සිරිමා සහ මෛත්‍රි උතුරු කොරියාවට පාඩම් ඉගැන්වූ හැටි

  👤  5266 readers have read this article !
2018-06-24

කිම් ජොන් අන් ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීම ඉකුත් සතියේ ලොව වැදගත්ම දේශපාලන සිදුවීම වූයේය. ඇමෙරිකානු රාජ්‍ය නායකයා සැලකෙන්නේ ලෝකයේ බලවත්ම පුද්ගලයා වශයෙනි. ඔහු කිලෝමීටර් 15,299ක් මඟ ගෙවමින් උතුරු කොරියානු නායකයා හමුවීමට සිංගප්පූරුවේ සන්තෝසා නගරයට පැමිණීම අහඹු සිදුවීමක් නොවේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් නමැති දඩබ්බර ඇමෙරිකානුවා මෙල්ල කරමින් ජොන් අන් ආසියාවේ ගෞරවය රැක දුන්නා යැයි කිවහොත් එය වඩා නිවැරැදිය. උතුරු කොරියාව ගැන ලෝකයට ඇත්තේ අල්ප දැනුමකි. දැනට ලෝකයේ ඉතිරිව පවතින අතළොස්සක් කොමියුනිස්ට් රාජ්‍යයන්ගෙන් එකක් බව පමණක් ලෝකය දනිති. ඒ හැරෙන්නට උතුරු කොරියාව දශක ගණනාවක් තිස්සේ දැවැන්ත යකඩ තිරයකින් වැසී තිබෙන නිසා ලෝකයට එහි වන දෑ හෙළි වන්නේ නැත. උතුරු කොරියානු පාලනය එළියට දෙන දේ පමණක් වාර්තා කරන්නට ලෝක මාධ්‍ය ආයතනවලට සිදුව තිබේ.

ඇමෙරිකාව දණගැස්වූයේ උතුරු කොරියානු න්‍යෂ්ටික වැඩපිළිවෙළ බව රහසක් නොවේ. ඕනෑම න්‍යෂ්ටික ප්‍රහාරයකදී අපට අනන්‍ය වූ ක්‍රමයට න්‍යෂ්ටික ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට අප සූදානම් යැයි උතුරු කොරියානු හමුදා ප්‍රධානියකු වූ බෝර් යෙන්ග් පවසා තිබිණි. විශේෂඥයන්ගේ සහ ඇමෙරිකානු රාජ්‍ය උපදේශකයන්ගේ මතය වී තිබුණේ ඇමෙරිකාව කරා ළඟා විය හැකි න්‍යෂ්ටික යුද ශීර්ෂ සහිත මිසයිල 5,500ක් උතුරු කොරියාව සතුව දැනටමත් ඇති බවය. යුද්ධයක් ඇතිවුවහොත් කිසිවකු ජයග්‍රාහකයකු නොවනු ඇති බව ඔවුන්ගේ මතය වූයේය. අවසානයේදී ලෝකයට වඩා වාසි සහගත සාමය දෙසට ප්‍රශ්නය තල්ලු වී ගියේය.

කොරියාව 1905 වන විට පැවැතියේ ජපන් අධිරාජ්‍යවාදයේ යටත්විජිතයක් වශයෙනි. සෝවියට් රුසියාවේ නායක ජෝසප් ස්ටාලින් සහ මහජන චීන සමූහාණ්ඩුවේ සභාපති මාඕ සේතුං දෙදෙනාගේ අනුගාමිකයකු වූ කිම් ඉල් සුං යටතේ කොරියානු ජනතාව ජපන් අධිරාජ්‍යවාදීන්ට එරෙහි දීර්ඝ ගරිල්ලා යුද්ධයක නිරත වූ අතර උතුරු කොරියාවේ වැඩි බිම් ප්‍රදේශයක් නිදහස් කර ගන්නා ලද්දේ කිම් ඉල් සුං මෙහෙයවූ ජනතා විප්ලවකාරී හමුදාව විසිනි. 1945 දෙවැනි ලෝක යුද්ධය අවසන් වන විට සෝවියට් රුසියාවේ සහාය ලැබූ උතුරු කොරියාවත් ඇමෙරිකාවේ සහාය ලැබූ දකුණු කොරියාවත් රාජ්‍යයන් දෙකක් වශයෙන් බිඳී තිබිණි.

ප්‍රකට කොරියන් යුද්ධය 1950දී ඇති වූයේ මෙම බෙදුණු රාජ්‍යයන් දෙක අතරය. 1953 කොරියන් යුද්ධය නිමා වූ අතර උතුරු කොරියානු කොමියුනිස්ට් රාජ්‍යයේ සීමාවන් එලෙසම රැකුණු අතර එය චීනයට, ද. කොරියාවට, රුසියාවට හා කොරියානු මුහුදට මායිම් විය. කිම් ඉල් සුංගේ දර්ශනය උතුරු කොරියාවට මඟ පෙන්වූ පහන් ටැඹ වූයේය. ගිනිකොනදිග ආසියාවේ බොහෝ රටවල සභාපති කිම් ඉල් සුංගේ අනුගාමිකයන් බිහි විය. එම ගරිල්ලා කණ්ඩායම් අධිරාජ්‍යවාදයට එරෙහිව අවි ගත් තරුණයන්ගෙන් සමන්විත වූයේය.
1971 ලංකාවේ තරුණ නැඟිටීම ඇති වූ විට සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව කැරැල්ල පසුපස කිම් ඉල් සුංගේ බලපෑමක් ඇතැයි සැක කළේය. එකල සිංහලට පරිවර්තනය කළ කොරියානු නායකයාගේ දේශනා සහිත පොත් මෙන්ම ජපනුන්ට විරුද්ධව සටන් වැදුණු කොරියානු ගරිල්ලා භටයන්ගේ මතක සටහන් පොත්ද තරුණයන් අත තිබීම අගමැතිනියගේ අහේතුක සැකයට හේතුව විය. 1971 අප්‍රේල් මාසයේ උතුරු කොරියානු තානාපති කාර්යාලයට පැය 24ක් තුළ ලංකාවෙන් පිට වී යන ලෙස සිරිමා බණ්ඩාරනායක අගමැතිනියගේ ආණ්ඩුව නියෝග කළේය. ලංකාව හා උතුරු කොරියාව අතර සම්බන්ධකම එතෙකින් නිමා විය. 71 කැරැල්ලට කොරියාවේ සම්බන්ධයක් නොවූ බව පසුව හෙළි විය. නමුත් එතෙක් මෙතෙක් වසර 47ක් ගතවී ඇතත් උතුරු කොරියාව සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇති කර ගන්නට ලංකාවේ කිසිදු ආණ්ඩුවක් එඩිතර වූයේ නැත.

එය එසේ වූයේ ලංකාව මහ ඉහළින් කතා කරන නොබැඳි විදේශ ප්‍රතිපත්තිය යටතේය. මෙහි සත්‍ය කතාව නම් ලංකාව ඇමෙරිකන් හාම්පුතාට ඇති බිය නිසා උතුරු කොරියාව සමඟ සම්බන්ධකම් ඇති කර නොගැනීමය. මෙහිලා කදිම සිදුවීමක් පසුගිය 2017 වසරේ අග භාගයේ සිදුවූයේය. කිම් ඉල් සුංගේ 105 වැනි ජන්ම දිනය නිමිත්තෙන් උතුරු කොරියාව බැලැස්ටික් මිසයිල අත්හදාබැලීමක් සිදු කළේය. ඇමෙරිකන් පාලනය එයින් ත්‍රස්ත විය. උතුරු කොරියාවට එරෙහි වහාම සම්බාධක පැනවිය යුතු යැයි ඇමෙරිකාව එක්සත් ජාතීන්ට නියෝග කළේය. එ.ජා. සංවිධානයේ තීරණය ප්‍රකාශ වීමත් සමඟම උතුරු කොරියාවට විරුද්ධව ප්‍රථමයෙන්ම සම්බාධක පැනවූ රට වූයේ ලංකාවය. යහපාලන ආණ්ඩුව දෙවරක් නොසිතාම උතුරු කොරියාවට විරුද්ධව සම්බාධක පනවන ගැසට් පත්‍රයක් නිකුත් කළේය. 1971දී සිරිමා බණ්ඩාරනායක රජය කළා මෙන්ම 2017දී යහපාලන ආණ්ඩුවද උතුරු කොරියාවට පාඩමක් උගන්වන්නට පෙරට ආවේය. ඒ ලංකාවේ නොබැඳි ප්‍රතිපත්තියේ තරමය. අද ඩොනල්ඩ් ට්‍රම්ප් කිම් ඉල් සුංගේ මුනුපුරාගේ කරට අත දමන විට නොබැඳි යැයි කියන ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ගැන නැවත වරක් සිතන්නට සිදු වනු ඇත.

උදේනි සමන් කුමාර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon