උපැවිදි වූ ශ්‍රී නිශ්ශංකට බි්‍රතාන්‍ය ආණ්ඩුව රාජනීතිඥ පදවිය පිරිනමයි

  👤  5232 readers have read this article !
2018-06-24

බුරුමයේ පැවිදි ජීවිතයක් ගත කළ කවිධජ හිමි (එච්.ශ්‍රී නිශ්ශංක) උපසම්පදාවද ලබා ගත්හ. ඉරවඩි ගංගාව අසබඩ වන සෙනසුනක භාවනානුයෝගීව වැඩ සිටි උන්වහන්සේ සිය පියාණන් රෝගාතුර වූ විට නැවත ලංකාවට පැමිණ උපැවිදි වූයේ පවුලේ වගකීම හිස මත පැවරුණු බැවිනි. පියාගේ අභාවයෙන් ගිලිහුණු ස්වකීය පවුලේ මූලිකත්වය ගන්නට ශ්‍රී නිශ්ශංකයන්ට නිතැතින්ම සිදු විය. ඔහු පැවිදි වූයේ කොළඹ නීති විද්‍යාලයේ අවසන් වසරේ විභාගද සමත් වීමෙන් පසුවය. නිශ්ශංක තීරණය කළේ වැඩිදුරටත් නීතිය ඉගෙන ගන්නටය.

නිශ්ශංක 1919දී එංගලන්තය බලා ගියේ මිඩ්ල් ටෙම්පල් නීති විද්‍යාලයට ඇතුළත් වන්නටය. ඔහුගේ පියා නිශ්ශංක දිවේරිස් මැන්දිස් නීතිය උගත්තේ එම විද්‍යාලයෙනි. නිශ්ශංක 1921දී නීති විද්‍යාලයෙන් පිට වූයේ බැරිස්ටර්වරයකු වශයෙනි. එහෙත් නීතිඥයකු ලෙස එංගලන්තයේ ලියාපදිංචිවීමට වයස අඩු විය. මවගේ උපදෙස් පිට ඔහු ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සෙන්ට් එඩ්මන්ඩ් හෝලි පීඨයට ඇතුළත් වූයේ වැඩිදුර අධ්‍යාපනය ලබනු පිණිසය. මෙහිදී තවත් සුවිශේෂී දෙයක් සිදු විය. එනම් එච්.ශ්‍රී නිශ්ශංකගේ ගුරුවරයා වූ ඩී.බී. ජයතිලක මහතා ඔක්ස්ෆර්ඩ්හි පාඨමාලාවක් හදාරමින් සිට ඔහුට හමුවීමය. දෙදෙනාම බෞද්ධ දර්ශනය පිළිබඳ ගැඹුරින් හදාරන්නෝ වූහ. ඩී.බී. ජයතිලක ලන්ඩන් නුවරදී ත්‍රිපිටකය පිළිබඳ විශාරද දැනුමැති රිස් ඩේවිස් ප¾ඩිවරයා නිශ්ශංකට හඳුන්වා දුන්නේය.

ලන්ඩනයේ අධ්‍යාපන කටයුතු නිමා කොට 1923දී ලංකාවට පැමිණි ශ්‍රී නිශ්ශංක අධිනීතිඥවරයකු ලෙස දිවුරුම් දුන්නේය. ප්‍රසිද්ධ අධිනීතිඥ ඊ. ඩබ්ලිව් ජයවර්ධන සමඟ ඔහු වැඩ කළේය. ඔහු සම්පායෝ නමැති විනිශ්චයකාරවරයා සභාපතිත්වය දැරූ සුපී්‍රම් උසාවියේ ප්‍රථම නඩුවට පෙනී සිටියේය. එය ඉඩම් නඩුවකි. ඔහු පෙනී සිටියේ එම අභියාචනා නඩු විභාගයේ ප්‍රධාන නීතිඥයා හැටියටය. විනිසුරු මඬුල්ලේ සෙස්සන් වූයේ හේල් ඩිර්බර්ග්, චාලි පෙරේරා වැනි රාජනීතිඥවරුය. සිය ප්‍රථම නඩුවට පෙනී සිටි නිශ්ශංක නොසිතූ ඇබැද්දියකට මුහුණ දුන්නේය. අභියාචනය ප්‍රතික්ෂේප කළ විනිසුරුවරයා නිශ්ශංකට අවවාද කරමින් කීවේ රෝම ලන්දේසි නීතිය තවදුරටත් හදාරා ඉඩම් ප්‍රශ්න ගැන අවබෝධයක් ලබා ගන්නා ලෙසය. මේ සිදුවීම නිසා නිශ්ශංක බලවත් සිත් තැවුලට පත් විය.

කෙසේ වුවද මෙම ආරම්භක අත්දැකීම නිශ්ශංකගේ ජීවිතයට ශක්තිමත් පදනමක් වූයේය. ඔහු ඉදිරිපත් වූ නඩුවලදී සිය සේවාදායකයන්ට සාධාරණය ඉටු කිරීමට හෙතෙම සමත් විය. වයස 31 වන විට ශ්‍රී නිශ්ශංකට පොලිස් මහෙස්ත්‍රාත් ධුරයක් ලබාදීමට අධිකරණ කොමිසම යෝජනා කළේය. ඔහු එය ප්‍රතික්ෂේප කළේය. කලකට පසුව රත්නපුර දිසා විනිසුරු පදවියට ශ්‍රී නිශ්ශංකගේ නම යෝජනා විය. ඔහු එයද ප්‍රතික්ෂේප කළේය. නීතිපති ඉලංගකෝන් මහතා විමතියට පත් විය.

"මෙවැනි සම්භාවනීය තනතුරක් ප්‍රතික්ෂේප කළ එකම තැනැත්තා ඔබයි. ඔබ මානසික ආබාධයකින් පෙළෙනවාදැයි මට සැකයි" නීතිපති ප්‍රශ්න කර තිබිණි.

ඔහු තනතුරු සොයා නොගොස් තම වෘත්තිය වඩාත් හොඳින් කරන්නට හැම විටම යුහුසුලු විය. එහි ප්‍රතිඵලය වූයේ එංගලන්තයේ හයවැනි ජෝර්ජ් රජතුමා විසින් ශ්‍රී නිශ්ශංක මහතාට රාජනීතිඥ පදවිය පිරිනැමීමය. ආණ්ඩුකාර ශ්‍රීමත් ඇන්ඩෘෘ කොල්ට් විසින් එය ලංකාවේදී ප්‍රකාශයට පත් කළේය. නිශ්ශංක මහතාට මෙම ගෞරවය හිමිවන විට ඉන්දියාවේ පවා රාජනීතිඥ පදවි දරන්නන් නොවීය. රාජනීතිඥ ශ්‍රී නිශ්ශංක එවකට ප්‍රසිද්ධ වූයේ හිතහොඳ පෙරකදෝරු මහත්තයා නමිනි. ඔහු වැල්ලවත්ත ප්‍රදේශයේ දිළිඳු ජනයා වෙනුවෙන් සුබසාධක කටයුතුවල නිරත වූ අතර ජනතාව විවිධාකාර ප්‍රශ්නවලට විසඳුම් පතා ඔහු සොයා පැමිණියේය. එහිදී සිංහල දෙමළ, මුස්ලිම් වශයෙන් ජාති භේදයක් නොවීය. ඔහු හැම දෙනාටම උදවු කළේය. හැම දෙනාගේම ප්‍රශ්නවලට මැදිහත් විය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ කොළඹ මහ නගර සභාවේ වැල්ලවත්ත කොට්ඨාසය සඳහා ශ්‍රී නිශ්ශංක මහතා ඉදිරිපත් වූ විට ඒ මහතා නිතරගයෙන්ම තේරී පත්වීමය. ඔහු තරමේ සුදුස්සෙක් තරගයට ඉදිරිපත් වූයේ නැත.

ශි්‍රයානි අජන්තා විතාන

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon