පෙම් කළ වරදට දඬුවම මරණය

  👤  5865 readers have read this article !
2018-06-24

කොටි තරුණියකගේ පාපෝච්චාරණය අංක-61

මෙතෙක් කතාව

නිරෝමි යාපනේ ප්‍රභූ පවුලක දැරියකි. ඇය උසස් පෙළ ඉගෙනුම ලබද්දී ජන දිවිය බිඳ වැටේ. දෙමළ තරුණයෝ අවි අතට ගනිති. යාපනයේ යුද ගැටුම් උග්‍ර වේ. නිරෝමි සහ ඇගේ යෙහෙළියෝද කාන්තා සෙබළියෝ ලෙස කොටි සංවිධානයට එක්වෙති. ඉන්දු-ලංකා සාම ගිවිසුම ක්‍රියාත්මක වෙයි. ඉන්දීය හමුදා පැමිණෙති. ඉන්දීය හමුදාවට රටින් බැහැර වන ලෙස ඉල්ලමින් මාරාන්තික උපවාසයක නියැළුණු දිලීපන් මිය යයි. සාම ගිවිසුම බිඳ වැටේ. කොටි නැවතත් ආයුධ අතට ගනිති. කොටි ඉන්දීය හමුදාව සමඟ යුද වදිති. නිරෝමිගේ කණ්ඩායමේ මුරලි, අජන්ති, නිහින්තා සටනකදී මරණයට පත්වෙති.

අප චිකාගෝ බේස් කඳවුරට පැමිණ තෙසතියක් ඉක්ම ගොස් තිබිණි. එදින අප බලන්නට පැමිණි මහත්තයා සහ ඔහුගේ පිරිස රැස්වීමක් පැවැත්වූහ. අප ඉදිරිපස වූ කුඩා ලී බංකුවක වාඩි වූ මහත්තයා දේශනයක් ආරම්භ කළේය. ඒ අතරතුර මම ඔහුගේ ඇඳුම් පැලඳුම් අධ්‍යයනයක යෙදී සිටියෙමි. ඔහු පාවහන් පැලඳ සිටියේ නැත. එදිනද ඔහු සැරසී සිටියේ මාස කිහිපයකට පෙර සිට අප දැක පුරුදු ඇඳුම් කට්ටලයෙන්මය.

කඳවුරේ ආහාර පරිභෝජනය ගැන මෙන්ම අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳවද ඔහු අප හා සාකච්ඡා කළේය.

හදිසියේම ඔහු මාතෘකාව වෙනත් අතකට යොමු කළේය.

"මේ ඉන්දියන්කාරයොත් එක්ක යුද්දෙ පටන් ගත්තට පස්සෙ අපිට කෙල්ලො කොල්ලො එකට තියන්න සිද්ධ වුණා. එක කණ්ඩායමක එක වහලක් යට ගෑනු පිරිමි ඉඳිද්දි හැසිරීම හරිම වැදගත්. අයියා ලොකු විශ්වාසෙකින් හිටියෙ ඔය ළමයින්ගෙ හැසිරීම් රටාව ගැන. ඒත් මට ඊට වෙනස් ආරංචි කීපයක්ම ලැබිලා තියෙනවා"

කතාව අතරමඟ නැවැත්වූ මහත්තයා අප එකිනෙකාගේ මුහුණු සුපරීක්ෂාකාරීව විපරම් කරනු පෙනුණි. අප හැම කෙනෙක්ම එකිනෙකා දෙස බැලුවේ චකිතයෙනි. අනතුරුව හෙතෙම තිදෙනකුගේ නාම ලේඛනයක් හෙළිදරව් කළේය.

එකී ගැහැනු ළමයින් තිදෙනාම අයත් වූයේ වෙනත් ඒකකයකටය. මාස කිහිපයකට පෙර යාපනයේදී ඔවුන් මේ මේ වැරැදි සිදු කළේ යැයි මහත්තයා මුළු සභාව ඉදිරියේදීම ප්‍රකාශ කළේය.
ඉන් එක් තරුණියක් තම සගයකු හට මංගල යෝජනාවක් ඉදිරිපත් කොට ඇත. තවත් තරුණියක් සෙම් අමාරුවක් හේතුවෙන් හුමාලය උරමින් සිටි තරුණයකුගේ හිසට හිස ළං කොට විහිළුවක් කොට ඇත. බරපතළම අපරාධය සිදු කොට තිබුණේ තෙවැන්නියයි. ඇය කොටි සෙබළකු හා ප්‍රේමයෙන් බැඳී ඇත.

"මට පුදුම හිතුණා. ජීවිතයයි මරණයයි අතර ඉඳිද්දී මේ විදියට හිත්වල අරමුණු වෙනස් කරගන්ඩ පුළුවන්ද? අපේ ඒකායන පරමාර්ථය මේ යුද්දෙ දිනන එක. ආදරේ කරන්න ගියාම මරණෙට කිට්ටු වෙන්න කැමැති නෑ. මම මේ කාරණා කියා හිටින්නේ මෙතැන ඉන්න හැම දෙනාටම"

"හරි අර කියාපු ගෑනු ළමයි තුන්දෙනා ඇරෙන්න අනිත් අයට යන්න පුළුවන්"

මා පිටත්ව යන්නට නැඟී සිටියදී මහත්තයා මගේ නම හඬ ගෑවේය.

"නිරෝමී"

මට දැනුණේ මගේ හදවත සිරුරින් ගිලිහී වැටුණා සේය. මම හිටිවනම ගල් ගැසී සිටියෙමි. මගේ සිත වේගයෙන් අතීතය සිසාරා යමින් සිටියේය. මා කළ වරද කුමක්ද?
"මට ආරංචි වුණා ඔයාගෙ බඩවැලේ තුවාල ඇවිත් කියලා"

ඔහු කීවේ කලබලයකින් තොරවය.

"මටත් ඔය ප්‍රශ්නෙ තියෙනවා. මෙහෙ මිරිස් නොදා උයන්ඩ අමාරුයිනෙ. උයන අයට කියන්ඩ, මිරිස් තුනපහ දාන්ඩ කලින් ඔය ළමයට කෑම ටිකක් අයින් කරලා තියන්න කියලා. මං පොල් කිරි පවුඩර් එකක් එවන්ඩ ක්‍රමයක් පිළියෙල කරන්නම්. මට ඉතින් ඊට වඩා යමක් කරන්න අමාරුයි"

මට දැනුණේ මහත් සැහැල්ලුවකි. ඔහුට ස්තුති කළ මම අන් අය හා එක්වූයෙමි.

මට බඩ දැවිල්ලක් හටගන්නා බව දැන සිටියේ අකිලා පමණකි. මහත්තයා සමඟ ඒ බව පවසන්නට ඇත්තේ අපගේ වෛද්‍යවරිය විය යුතුය. නිසැක වශයෙන්ම ඒ වග ඇයට දැනුම් දෙන්නට ඇත්තේ අකිලාය.

"ඊළඟට එයා උඹට කිරි එළදෙනක් එවාවි"

දිරා ගිය ගසක කඳක් මත වාඩි වී සිටි යෙහෙළියෝ මට උසුළු විසුළු කළහ.

මහත්තයා විසින් නම් කරනු ලැබූ ගැහැනු ළමයින් තිදෙනා ඔහු පසුපස යනු අපි බලා සිටියෙමු. ඔවුන් පිවිසියේ මීටර් විස්සක් පමණ දුරින් වූ ආනන්දන් නිදන කූඩාරම තුළටය.

පළමු ගැහැනු ළමයින් දෙදෙනා ඉක්මනින් ආපසු අප සමඟ එක් විය. එහෙත් ඔවුන් දෙදෙනාගේම අතෙහි වූ රයිෆලය හෝ ගෙලෙහි වූ සයිනයිඩ් කරල දකින්නට තිබුණේ නැත. ඔවුන් සංවිධානයෙන් නෙරපා හැර තිබිණි. එසේ වුවද අප කඳවුර අත් හැර යන තාක් කල් ඔවුන් එහි රැඳී සිටිය යුතු විය. නැතහොත් අන් අයගේ ආරක්ෂාව පිළිබඳ ගැටලු මතු විය හැකි බැවිනි.
තෙවැන්නා නමින් 'නෝරා' විය. ඇය අවි පුහුණුව ලැබුවේ අප සමඟය. විශ්වවිද්‍යාලයේ මුර සේවාවෙහිදී ද ඇය අප හා සිටියාය. දෑසෙහි කඳුළු පුරවාගෙන ඇය පැමිණියේ තවත් විනාඩි පහකට පමණ පසුවය. ඇගේ මුහුණ අඳුරු වී තිබිණි.

"මොකද වුණේ?"

"මට අදම අස්වෙන්න හිතෙනවා"

අෑත වන පෙත වෙත නෙත් යොමු කරමින් අෑ කීවාය. ඇගේ මුහුණ දිගේ කඳුළු කැට කඩා හැලෙමින් තිබිණි.

"ඒ කිව්වේ"

"ශාන්තන් එක්ක සම්බන්ධයක් තිබුණයි කියලා මට දඬුවම් නියම කළා. සංවිධානෙට පක්ෂපාතී බව පෙන්නන්ඩ නම් යුද්දෙදි මං ඉස්සරහින්ම ඉන්න ඕනලු. සතුරන් එක්ක සටන් කරන හැම වතාවකම මං ඒ අයගෙ කඳවුරකින් මොනවා හරි දෙයක් හොරකම් කරලා ගේන්ඩත් ඕනලු"

නෝරාගේ මුහුණේ මාංශ පේශි වේදනාවෙන් නළියන අයුරු මම දුටිමි.

"ඒක පුදුම දඬුවමක්නෙ"

කවුදෝ කෙනෙක් කීය.

"එක වතාවක් හරි ඔයාගෙ දඬුවමට මූණ දීලා ඉන් පස්සෙ අස්වෙන්ඩ"

අකිලා නෝරාට කීවාය.

"එහෙම නැත්නම් ඒ අය හිතාවි ඔයා සංවිධානෙට වඩා වටින්නේ ශාන්තන්ගේ සම්බන්ධය කියලා"

අකිලාගේ තර්කය පිළිබඳව මට කිසිත් සිතාගත නොහැකි විය. දිනක් මුරලි පැවැසූ පියාට වෙඩි තැබූ තරුණයා මට සිහිපත් විය. පියාට වෙඩි තබා ඝාතනය කරන්නැයි ඔහු ලද නියෝගය පළමුව ක්‍රියාත්මක කළ හෙතෙම සංවිධානයෙන් ඉල්ලා අස් වූයේ දෙවැනුවය.

"මගේ දඬුවම් එච්චර දේවල් නෙමෙයි. ඒගොල්ලො ශාන්තන්ට දෙන්න යන දඬුවම ගැන බලනකොට"

නෝරා වැලපුණාය.

"ඒ ගොල්ලො හදන්නෙ ශාන්තන්ව මරලා දාන්ඩ"

අපි සියලුදෙනා තුෂ්ණිම්භූත වූයෙමු.

ප්‍රියමනාප පෙනුමක් ඇති ඒ කටකාර පිරිමි ළමයාගේ පී්‍රතිමත් මුහුණ මට මැවී පෙනුණි. දීර්ඝ බෝට්ටු චාරිකාවෙන් පසු වනය තුළට ආ පා ගමනේදී අපේ වෙහෙස නිවා දැමූවේ ශාන්තන්ය. ඔහුගේ විහිළු නිබඳවම අප සිනා ගැන්වූයේය.

"ඒත් එයා මැරුවයි කියල මොනවද ලැබෙන්නේ"

මා ඇසුවේ අවුල් වියවුල් වූ සිතිනි.

"මහත්තයා අයියා බොහොම දරුණුයි. ශාන්තන් උදාහරණෙකට අරගෙන අනික් අයව බය ගන්නන්ඩයි එයා හදන්නෙ"

පරිවර්තනය - සුනිලා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon