රාජ්‍ය නායකයාගේ උර මත නැඟ යා හැක්කේ කාටද?

  👤  5638 readers have read this article !
2018-06-24

මේ ඡායාරූපයේ සිටින්නේ උතුරු කොරියානු නායක කිම් ජොන් අන්ය. උතුරු කොරියාව ලෝකයේ යුද ශක්තියෙන් සිවුවැනි තන්හි ලා සැලකෙන රාජ්‍යය වන්නේය. කිම් ජොන් අන් සමඟ ඡායාරූපයේ පෙනී සිටින්නේ එරට හමුදාවේ ප්‍රධාන සෙන්පතියෝය. උතුරු කොරියාව ලෝක බලවතුන් අතරට ඔසවා තබන ප්‍රබලයෝ මොවුහු වෙති.
මෙය එක්තරා අන්දමකට පුදුමය දනවන ඡායාරූපයකි. මේ අවධියේ ලෝකය බිය ගන්වන මිනිසාගේ උර මත මිනිසකු නැඟ සිටී. එය කිසිවිටෙක විය නොහැක්කකි. නමුත් සිදුව තිබේ. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවා හා පැටියකු කළ අභීත මිනිසාගේ උර මත සෙන්පතියකු නැඟ සිටී. එය අහඹු සිදුවීමකි. එක්තරා සුවිශේෂී නිමේෂයක උද්වේගකර අවස්ථාවක සීමාවන් අතික්‍රමණය කළ සැටියෙකි.


ඡායාරූපයේ සිටින හමුදා නායකයෝ මැදිවිය ද ඉක්මවූ පිරිසකි. අෑතින් සිටින සියල්ලෝම උද්දාමයෙන් අත්පොළසන් දෙති. කිම් ජොන් අන් ගේ උර මත සිටින තැනැන්තා කිසි දිනෙක නොසිතූ පරිදි රාජ්‍ය නායකයාගේ කරේ නඟින්නට සිදුවීමේ අනපේක්ෂිත අවස්ථාවට මුහුණ දීම නිසා හැඟුම්බරවී ඇති සැටි හැඬුම්බර මුහුණින් පෙනේ. රාජ්‍ය නායකයාත් ඔහුගේ හමුදා ප්‍රධානියාත් දෙදෙනාම වැටෙන්නට නොදී අල්ලාගෙන සිටින ඉරියව් පෙන්වන්නේ තවත් හමුදා ප්‍රධානීන් දෙදෙනෙකි. උතුරු කොරියානු ජනාධිපතිවරයාගේ මුව පුරා කලාතුරකින් දැකිය හැකි පිරුණු සිනාවකි. වැඩිහිටි හමුදා නිලධාරියා හා සසඳන කල ජොන් අන් බොහෝ තරුණ පෘෂ්ටිමත් අයකු බව පැහැදිලිය.


මේ සිදුවීමට පාදක වූ අවස්ථාව මෙසේය. උතුරු කොරියාව 2017 මාර්තුවේ බැලස්ටික් මිසයිල රැගත් රොකට්ටුවක් සාර්ථකව ගුවන් ගත කළේය. එය රටේ මිසයිල තාක්ෂණයේ නව උපතක් වූයේය. රොකට්ටුව සාර්ථකව ගුවනට නැඟුණු විට උද්දාමයෙන් ඇලළී ගිය ජනාධිපතිවරයා තමා අසල සිටි තැනැත්තකු එක වරම උරහිස මතට ගත්තේය. කිම් ජොන් අන් වැන්නකුගේ උර මතට ගොඩවන තැනැත්තා කවරකු විය හැකිද? එසේ ඔහු ඔසවා ගන්නට තරම් වැදගත් හා ප්‍රබල හේතුව කුමක්ද? ඡායාරූපය නිකුත්වීමත් සමඟ ලෝකයම කතා කරන්නට විය.


ලොව පුරා ප්‍රබල රාජ්‍යයන්හි බුද්ධි අංශ ජොන් අන් ගේ උර මත නැඟි මිනිසාගේ මුහුණ හඳුනාගන්නට වෑයම් කළෝය. එහෙත් නිරීක්ෂකයන්ගේ මතය වූයේ මේ වැඩිහිටි නිලධාරියා ඉන් පෙර දැක නැති බවය. ඔහු ඇඳ සිටින නිල ඇඳුමේ ලාංඡන අනුව ඔහු කොරියන් මහජන හමුදාවේ මූලෝපාය අංශයේ ඉහළම නිලධාරියකු විය යුතු යැයි ඇතැම් බුද්ධි අංශ අනුමාන කළහ. උතුරු කොරියානු න්‍යෂ්ටික මිසයිල බළකායට නායකත්වය දෙන්නේ ඉහත කී මූලෝපාය අංශයෙනි. ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ නායක කිම් ජොන් අන් ශක්තිමත් හා නිරෝගී තත්ත්වයෙන් පසුවන බැව් තහවුරු කරනු පිණිස පූර්ව සැලසුමක් මත මෙම ඡායාරූපය ගන්නා ලදැයි තමන් විශ්වාස කරන බවය.


උතුරු කොරියාව ප්‍රබල රාජ්‍යයක් ලෙස ඉදිරියට ගැනීමට කිම් ජොන් අන් ක්‍රියා කරන ආකාරය සලකන විට මෙවැනි භාරදූර කාර්යයක අවසන් ප්‍රතිඵලය විශිෂ්ට අයුරින් සාර්ථක වීමෙන් ඔහුගේ උද්දාමයට පත්වීම පුදුමයක් නොවේ.

උදේනි සමන් කුමාර

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon