දුර්වල වම සහ ශක්තිමත් දකුණ අතර සිරවූ බණ්ඩාරනායක

  👤  4856 readers have read this article !
2018-06-24

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කුරුණෑගල සම්මේලනය පැවැත්වුණේ 1959 මැයි 16 වැනිදාය. එනම් සමුපකාර බැංකු පනත පිළිබඳව සාකච්ඡා කිරීමට ආණ්ඩු පක්‍ෂය රැස්වීමට සතියකට කලිනි.

ප්‍රතිගාමී පිලේ නායකයෝ බණ්ඩාරනායක අගමැතිතුමා වමට ගමන් කරන්නේ යැයි කියමින් අලුත් නායකත්වයක් සඳහා සූදානම් වූහ. අධ්‍යාපන අමාත්‍ය ඩබ්ලිව්. දහනායක මහතා කැබිනට් වර්ජනය කළ ඇමැතිවරුන්ගේ නායකයා වූ හෙයින් ඔහුගේ නම බොහෝ විට සඳහන් වුණි.

1956 ජයග්‍රහණය තුළින් නව යුගයක් බිහි කළ පොදු ජනතාවගේ බලාපොරොත්තු බිඳ නොහෙළීම පරමාර්ථය කොටගෙන සිටි බණ්ඩාරනායක අගමැතිතුමා මහජන එක්සත් පෙරමුණේ එක්සත්කම ආරක්‍ෂා කරගෙන ජනතාවගේ දැවෙන ප්‍රශ්න විස¼දාලීමේ අරමුණෙහි පමණක් එල්බ සිටියේය.

කුරුණෑගල සම්මේලනයේදී පක්‍ෂයේ ලේකම්වරයා වශයෙන් පත් කිරීමට බණ්ඩාරනායක මහතා අදහස් කළ තරුණ මන්ත්‍රිවරයකුට එය ලැබුණේ නැත. එසේම දෙදිනක් තුළ පැවැත්වීමට නියමිතව තිබුණු රැස්වීම එක් දිනකින් අවසන් විය. ධනවාදී අන්තවාදය හෝ මාක්ස්වාදී අන්තවාදය හෝ තමන් නොපිළිගන්නා බව බණ්ඩාරනායක අගමැතිතුමා කුරුණෑගල සම්මේලනයේදී ප්‍රකාශ කළේය.

කැබිනට් වැඩ වර්ජනය තවමත් අවසන් නැත. කුරුණෑගල සම්මේලනය එක්තරා ජයගහණයකැයි සිතූ 'ප්‍රගතිශීලී' යැයි කියාගත් ප්‍රතිගාමී ඇමැතිවරු 'එක්කෝ පිලිප් නැත්නම් අපි' යන සටන් පාඨය මුල් කරගෙන ඇති කළ කැබිනට් වැඩ වර්ජනය දෙවැනි සතියට ළඟා වී තිබිණි. එහි නායකත්වය අධ්‍යාපන ඇමැති ඩබ්ලිව්. දහනායක මහතාට හිමිවී තිබිණි.

පිලිප් තල්ලු කිරීමට ආරම්භ කළ ව්‍යාපාරයෙන් ඔවුන්ම තල්ලුවී යන තැනට කරුණු සැලසෙන බව දිනපතා පුවත්පත් කියැවූ පාඨකයෝ විශ්වාස කළහ. රජ ගෙදරදීත්, අගමැතිතුමාගේ නිවෙසේදීත් පැවැත්වූ කතාබහවල දී තමන්ගේ ඉල්ලීම් ලැබෙන තෙක් ආපසු වැඩට නොපැමිණෙන බව කියාසිටි වර්ජක ඇමැතිවරුන් නියමිත දිනයෙහි වැඩට නොපැමිණියහොත් රක්‍ෂාවත් වැඩත් දෙකම නැති වී යතැයි මහජනයා සිතූහ.

මේ අතර සමුපකාර හා අලෙවි කිරීමේ දෙපාර්තමේන්තුව කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඉවත් කරන බවත්, ධීවර දෙපාර්තමේන්තුව කර්මාන්ත හා ධීවර අමාත්‍යාංශයෙන් ඉවත් කරන බවත් පිලිප් ගුණවර්ධන හා පී. එච්. විලියම් සිල්වා යන ඇමැතිවරුන්ට අගමැති දැන්වීය. පිලිප් විලියම් දෙපොළ කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස් වුණේ මෙයට විරුද්ධත්වය පළ කරමිනි. වැඩ වර්ජනය කළ සියලුම ඇමැතිවරු නැවත වැඩට පැමිණියහ.

1956 පත් වූ 15 දෙනාගෙන් යුත් කැබිනට් මණ්ඩලයෙන් වර්ජනයට හවුල් නොවී සිටියේ ඇමැතිවරුන් පස් දෙනෙකි. අගමැතිතුමාත්, අධිකරණ අමාත්‍ය එම්. ඩබ්ලිව්. එච්. ද සිල්වා කර්මාන්ත හා ධීවර අමාත්‍ය විලියම් සිල්වා හා කෘෂිකර්ම හා ආහාර අමාත්‍ය පිලිප් ගුණවර්ධන සහ කම්කරු නිවාස හා සමාජ සේවා අමාත්‍ය ටී. බී. ඉලංගරත්නය.
කැබිනට් අර්බුදය විසඳෙන විට ඉලංගරත්න මහතා සිටියේ මහනුවරය. අගමැතිතුමාගෙන් ඔහුට හදිසි පණිවුඩයක් ලැබිණි. ඔහු වහාම කොළඹට පැමිණ රොස්මිඩ් පෙදෙසේදී අගමැතිතුමා හමුවිය.

'පිලිප්-විලියම් නැවතත් කැබිනට් මණ්ඩලයට ගන්න බැරිදැ'යි සාකච්ඡාව තරමක් දුරට ගිය පසු ඉලංගරත්න මහතා අගමැතිතුමාගෙන් ඇසීය.
'දාර ඇරලයි තිබෙන්නේ' ඒ අගමැතිතුමාගේ පිළිතුර. 'ඕනෑම වෙලාවක'? ඉලංගරත්න ඇසීය.

'දැනටමත් ‍ෙදාර ඇරලා. ඕනෑම වෙලාවක එන්න පුළුවන්' අගමැතිතුමා කීය.

පිලිප් - විලියම් හමුවී සාකච්ඡා කිරීමේ වගකීම භාර ගන්නා ලද්දේ උඩරට අසුනක් නියෝජනය කළ මන්ත්‍රිවරයෙකි. වගකීම භාරගත් තැනැත්තා එය ඉටු නොකළ බව වැටහුණේ පසුවය.
තරුණ පරපුරට ඡන්ද බලය ලබාදී කුඹුරු පනත, විවිධ සේවා සමුපකාර පනත, සමුපකාර බැංකු පනත වැනි ප්‍රගතිශීලී හැම පනතක්ම ඉදිරිපත් වූ විට ඇමැති දහයේ කල්ලිය නමින් ඇති කරගත් සංවිධානයේ සහාය ඇතිව පුවත්පත් ඒකාධිකාරය විසින් බලගතු විරුද්ධ ව්‍යාපාර ගෙන යන ලදී.

බණ්ඩාරනායක අගමැතිතුමා අල්ලස් කොමිෂන් සභාවක් පත් කළේය. මේ නිසා කලකිරුණු පිරිසක්ද අගමැතිතුමාට එරෙහි වන්නට පටන් ගත්හ.

සමහර සිදුවීම් නිසා පොලිසිය ප්‍රතිසංවිධානය කිරීම සඳහා 1959 මුලදී සර් ක්ලෝඩ් කොරයාගේ ප්‍රධානත්වයෙන් කොමිෂන් සභාවක් පත් කිරීමටද අගමැතිතුමා සලකා බලමින් සිටියේය. බණ්ඩාරනායක ආණ්ඩුව කෙරෙහි පොලිසියේ සමහර අය තුළ පැවැති වෛරයේ හා කලකිරීමේ තරම 1962 ආණ්ඩුව පෙරළීමේ හමුදා කුමන්ත්‍රණය තෙක් විහිදුණු බව කීම ප්‍රමාණවත්ය.

1959 මැයි මස ආණ්ඩු පක්‍ෂයෙන් මැති ඇමැතිවරු කොටසක් ඉවත්ව ගිය විට විපක්‍ෂයේ මන්ත්‍රිවරුන් ගණන 43ක් වෙමින් බලවත් විය. 1959 අය වැය ලේඛනය පිළිබඳ ඡන්දය විමසන දිනය වන විට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් සංඛ්‍යාව 50කට සීමාවිය.

කුමන්ත්‍රණකරුවෝ තව දුරටත් ඔවුන්ගේ සැලැස්ම අනුවම ක්‍රියා කරගෙන ගියහ. අගමැතිතුමාට වස දී අයින් කිරීමට ගත් තැත ව්‍යර්ථ විය. ඒ වස පෙවුණේ සී.පී. සිල්වාටය. ඔහු ගිලන් වීමෙන් පසුව ප්‍රතිකාර සඳහා එංගලන්තයට යැවීමට සිදුවිය. අය-වැය ලේඛනය පරාජය කිරීමට ගත් තැතද ව්‍යර්ථ විය. පක්‍ෂයේ නිලතලවලින් ඉවත් කිරීමට ගත් තැත ද ව්‍යර්ථ විය. පක්‍ෂයේ නිලතලවලින් ඉවත් කිරීමට හා තර්ජනවලින් බිය ගැනවීමෙන් අගමැතිතුමා දමනය කර ගැනීමට ගත් තැත ව්‍යර්ථ විය.

බණ්ඩාරනායක අගමැතිතුමා ප්‍රශ්න කොපමණ පැන නැඟුණත් සසල වූයේ නැත. ප්‍රතිගාමීන්ට එයම හිසදරයක් වූයේය. මේ කලබගෑනි අස්සේ අගමැති හමුවූ පුවත්පත් කලාවේදියකුට කර තිබුණේ අපූරූ ප්‍රකාශයකි.
'සතුන්ට හිංසා කිරීම ගැන මා වරද කාරයෙක්. හරකුන්ගේ බර බූරුවන් පිට පටවලා උන්ගෙ කොන්ද කැඩිලා. අලින්ගෙ බර බූරුවන් පිට පටවලා උන්ගෙත් කොන්ද කැඩිලා. ඒ නිසා සතුන්ට හිංසා කිරීම ගැන මං වරදකාරයෙක්. මේ අවස්ථාවේ මා ක්‍රියා කරන්නට යන්නේ භගවත් ගීතයේ අර්ජුන ක්‍රියා කළ ආකාරයටයි.'

'දන්නවද තමුන්නාන්සේලා භගවත් ගීතයේ අර්ජුන ක්‍රියා කළ ආකාරය?'

'අර්ජුන ක්‍රියා කළේ මෙහෙමයි. තමන්ගේ කඩුවෙන් කැපෙන්නේ නෑයන්ද, මිත්‍රයන්ද නොබලා යුක්තිය ඉෂ්ට කිරීම පිණිස අර්ජුන පෙරට ගියා. අද මට කරන්න වෙලා තියෙන්නේත් එයයි.'
පිලිප් ඉවත් කිරීමට පමණක් සීමා නොවූ කොටස්වල නායකත්වයෙන් වූ කුමන්ත්‍රණය අගමැතිතුමා තනිවී සිටි තත්ත්වය යටතේ දිගටම ගෙන යෑම අපහසු නොවීය.
ආණ්ඩුව ඇතුළේ දුර්වල වූ වමකුත්, ශක්තිමත් දක්‍ෂිණාංශයකුත් ඇතිවිය. අගමැතිතුමා මැද හිරවිය. ප්‍රතිගාමීත්වයේ ශක්තිය වර්ධනය කළ බලවේගය විසින් කුමන්ත්‍රණය තියුණු කරන ලද්දේය.

'ගඟක් ආපසු ගලන්නේ නැති' බව බණ්ඩාරනායක පැවසුවේ මේ දිනවලය.
එන පොට හොඳ නැති බව ප්‍රතිගාමී කුමන්ත්‍රණකාරයන්ට පෙනුණේය.

විවිධ මාදිලියේ නූල් සූත්තරවලින්, පෙළපාළිවලින්, වැඩ වර්ජනවලින්, කැලෑ පත්තරවලින්, පිල් බෙදීමෙන්, පුවත්පත් ප්‍රහාරවලින් වැඩේ හරි යන්නේ නැති බව ඔවුහු තේරුම් ගත්හ.
බිහිසුණු ක්‍රියාමාර්ගය සැලසුම් කෙරුණේ ඉන් පසුවය. දේශපාලන බලවත්තු එක් වූහ.

ලංකා ඉතිහාසයේ කිසිදාක නොවූ විරූ පරිදි මහනුවර දළදා පෙරහරේ අලි කුලප්පුවක් ඇතිවිය.

බණ්ඩාරනායක දෙවැනි වරටත් එක්සත් ජාතීන්ගේ සම්මේලනයට සහභාගි වීම සඳහා යෑමට දින නියම කරගෙන සිටියේය. සැප්තැම්බර් 28 වැනිදා ඒ දිනයයි.
කිහිප විටකදීම ගත් උත්සාහයන් ව්‍යර්ථ වූ නිසා කෙසේ හෝ පිටරට යන්නට පෙර ප්‍රතිගාමීන්ගේ දුෂ්ට චේතනාව ඉෂ්ට කර ගන්නට ඔවුහු තීරණය කළහ.

එහි ප්‍රතිඵලය වූයේ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක අගමැති වෙඩි උණ්ඩයට බිලිවීමය.

උදේනි සමන් කුමාර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon