66 කුමන්ත්‍රණය හේන්පිටගෙදර හාමුදුරුවෝ 4 වැනි තට්ටුවට

  👤  5061 readers have read this article !
2018-06-24

1966 පෙබරවාරි මාසයේදී අගමැති ඩඩ්ලි සේනානායක මහතා සංචාරයක් සඳහා ඇමෙරිකාවට ගොස් සිටියේය. අගමැති තනතුරේ වැඩ බලමින් සිටියේ ජේ.ආර්. ජයවර්ධන මහතාය. පෙබරවාරි 16 වැනිදා වන විට මෙරට දේශපාලනඥයන් හා රටවැසියන් අතර විදුලි වේගයෙන් කතාබහක් පැතිර ගියේය. ඒ පවතින ආණ්ඩුව පෙරළා දමා හමුදා ආණ්ඩුවක් පිහිටුවන කුමන්ත්‍රණයක් පිළිබඳ කතාබහකි.

මෙරට ප්‍රථම බෞද්ධ පොලිස්පති රිචඩ් උඩුගම හා එවකට කීර්තිමත් හිමිනමක වූ හේන්පිටගෙදර ඤාණසීහ හිමිපාණෝ මෙම කුමන්ත්‍රණයට පෙරමුණ ගත් බවක් අසන්නට ලැබිණි.

මෙවැනි කතාබහක් පැතිරී යන්නට හේතු වූයේ අස්සනක්, දිනයක් නොමැති නිර්නාමික ලිපියක් වැඩ බලන අගමැති ජේ.ආර්. ජයවර්ධන අතට පත්ව තිබීමය. ප්‍රධාන කරුණු 6ක් පෙන්වා දී තිබූ එම නිර්නාමික ලිපියේ 1956 සිට යුද හමුදාව තුළට විශාල වශයෙන් දේශපාලනය රිංගා ඇති බවත් එවැන්නන්ගේ බලාපොරොත්තුව පවත්නා රජය බිඳ හෙළීම බවත් සඳහන්ව තිබිණි.

මෙවැනි නිර්නාමික ලිපියක් කුණු කූඩයට දැමිය යුතු වුවත් ඒ වෙනුවට වැඩ බලන අගමැතිවරයා කළේ එය රහස් පොලිසියට භාරදී අවශ්‍ය පියවර ගන්නා ලෙස නියෝග කිරීමයි.

ඒ අනුව සැකපිට 26 දෙනකු අත්අඩංගුවට ගැනිණි. ඒ අතරින් වැඩි පිරිස බෞද්ධ සංවිධානවල සාමාජිකයෝ වූහ. අත්අඩංගුවට ගත් පිරිස අතර පොලිස්පති රිචඩ් උඩුගම මහතාද විය. ඔහු සිරිමාවෝ ආර්.ඩී. බණ්ඩාරනායක මැතිනියගේ ඥාතිවරයකුද විය.


1958 ජාති භේදවාදී කලබල පවතින අවධියේදී බණ්ඩාරනායක ආණ්ඩුව එම කලබල මැඬපවත්වා සාමය ආරක්ෂා කිරීම පිණිස යාපනයට යැව්වේද උඩුගම මහතාය.
ඉංග්‍රීසි යටත්විජිත සමයේ සිට මෙරට පොලිසිය තුළ පැවැති අධිරාජ්‍යවාදී සම්ප්‍රදායන් වෙනස් කොට ඊට දේශීය තත්ත්වයක් ආරෝපණය කිරීමට පොලිස්පති සමයේදී රිචඩ් උඩුගම මහතා ක්‍රියා කර තිබිණි. එහෙත් මේ වෙනස් කිරීම් එවකට බටහිරට ගැති පිරිසගේ බලවත් නොසතුටට හේතුවක් වී තිබිණි. කෙසේ වුවද ඒ මහතා සමඟ හේන්පිටගෙදර ඤාණසීහ හිමියෝද රහස් පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනිණි. ඒ 1966 අප්‍රේල් 16දාය.

ආනන්ද මෛත්‍රි, හාල්යාලේ සුමනතිස්ස, මඩිහේ පඤ්ඤාසීහ, කොටහේනේ පඤ්ඤා කිත්ති වැනි නාහිමිවරුන් මෙන්ම ඤාණසීහ හිමියෝද එදා රට ජාතිය ගැන කතා කළ උගත් පරපුර අතර සිටි ප්‍රකට හිමි නමක් වූහ.

ඤාණසීහ හිමියෝ තම දේශන පැවැත්වූයේ නිර්භයවය. කළ යුතු දේ ගැන කීවේද නිබයවය. එනිසාම උන්වහන්සේ රටේ ප්‍රමුඛ දේශපාලනඥයන් සමඟද ඇසුරු කළහ. උන්වහන්සේ රචනා කළ කෘති ගැන රටම දැන සිටියේය. හිස්සැල්ලේ ඥානෝදය නාහිමියන්ගේ අනුදැනුම මත රත්නපුර පාතකඩ ශ්‍රී සුමන භික්ෂු අභ්‍යාස ආයතනය අරඹා ජාතික ආගමික සේවාවක් ඉටු කරමින් සිටියහ.

යටත්විජිත වාදයත් සමඟ ආ බටහිරකරණය ඔස්සේ මෙරට ජාතික ආගමික වටිනාකම් පසෙකට ඇද දැමීම පිළිබඳව දැඩි කනස්සල්ලෙන් පසුවූ උන්වහන්සේ රටට අහිමිව ගිය දේශීය අයිතිවාසිකම් නැවත ලබා දීමට නිදහසින් පසු පත්වූ කිසිදු ආණ්ඩුවක් කටයුතු නොකළ බව කීහ.


ඤාණසීහ හිමියෝ එකල සිටි දේශප්‍රේමියකු වූ රත්නපුර දිසාපති එන්.කියු. ඩයස් මහතා සමඟ එක්වී බෞද්ධ සමිති පිහිටුවමින් රට හා ජාතිය මුහුණ පා සිටින තත්ත්වය ගැන ජනතාව දැනුවත් කරමින් සිටියහ. එසේ තිබියදී ඤාණසීහ හාමුදුරුවෝ මෙලෙස අත්අඩංගුවට පත්වූයේ ආණ්ඩුව පෙරැළීමේ කුමන්ත්‍රණයක් දියත් කළ බව කියමිනි.


උන්වහන්සේ ඇසුරු කළ සමහරුන්ද මෙලෙස අත්අඩංගුවට ගැනුණු අතර ඉන් ප්‍රකටම පුද්ගලයකු වූයේ ‍ෙදාඩම්පේ මුදලාලිය. (එල්.පී. පොඩිඅප්පුහාමි)
රත්නපුර සමන් දේවාලය ඇතුළු දේවාල, පන්සල් ඇසුරේ ඔහු වැඩ කළේ ඤාණසීහ හිමියන්ද ඇසුරු කරමිනි. කෙසේ නමුත් අත්අඩංගුවට ගත් ඤාණසීහ හිමියන් ඇතුළු 26 දෙනාට එරෙහිව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ජී.බී.එස්. ඩේවිඩ් මහතා ඉදිරියේ මූලික සාක්කි විභාගයක් ඇරඹිණි. ඉන් විත්තිකරුවෝ 6 දෙනකු නිදහස් වූ අතර ඉතිරි 20 දෙනාට එරෙහිව ශේ්‍රෂ්ඨාධිකරණයේ නඩු පැවරිණි.

පසු කලෙක මේ සැකකරුවන් සියලු දෙනාම නිදහස් වූ අතර රිචඩ් උඩුගම මහතා 1970 මහ මැතිවරණයට තරග කර මාතලේ අසුන දිනා පාර්ලිමේන්තුවට ආවේය.

(ප්‍රශ්න කිරීම් සඳහා රැගෙන ගිය ‍ෙදාඩම්පේ මුදලාලි රහස් පොලිසියේ හතරවැනි තට්ටුවෙන් බිමට තල්ලු කිරීම නිසා මියගිය බව පැවසුණු අතර ඊට සම්බන්ධ වූ පොලිස් නිලධාරියාට පිස්සු හැදුණු කතාව ලබන සතියේ......)

බන්ධුල ගුණරත්න

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon