
මෙම පක්ෂය ජාති භේදයෙන් හා ආගම් භේදයෙන් තොරය. එහි සාමාජික ධුර--3 ව්‍යවස්ථාවෙන්ද දැක්වෙන සාමාජික ධුරය පිළිබඳ කොන්දේසි පිළිගන්නා ඡන්ද හිමියන් වන සියලු දෙනාටම ලබාගත හැකිය."

මෙය එක්සත් ජාතික පක්ෂයේ පදනම තවමත් ශක්තිමත් කරන ශක්තිමත්ම අවියය. මෙය ජනාධිපතිවරණයකදී තියුණු තරගයක් දීමට හැකි ශක්තිමත්ම තුරුම්පුවය. සිංහල අති බහුතරයේ ඡන්ද පමණටම, දෙමළ හා මුස්ලිම් ඡන්දත් සෙසු ජනවර්ගවල ඡන්දත් එජාපය වටා රැඳෙමින්, යළි යළි එක්වෙමින් පවතින්නේ එජාපය සියලු ජාතීන් එක මිටට එකතු කරන එක්සත් බවක් වෙනුවෙන් පෙනී සිටින බව අදටත් පිළිගන්නා බැවිනි.

ඩී.එස්. ද, ඩඩ්ලිද, සර් ජෝන් කොතලාවලද, ජේ.ආර්. ජයවර්ධනද, රණසිංහ ප්‍රේමදාසද පක්ෂයේ මෙම හරයත්, සංයුතියත් සිහිනුවණින් හඳුනා ගත් නායකයෝ වූහ. එක්සත් ජාතික පක්ෂයේ සැබෑ 'එක්සත් ජාතික බව' ඩී.එස්. එය ඇරැඹූ දා පටන්ම සහතික විය. 1946 සැප්තැම්බර් 6 දා සිකුරාදා සවස 5ට ඇල්බට් කේ‍රසන්ට්හි 'ෆාම්කෝට්' මන්දිරයේදී පිහිටුවාගනු ලැබූ එක්සත් ජාතික පක්ෂයේ මුල්ම නිලධාරි මණ්ඩලයද ජාතික සමඟියත් සියලු ජාතීනුත් සංකේතවත් කෙරුණේය.
එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා තාවකාලිකව මුලසුන ගෙන ඩී.එස්. සේනානායක මහතාගේ නම පක්ෂයේ සභාපති ධුරය සඳහා යෝජනා කළේය. එය ජෝර්ජ් ආර්. ද සිල්වා ස්ථිර කර ඒකච්ඡන්දයෙන් සම්මත විය.

උප සභාපති වශයෙන් බණ්ඩාරනායක, කොතලාවල, ජෝර්ජ් ආර්. ද සිල්වා සමඟ ඒ. මහා දේව සහ ටී.බී. ජයා යන මහත්වරුන් පත් කර ගත යුතු බව කීවේ ඩී.එස්. ය. එය එසේම විය. සම භාණ්ඩාගාරික ලෙස ඒ.ආර්.ඒ. රාසික් සහ ජේ.ආර්. ජයවර්ධන පත් කෙරුණේද සේනානායක මහතාගේ මුල් අදහසට අනුගතවය.

මේ මහා දැවැන්ත පක්ෂයේ ඇරැඹුම එසේ විය. එය පෝෂණය වූයේ සියලු ජාතීන්ගේම කැමැත්තෙනි, ඡන්දයෙනි. ඒ අනුව පළමු යූ.එන්.පී. කාරයන් වූයේ බද්දේගම සයිමන් අබේවික්‍රම, වැල්ලවත්තේ ස්ටේෂන් ඇවනියු හි සිටි කේ. අදමාලි, ශේ‍ර්ෂ්ඨාධිකරණ නීතිඥ යාපනයේ ඇස්.ඇම්. අබුබක්කර්, මහනුවර ගෝල්ඩන් පාරේ විසූ වෛද්‍ය කර්නල් වී.එච්.එල් ඇන්තනීස්, කොළඹ සා. ජෝශප් විද්‍යාලයේ උපගුරු ජී.ඩී.බී.ඒ. ආසිර්වාදම් වැන්නවුන්ය. මේ අතීතය ගැන වත්මන් එජාප පොඩ්ඩෝ දන්නේ නැතිවා වන්නට පුළුවන. එහෙත් ජනාධිපතිවරණ සටනට ඉහළම සටනක් දෙනවා නම් පටන්ගත යුත්තේ මෙම ඓතිහාසික සත්‍යය වටහාගෙනය.

තරුණ නායකයන් හෝ වේවා යම් තරමක පැරැණි නායකයන් හෝ වේවා සියලු ශක්තිය යොදා සිංහල ඡන්ද දිනාගන්නා මෙහෙයුම හා සමානවම දෙමළ හා මුස්ලිම් ඡන්ද දිනාගත යුතු වීම මෙහිදී අනිවාර්යය. සිංහලයාට පමණක් නොව දෙමළ හා මුස්ලිම් මිනිහාටත් එජාපයේ සරණයි, පිහිටයි යන පණිවුඩය ගම් මට්ටමට ගෙන යන හද බැඳ ගත් වැඩසටහන් වහ වහා අත්‍යවශ්‍යය. ජාතික ඡන්ද ආයාචන කමිටු පිහිටුවා ගත්තද එම කමිටු ගමට බැහැලා සක්‍රියව මේ සඳහා සැලසුම් හදා ගත යුතුය. ගමේ මිනිහා තමන්ගේ පක්ෂයට එකතු කරගත යුත්තේ මතවාදීමය වශයෙන් ඔවුන් දැනුමින් හා අවබෝධයෙන් පෝෂණය කර මිස ඡන්දය ලබාගැනීම සඳහා ඇන්දවීමක් පමණක් කරමින් නොවේ.
එදා පක්ෂය ආරම්භ කළ පසු එළැඹි පළමු ඡන්දය වූ 1947 ජූලි 23 දා සිට සැප්තැම්බර් 20 දක්වා දින 19ක් පුරා පැවැති ඡන්දයේදී එජාපය වාර්තාගත සුළු ජනතා ප්‍රසාදයක් දිනාගත් අතීතයකට හිමිකම් කියන්නේද මේ ශක්තිය වටහාගත් නිසාය.

එම මැතිවරණයේදී බහුතර මුස්ලිම් ජනතාවක් වෙසෙන මුත්තූර් ආසනය එජාපය දිනා ගත්තේ වැඩි ඡන්ද 1,720කිනි. ලබාගත් ඡන්ද සංඛ්‍යාව 3,480කි. එජාප ජයග්‍රාහකයා වූයේ ඒ.ආර්.ඒ.එම්. අබුබක්කර්ය. ඒ.එල්. සින්නලෙබ්බේ මඩකළපු ආසනය දිනා ගත්තේ ඡන්ද 4,760ක් ලබාගෙනය. ඔහුට පරදින්නේ ද්‍රවිඩ ජාතිකයකු වූ කේ.වී.ඇම්. සුබ්‍රමනියම්ය. කල්මුණේ ආසනයද එජාපයේ ඇම්.ඇස්. කාරියප්පර් ඡන්ද 6,886ක් ලබාගෙන ජයගත්තේය. මෙම ජනතා නියෝජිතයන් තෝරා ගැනීමේදී පක්ෂය හා පක්ෂ නායකත්වය එම ප්‍රදේශයේ ජනතාවගේ හද බැඳගත හැකි බහුතරයේ විශ්වාසය දිනූ අයකුම, ජාති භේද වාදයෙන් තොරව තෝරාගෙන, තරගයට ඉදිරිපත් කිරීම ඉතාමත් සාර්ථක විය.
එබැවින් අතීත නායකයන්ගේ අඩිපාරේ යමින් එජාපය යාපනය, මඩකළපුව, වවුනියාව, ත්‍රි'මලය, මන්නාරම වැනි තමන්ට ඡන්ද ලබාගත හැකි ප්‍රදේශ තුළ කුමන ක්‍රියාන්විතයක් මේ වෙද්දීත් සිදු කර ඇද්දැයි සිහිබුද්ධියෙන් සිතා බැලිය යුතුය.

"අපේ පක්ෂයට මුස්ලිම් දෙමළ ඡන්ද කොහොමත් ලැබෙනවානේ" යන සිහින තුළත්, මානසිකත්වයේත් ගාල්වී සිටින පක්ෂයේ සීතල කාමරවල සිට සිහින දකින්නන්ට, සැලසුම්කරුවන්ට, මෙය කිසිසේත් කළ නොහැකි වූ බව මෑත ඉතිහාසයේ ප්‍රතිඵල දෙස බලද්දී සිතාගත හැකිය.

එනිසා සැහැල්ලුවෙන් සිතා සිහින දකින්නන්ට තමන්ගේ ගමේ පාක්ෂිකයාගේ සිත් රිදී ඇත්නම් එය වහා වටහාගෙන කලකිරුණු ඡන්දදායකයාගේ සිත හදා ඡන්දපොළට ඔහු කැඳවාගෙන යන සැබෑ ක්‍රියාන්විතයක් කළ යුතුමය. එය එසේ නිවැරැදිව නොකොට සමස්ත ප්‍රතිඵලය ජයග්‍රාහී එකක් කරගන්නට බැරිය. එනිසා එජාපයේ අලුත් පොඩ්ඩන්ට මඳක් අතීතය මතක් කර දිය යුතුය.

මේ ජේ.ආර්. ජයවර්ධන නම් එජාපයේ දාර්ශනික නායකයා 1986 නොවැම්බර් 25 දින එජාපය ගැන ලියූ ලිපියක කොටසකි.
"පක්ෂයෙන් නෙරපා හරිනු ලබන තරමට සමහර කරුණුවලදී පක්ෂයේ නායකයන් සමඟ එකඟ නොවූවද මම පක්ෂයටත් එහි නායකයන්ටත් පක්ෂපාතී වීමි.
පක්ෂ සාමාජිකයෝ මහජනතාව සමඟ සම්බන්ධතාවයෙන් යුතුව සිටිත් නම් නුදුරු අනාගතයේදී එක්සත් ජාතික පක්ෂය පරාජය නොවන බැව් මගේ විශ්වාසයයි. පක්ෂයේ වැඩපිළිවෙළ, ප්‍රතිපත්තිය සහ චර්යාධර්ම පද්ධතිය අප ජාතියේ දේශපාලන සමාජයෙහි ජීවන මාර්ගයක් වශයෙන් පක්ෂය සහ එහි සාමාජිකයන් විසින් පිළිගත යුතුය. එසේ වූ විට පක්ෂය විසින් මාර්ගෝපදේශකත්වය දෙනු ලබන ජනතාවට මෙම ජීවිතයේදී කිසිදු අනර්ථයක් සිදු නොවෙනු ඇත"

ජේ.ආර්. ජයවර්ධන
ජනාධිපති
1986 නොවැම්බර් 25දා
ජේ.ආර්.ගේ මේ කියැවීම අදටත් වලංගුය. ඒ වලංගුතාව කෙසේදැයි කියතොත් එජාපය ගෙනා විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනය කළ යුතු යැයි කියැවෙන සංවාද එජාපය තුළම කෙරෙද්දී ඊට බොහෝ එරෙහි වූ වාමාංශික නායකයන් හා ශ්‍රීලනිපයේ බල කණුද 'ජේ.ආර්. ගහපු ගැටය හොඳයි' කියන තරමට ජේ.ආර්. ඉතිහාසගත වී අවසන්ය. හෙට අනිද්දා වන විට ජේ.ආර්.ගේ රූපයට මල් පහන් පුදා සිහි කරන තරමට විරුද්ධවාදීන්ද ජේ.ආර්. ක්‍රමය වැලඳගෙන අවසන්ය.
එදා මහා හඬක් නැඟූ දේශප්‍රේමී භික්ෂුන් වහන්සේ යැයි කියාගත් අයද ජේ.ආර්.ගේ විධායක ජනාධිපති ක්‍රමය දශමයකින්වත් හොල්ලනවාට දැන් අකැමැතිය. ඒ සඳහා මරාගෙන මැරෙන වීථි සටන් කරන තැනකටද තල්ලු වෙලාය.

එහෙත් එහෙව් ජේ.ආර්. ගැන කතා කළ යුතු එජාපය මෙහිදී නිහඬ වීමද එක්තරා ආකාරයකට අවාසි සහගතය. එය රනිල්ගේ උපක්‍රමශීලී රඟපෑමක එක්තරා කොටසක් වුවද ජනතාව සිතන්නේ එජාපයේ දාර්ශනික නායකයා ගහපු ගැටේ හොඳ බවය. එහෙත් ජේ.ආර්. ගේ ක්‍රමය යම් තරමකට හෝ වෙනස් කර ඇති අවස්ථාවක මීළඟ ජනාධිපතිවරණයට එජාපයට තරග කරන්නට සිදුවීම අනිවාර්යයෙන්ම ජයගත යුතුව ඇත. එසේ නොවුණහොත් එය එජාපයේ අවසානයේ ආරම්භය බව නොකියා බැරිය.

එනිසාවෙන් අතීත නායකයන් ගත් මාර්ගය මඟනොහැර, ගත් උපක්‍රම අමතක නොකොට එජාපය ගමට ගෙන යා යුතුය. සියලු ජාතීන්ටම සෙවණ දෙන මහා වෘක්ෂයක් බවට පත් කළ යුතුය. එසේ නොකොට සිහින දැකීමෙන් වන්නේ විනාශය ඉක්මන් කර ගැනීමකි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon