වැරදි පත්වීම් ලිපිය ෆොටෝ ගනිද්දී බුද්ධික ජනපති ලේකම්ට මාට්ටු

  👤  6752 readers have read this article !
2018-06-24

අගමැති රනිල් සහ අකිල ගෙනා කැබිනට් යෝජනාව විසිවෙයි

සතියේ කැබිනට් තීරණ හමුව ජනපති මෛත්‍රිගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

අගමැති රනිල් සහ අමාත්‍ය අකිල විරාජ් ගෙනා කැබිනට් පත්‍රිකා දෙකක් ගැන කැබිනට් හමුවේ විශේෂ අවධානය යොමුවිය.

ඉන් එක් කැබිනට් පත්‍රිකාවක් වූයේ රැකියා විරහිත උපාධිධාරීන් බඳවා ගැනීමේ වැඩසටහන යටතේ මුල් අදියර ලෙස උපාධිධාරීන් 5,000ක් බඳවා ගැනීමයි.

"මේ උපාධිධාරීන් බඳවා ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා. අපි ඉස්සරවෙලාම අභ්‍යන්තර අය ගැන බලන්න ඕනෑ.

බාහිර උපාධිධාරීන්ට වඩා මුල් තැන දෙන්න ඕන. දෙගොල්ලන්ම කලවම් කර ගත්තම හරියන්නේ නෑ." ශ්‍රී ලනිප ඇමැතිවරයකු කීවේය.

"ඔව් අභ්‍යන්තර උපාධිධාරීන්ට මුල් තැන දෙන්න ඕනෑ" ජනාධිපතිවරයාද ඊට මැදිහත් විය.

මේ අය බඳවා ගනිද්දී පනවපු කඩඉම් ලකුණුවලත් ප්‍රශ්නයක් තියෙනවා. මඩකළපුවෙන් විතරක් 934ක් තේරිලා, පොළොන්නරුවෙන් ඉන්නේ 32යි. ඒ විතරක් නොවෙයි උපාධිධාරීන් වැඩිම පිරිසක් ඉන්න කුරුණෑගලින් 300ක් . තවත් ඇමැතිවරයෙක් කිවේය. විතරයි.

"මේ කඩඉම් ලකුණු හරියට හදලා ලබන සතියට වර්තාවක් කැඳවන්න" ජනාධිපතිවරයා එම යෝජනාව සලකා බැලීම පසුවට කල් තිබ්බේය.

ඇමැති අකිලද කැබිනට පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබිණි. ඒ උසස් පෙළ පාසල් දරුවන්ට ටැබ් පරිගණක ලබාදීම ස¼දහාය. මෙම යෝජනාවටද ඇමැතිවරුන් කිහිප දෙනකු විරුද්ධව අදහස් දක්වන්ට විය.

"මේක බජට් එකේ තිබුණු යෝජනාවක්" ඇමැති අකිල, විරෝධය මැද කීවේය.

"ටැබ් පරිගණක දෙන්න කලින් පාසල්වල බලන්න හුඟාක් දේවල් තියෙනවා. සමහර ඉස්කෝලවලට හරිහැටි වැසිකිළි කැසිකිළි පද්ධතියක්වත් නෑ. විදුලිය නෑ. ගොඩනැඟිලි නැති පාසල් කොච්චිර තියෙනවාද? ඉස්සරවෙලා ඒ ටික කරලා ඉන්න" ජනාධිපති මෛත්‍රි එසේ පැවසූ අතර පැමිණි විරෝධය හමුවේ එම යෝජනාවද සලකා බැලීම පසුවට කල් තැබුවේය.

"නායකතුමාගෙයි, මහ ලේකම්තුමාගෙයි දෙන්නගෙම යෝජනා දෙක කල් ගියා" කැබිනට් හමුව අතරතුර ඇමැතිවරු පිරිසක් කසුකුසු ගාන්නට වූහ.

ආනයනික බීලූනු සහ අර්තාපල්වලට ස්ථාවර මිලක් ලබාදෙන ලෙස ඇමැති මහින්ද අමරවීර යෝජනාවක් ඉදිරිපත් කළේය. මංගල සමරවීර ඇමැතිවරයා මුලින් එම යෝජනාවට තරමක් අකැමැති විය.

"දේශීය ගොවියා ආරක්ෂා කරගන්න බෑ. මේවට ස්ථාවර මිලක් දුන්නෙ නැත්තම්. ඒ නිසා ඒක කරන්නම වෙනවා" අමරවීර ඇමැතිවරයා කීවේය.

පසුව ඇමැති මංගල එයට එකඟ විය.

පෞද්ගලික රෝහල්වල වෛද්‍යවරුන් චැනල් කිරීමේ ගාස්තුවලින් 15% වැට් බද්ද ඉවත් කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවිය.

"රාජිතයි... තවත් ඇමැතිවරු විශාල ප්‍රමාණයක් මේ ඉල්ලීම වෙනුවෙන් දිගින් දිගටම සටන් කළා. ඒ නිසායි මම මේ යෝජනාව ඉදිරිපත් කළේ" ඇමැති මංගල කීවේය.
"කලින් හිටපු මුදල් ඇමැතිතුමාගෙන් මම ඔය ඉල්ලීම දිගින් දිගටම කළා. ඒත් ඒක මිස් වුණා" ඇමැති රාජිත කීවේ මංගලව අස්වසමිනි.

 

"ඇත්තටම අපට සතුටු වෙන්න පුළුවන් ජනතාව වෙනුවෙන් මේ සහනය ලැබීම ගැන" ඇමැති මංගල කීවේය.

"ඒ වගේම තව එක දෙයක් තියෙනවා අපට කරන්න. රටේ සෞඛ්‍යයට යන වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5ක් කරගන්න. ඒකටත් අපි මහන්සි වෙන්න ඕන" රාජිත ඇමැතිවරයා ජනාධිපතිවරයා දෙස බලමින් කීවේය.

පෙට් ස්කෑන් යන්ත්‍ර ටෙන්ඩර් පටිපාටියෙන් තොරව මිලදී ගැනීම සඳහා හදිසි කැබිනට් යෝජනාවක් ඇමැති රාජිත ඉදිරිපත් කළේය.

"මිල ගණන් කැඳව කැඳව ඉන්න පුළුවන්කමක් නෑ. මේවා අපට ඉක්මනට අවශ්‍යයි." ඇමැති රාජිත කීවේය.

ඊටද ඇමැතිවරුන් කිහිපදෙනකු විරුද්ධව අදහස් දැක්වීය.

"ඒ ගැන ලබන සතියේ කැබිනට් එකට වාර්තාවක් දෙන්න" ජනපති මෛත්‍රි එම යෝජනාවට මැදිහත් වෙමින් කීවේය.

යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාවගේ පවුල්වලට වන්දි ලබාදීම සඳහා ඇමැති ස්වාමිනාදන් මේ සතියේද කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේය. මීට පෙර අවස්ථාදෙකකදී ද මෙම යෝජනාව කැබිනට් මණ්ඩලය ප්‍රතික්ෂේප කර තිබිණි.

මෙවරද ඇමැති චම්පික ඇතුළු පිරිසක් ඊට විද්ධව අදහස් දැක්වූහ.

"මේකට කොහොමත් අවසර දෙන්නෙ නෑ. ආයේ මේ යෝජනාව ගේන්න එපා" ජනපති මෛත්‍රි තරමක් කේන්තියෙන් කීවේය.
බුද්ධිකට වුණු අපත වැඩේ

රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පස් දෙනකු දිවුරුම් දීමේ කටයුතු පසුගිය සතියේ සිදු වෙද්දී බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා සිටියේ විදේශ ගතවය. මන්ත්‍රිවරයාගේ නමත් නියෝජ්‍ය අමැති තනතුරක් සඳහා යෝජනා වී තිබිණි. විදේශගතව සිටිද්දී බුද්ධිකට සිය මහජන සම්බන්ධතා නිලධාරියාගෙන් දුරකථන ඇමතුමක් ලැබුණි.
සර්....ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කතා කරලා කිව්වා සර්ට හෙට උදේ එන්න කියලා. නියෝජ්‍ය ඇමැතිකමේ දිවුරුම් දෙන්න තියෙනවා කියලා.

ෂුවර් එකට අඩියක් ගහලා උඹව කවුරුහරි බයිට් කරනවා ඇති. ඔය මනස්ගාතවලට රැවටෙන්නෙ නැතිව මම දීලා ආපු වැඩ ටික ඉවර කරනවල. බුද්ධික එසේ කියමින් දුරකථනය විසන්ධි කළේය.

බුද්ධික දිවයිනට පැමිණියේ පසුගිය ඉරිදාය. විදේශගතව දිවයිනට පැමිණීමෙන් පසුව බුද්ධිකටත් නියෝජ්‍ය ඇමැතිකමක් ලැබෙන බවට ඒ වන විටත් මාධ්‍ය වාර්තා පළවෙමින් තිබිණි.

සඳුදා පස්වරුවේ බුද්ධිකට ඔස්ටින් ප්‍රනාන්දු ජනාධිපති ලේකම්වරයාගෙන් දුරකථන ඇමැතුමක් ලැබුණේය.

ඔබතුමාට හෙට උදේ එන්න පුළුවන්ද? නියෝජ්‍ය ඇමැතිකමේ දිවුරුම් දෙන්න.

බුද්ධික තරමක් කලබලයට පත්විය.

ලේකම්තුමා .....මට හෙට උදේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ඕකට ආවොත් මට ඒක අහන්න වෙන් නෑ. ඒ නිසා තරහ නැතිව මට හෙට හවස 3න් පස්සේ වේලාවක් දෙන්න. බුද්ධික ජනාධිපති ලේකම්ගෙන් ඉල්ලා සිටියේය.

එහෙමද....? හොඳයි එහෙනම් 5.30 වෙද්දී එන්න. ලේකම්වරයා කීවේය.

කතාකරගත් පරිදි බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා පස්වරු 5.25 පමණ වන විට කොළඹ 5, මහගමසේකර මාවත පිහිටි ජනාධිපති නිල නිවසට ගියේ සිය මව, නැඟණිය, ඇගේ ස්වාමියා සහ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකුද සමඟිනි.

අනතුරුව ජනාධිපති ලේකම්වරයා බුද්ධිකට කහ පැහැති ෆයිල් කවරයක් දිගු කරමින් මෙසේ කීවේය.

ඔය කොළේ තියෙන ටික බලාගන්න. ඕක බලාගෙන තමයි දිවුරුම් දෙන්න තියෙන්නේ. ඔන්න අපි ඔබතුමා ඉල්ලපු එකම දුන්නා.

කොළය අතට ගත් බුද්ධික මවිතයට පත්ව උඩගොස් බිම වැටුණේය.

එහි සඳහන් වූයේ ඔහුට නගර සැලසුම් හා ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ධුරය හිමිවන බවය. නමුත් ඔහුට දැනගැනීමට ලැබුණේ කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරය ලබාදෙන බවය.

කලබලයට පත්වූ බුද්ධික ජනාධිපති ලේකම්වරයා ළඟට අඩියට දෙකට ගියේය.

ලේකම්තුමා...මේක නෙවෙයි මට දෙනවා කිව්වේ. මම කිසිම ඇමැතිකමක් ඉල්ලලා නෑ. අවුරුදු 3ක් මන්ත්‍රි කෙනෙක් විදියට හිටිය මට ඉතිරි අවුරුදු එක හමාරත් ඉන්න එක මහ ලොකු වැඩක් නෙවේ. හැබැයි අද උදේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමා මගේ ස්ටාෆ් එකට එන්න කියලා මට ලැබෙන්න තියෙන ඔෆිස් එකත් පෙන්නලා තියෙනවා. බ්‍රහස්පතින්දා උදේ වැඩ භාරගන්න උත්සවයකුත් ලෑස්ති කරලා. එහෙම එකේ මෙහෙම වුණේ කොහොමද?" බුද්ධික කීවේය.

අගමැතිතුමා මුලින්ම ලියලා එවලා තිබුණේ කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය ඇමැතිකම දෙන්න කියලා. ඊට පස්සේ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක අපට දැනුම් දුන්නා ඔබතුමාගේ ඉල්ලීම පරිදි නගර සැලසුම් හා ජල සම්පාදන නියෝජ්‍ය ඇමැතිකම දෙන්න කියලා. ඒ නිසයි අපිත් කන්ෆියුස් වුණේ. පස්සේ ජනාධිපතිතුමා කිව්වා ඔබතුමා ඉල්ලන එකක් දෙන්න කියලා" ලේකම්වරයා කීවේය.

ලේකම්තුමා මේක අමූලික බොරුවක්. මම එහෙම ඉල්ලීමක් කළේ නෑ. එකක් මතක තියාගන්න. මගේ උස අඩි පහයි අඟල් 3යි. ඕක සෙන්ටිමීටර්වලින් නම් 159යි. උසින් ටිකක් අඩු වුණාට මට හොඳ කොන්දක් තියෙනවා. මේක ඔබතුමා තියා ගන්න. දෙනවා නම් අගමැතිතුමා දන්වලා එවපු නියෝජ්‍ය ඇමැතිකම විතරක් දෙන්න. නැත්නම් මම මන්ත්‍රිකමේම ඉන්නවා" යැයි බුද්ධික කීවේය.

මේ හදිස්සියේ කොහොමද මේක වෙනස් කරන්නේ. හයට විනිසුරුවරුන්ගේ රැස්වීමක් තියෙනවා." ලේකම්වරයා කියද්දී බුද්ධික ඒ දෙසට හැරුණේ මුහුණ රැලි ගන්වමිනි.
එහෙනම් ඒක ඉවර වෙලා රෑ 11ට 12ට හරි කමක් නෑ. අපි හරි ඒකේ දිවුරුම් දෙමු. එහෙම නැත්නම් මම දැන්මම යනවා" යැයි කියමින් බුද්ධික සිය මෑණියන්ගේ අත අල්ලාගෙන අපි යමු යන්න කියමින් සිටි තැනින් නැඟිට්ටේය.

හා හා කලබල වෙන්න එපා. මම ඔබතුමාගේ ප්‍රශ්නේ කොහොම හරි විසඳනවා. පොඩ්ඩක් ඉන්න යැයි කියමින් ලේකම්වරයා ජනාධිපති ලේකම් කාර්යාලයට ඇමතුම් කීපයක් ගත්තේය.

ඉන්පසු විනාඩි 20ක් පමණ ගත වෙද්දී ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට විශේෂ පොලිස් ආරක්ෂාවක් සහිතව පැමිණි වාහනයකින් ලිපිලේඛන සහිත ෆයිල් කවරයක් නිලධාරියකු විසින් ජනාධිපති ලේකම්වරයා වෙත ගෙනැවිත් දුන්නේය.

වාහනයට පොලිස් ආරක්ෂාව ලැබී තිබුණේ කාර්යාල අවසන් වූ වෙලාව බැවින් මාර්ග තදබදයෙන් වන ප්‍රමාදය වළක්වා ගැනීම සඳහාය.

ආ.... මේන් තියෙනවා. දැන් මේක කියවා ගන්න කියමින් ජනාධිපති ලේකම්වරයා සිනහ මුසුව බුද්ධිකට දිවුරුම සහිත කොළයක් ලබා දුන්නේය. එහි සඳහන්ව තිබුණේ දිවුරුම්දීමට නියමිතව ඇත්තේ කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස බවය.

ඉන් මඳ වේලාවකට පසුව බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමුවේ දිවුරුම් දුන්නේය.

සර්....මෙතුමා විෂයක් ඉල්ලලා නෑ. අපි ලියුම් දෙකම දැකලා පස්සේ ආපු එක හරි කියලා හිතුවා. ඒකයි වුණේ ජනාධිපති ලේකම්වරයා සිනාසෙමින් කීවේය.

ජනාධිපතිතුමනි, බ්‍රැඩ්මන් වීරකෝන් ලේකම්තුමා වගේ ඔස්ටින් ප්‍රනාන්දු ලේකම්තුමාත් කවදා හරි ජීවිත කතාව ලියද්දී බුද්ධිකට වුණු අපත වැඩේ කියලා මේ වෙච්ච දේ ගැන පරිච්ඡේදයක් ඒකේ ලිව්වොත් තමයි හොඳ යැයි බුද්ධික කියද්දී ජනාධිපතිවරයාටද සිනා නොවී සිටින්නට බැරිවිය.

බුද්ධික දිවුරුම්දී අවසන් වී එළියට ඒමට සූදානම් වෙද්දී අසල මේසයක් උඩ කලින් දිවුරුම් දීමට සූදානම් කර තිබූ කහ පැහැති ෆයිල් කවරය දුටුවේය. සිය ජංගම දුරකථනය අතට ගත් බුද්ධික එහි ඡායාරූපයක් ගැනීමට සැරසෙද්දී ජනාධිපති ලේකම්වරයා එය දුටුවේය. වහාම බුද්ධික අතේ තිබූ ෆයිල් කවරය ලේකම්වරයා උදුරා ගත්තේය.

ඔය හදන්නේ ඕක ෆොටෝ ගහගෙන ගිහිල්ලා තව රණ්ඩුවක් අල්ලන්න යැයි ලේකම්වරයා සිනාසෙමින් කියු අතර අනතුරුව බුද්ධික සිය ඥාති පිරිස සමඟ ජනාධිපති නිල නිවෙසින් නික්ම ගියේය.

බුද්ධික නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙස පත්වීමේදී සිදුවූ අකරතැබ්බ මාධ්‍යයේ වාර්තා විය. සැබැවින්ම ඇමැති විෂය මාරු කිරීම පිටුපස සිටින්නේ කවුරුන්දැයි බුද්ධිකගෙන් විවිධ පාර්ශ්ව විමසන්නට පටන් ගත්තේය.

"කාට හරි වුවමනා වෙලා තියෙනවා. දේශපාලන වශයෙන් මාව නැති කරන්න. මාතරට ලොකු වතුර ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ජල සම්පාදන නියෝජ්‍ය ඇමැතිකම අරගෙන ඒක විසඳුවේ නැතිනම් මිනිස්සු අපේ අම්මට එක්කම බනියි. එතකොට මිනිස්සුන්ට මාව එපා වෙනවා. ඒ ජල ව්‍යාපෘතිවල වැඩ ඉවර වෙන්නේ 2021. මාත් ගෙදර ඉන්නකොට නාලා සබන් ගාගෙන වතුර නැතිව බලාගෙන ඉඳලා තියෙනවා.

පැයක් වතුර ආවොත් ඊළඟ පැයේ වතුර එන්නේ නෑ." යැයි බුද්ධික කීවේය.

අගමැති ලේකම් කාර්යාලයට සම්බන්ධ දේශපාලනඥයකු ඇමැති විෂය මාරු කිරීම පිටුපස සිටින බවට ද බුද්ධික මෙන්ම දේශපාලනඥයෝ බොහෝදනකු සැක පළ කරති.
කතරගම දෙවියො ගැන

දයා ගමගේ කිව්ව කතාව

අගමැති රනිල් පෞද්ගලික චාරිකාවක් සඳහා පසුගිය සතියේ යුරෝපයට ගියේය. ඒ සිය හිතවතුන් කිහිප දෙනකුද සමඟිනි. ඔහු මුලින්ම ගියේ නෙදර්ලන්තයටය. අනතුරුව එංගලන්තයට පැමිණි අගමැතිවරයා හිටපු අගමැති ඩේවිඩ් කැමරන් මුණ ගැසී සාකච්ඡා කළේය.

පසුගිය බ්‍රහස්පතින්දා පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී මැති ඇමැතිවරුන් කිහිප දෙනකු සමඟ ආගිය තොරතුරු කතාබහ කළේතේ කෝප්පයක්ද බොන අතරතුරය. එම කතාබහ අතර ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ උපන්දිනය වෙනුවෙන් පැවැති දානය ගැනද පිරිස කතාබහ කළහ.

ගෝඨාභයගේ උපන්දිනේ දානය වෙලාවේ හාමුදුරු කෙනෙක් භයානක කතාවක් කිව්වා. දැහැමි පාලකයෙක් රටට ඕන කියලා. අන්තිමට කිව්වේ ගෝඨාභයත් හිට්ලර් වගේ මිල්ටරි පාලනයක් ගෙනියන්න කියලයි. පී. හැරිසන් කිව්ව කතාවට අගමැතිවරයාද පුදුමයෙන් මෙන් බලා සිටියේය.

උන්වහන්සේගේ ඒ කතාවට මහා සංඝරත්නයත් සාමාන්‍ය ජනතාවත් ඉතා විරුද්ධ බව පේනවා. හාමුදුරුවරු 99%ක් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් රකින්න ක්‍රියා කරන අයයි.
'රටේ ඒකීය බව රකින්න අපේ ව්‍යවස්ථාවේ සඳහන් දේට පිට පනින්න රටේ නායකයාටත් ඉඩ නොතැබීම ස්වාමීන් වහන්සේගේ වගකීම වෙද්දී මේ හාමුදුරුවෝ මොනවද මේ කියන්නේ. ජනතා පරමාධිපත්‍යය එපා කියලද කියන්නේ' නවීන් කීවේය.

'ගලගොඩඅත්තේ හිමිගේ හැසිරීමට උසාවිය තීන්දුවක් දුන්නම මාධ්‍ය සන්දර්ශන, උපවාස විරෝධතා කිරීම පුදුම දෙයක්. උසාවි තීන්දුවකට විරුද්ධව එහෙම හැසිරෙන්න බෑ. ලොකු හාමුදුරුවෝ ඒ පටු තැනේ නැහැ. උන්නාන්සේට ඉක්මනින් ඇප ලැබුණොත් හොඳයි' ලක්ෂ්මන් කිරිඇල්ල කීය.

'කතරගම කිරිවෙහෙරේ හිමිට වෙඩි තැබූ අයට දැඩි දඬුවම් දෙන්න ඕනේ. කතරගම දෙවියන්ට වඩා අද සමහරු සල්ලිවලටයි වඳින්නේ. මේවා සිදු වෙන්නේ ඒකයි' දයා ගමගේ කීවේ සැවොම සිනහ ගන්වමිනි.

අගමැතිගෙන් බුද්ධිකට අවවාදයක්

ටී.එන්.එල්. රූපවාහිනියට 25 වසරක් පිරීම නිමිත්තෙන් විශේෂ ආගමික වැඩසටහනක් කොළඹ - හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.

අගමැති රනිල් වික්‍රමසිංහ, බුක්ධික පතිරණ, ශාන් වික්‍රමසිංහ සහ දිලිත් ජයවීර ඇතුළු පිරිසක් එක්ව සිටිය ආගමික වැඩසටහන අවසන් වී මඳ වේලාවක් පිරිස කතාබහ කරමින් සිටියහ.

"බුද්ධික කෙහොමද අලුත් අමාත්‍යාංශය?" අගමැති රනිල් බුද්ධිකගෙන් විමසීය.
"හොඳයි සර්. මම ගිහිල්ලා වැඩ භාර ගත්තා."

"රිෂාඩ් එක්ක පරිස්සමෙන් වැඩ කරන්න."
රනිල් බුද්ධිකට කීවේය.

අනතුරුව ටී.එන්.එල්. රූපවාහිනියේ පොල්ගහවෙල විකාශනාගාරයට සීල් තැබීම ගැනද කතාබහක් ඇති විය.

"දැන් ඉතින් ප්‍රශ්නයක් නෑනේ. ශාන් ඔයාට වන්දියත් ගත්තම අලුත් බඩු ටිකක් ගන්න පුළුවන් ඒ සල්ලිවලින්." දිලිත් ජයවීර සිනාසෙමින් කීවේය.

මහින්ද සඳහිරු සෑයේ වැඩ බලන්න යයි

පසුගිය බ්‍රහස්පතින්දා මහින්ද මහනුවර බලා ගියේ වැඩකටයුතු කිහිපයකට යෑමටය. කෙහෙළියගේ නිවෙසට ගිය මහින්ද නුවර මුස්ලිම් ජනතාව සමඟ ඉෆ්තාර් උත්සවයකට ද සහභාගි විය. මුස්ලිම් ජනතාව විශාල පිරිසක් ඒ සඳහා සහභාගි වී සිටි අතර තමන්ට මුහුණ දෙන්නට සිදුව ඇති ප්‍රශ්න ඔවුහු මහින්දට කීහ.

"අද වෙනකොට අපේ ව්‍යාපාර සේරම බිඳවැටිලා. ඩොලරය රුපියල් 160ට ගිහින් තියෙන නිසා තවදුරටත් ව්‍යාපාර කරන්න අමාරුයි" ඔවුහු මහින්දට පැවැසූහ.

"මේ අයට ව්‍යාපාර ඥානයක් නැහැ. එයාලා දන්නේ තියෙන දේවලුත් විකුණලා දාන්න විතරයි." කියමින් මහින්ද ඔවුන් අස්වැසුවේය.

"කොහොමද දැන් තරුණ පෙරමුණේ කටයුතු එහෙම? මහින්ද ඇසුවේ අසල සිටි දිලුම් අමුණුගම දෙස බලමිනි.

"හොඳින් කරනවා සර්. අපි දැන් තරුණ සංවිධාන දිස්ත්‍රික් මට්ටමින් පිහිටුවන්න තීන්දු කරලා තියෙනවා. ඒක මාතරින් පටන් ගන්නවා. දිලුම් පැහැදිලි කළේය.

"අපේ ගමන යනකොට අපිට තරුණයන් අමතක කරන්න බැහැ. අලුත් තරුණ ඡන්ද මැතිවරණයකදී තීරණාත්මකයි. ඒ නිසා හොඳට හොයලා බලලා මේකටයුතු කරන්න" මහින්ද උපදෙස් දුන්නේය.

නුවර සිට සිකුරාදා සවස මහින්ද කුරුණෑගල බලා ගිය අතර සෙනසුරාදා උදෑසනම අනුරාධපුරය බලා පිටත්ව ගියේ එදින ජන්ම දිනය සැමරූ රුවන්මැලි සෑ විහාරාධිපති පල්ලේගම හේමරතන හිමියන් බැහැදැකීමටය. නාහිමියන්ට උපන් දින සුබපැතුම් එක් කළ මහින්ද උදෑසන ආහාරය ගත්තේ චන්ද්‍රසේන, ෂෙහාන් සහ එස්.එම්. රංජිත් සමඟය. පිරිස එහිදී ආගිය තොරතුරු කතා කලහ.

"කොහොමද දැන් ඔයාලගේ හිටපු කෘෂිකර්ම ඇමැතිතුමා. වාරිමාර්ග කටයුතු හරියට කරනවද? කෘෂිකර්මය දියුණු වෙලාද? මහින්ද චන්ද්‍රසේනගෙන් ඇසුවේ සිනාසෙමිනි.
"මොන පිස්සුද සර්? අපේ ගම්වල මිනිස්සු බයවෙලා ඉන්නේ මේ මනුස්සයා කෘෂිකර්මෙත් කාලා දැන් වැව් අමුණු ටිකත් විනාශ කරලා දායි කියලා. එයා ගැන ගොවියන්ට කිසිම විශ්වාසයක් නැහැ" චන්ද්‍රසේන තරමක් කේන්තියෙන් කීවේය.

චන්ද්‍රසේන පවුල සහා දිසානායක පවුල දේශපාලන වශයෙන් පසුගිය කාලයේ දිගින් දිගටම විවිධ මත ගැටුම් ඇති කර ගත්තා.

"එයා බර්ටි ඇමැතිතුමාගේ නමත් එක්ක කෑවා" එච්.බී. සේමසිංහ කතාබහට පොහොර දැම්මේය.

"ඔයාලා තමයි ඉස්සරහට ඕවා බලාගන්න ඉන්නේ. කෘෂිකර්මය, වාරිමාර්ග කටයුතු ගැන දැන් ඉඳලම හොයලා බලන්න" මහින්ද එසේ උපදෙස් දුන්නේ ෂෙහාන්ටය.

අනතුරුව මහින්ද සඳහිරු සෑයේ ඉදිකිරීම් ගැන සොයා බලන්නට ගියේය. යුද ජයග්‍රහණය සැමරීම සඳහා පළාත් නවයේ ඉදිකිරීමට නියමිතව තිබුණු චෛත්‍ය නවයෙන් පළමුවැන්න වන සඳහිරු සෑයේ ඉදිකිරීම් කටයුතු යහපාලන ආණ්ඩුව යටතේ මන්දගාමීව සිදුකෙරෙන අන්දම මහින්ද නීරීක්ෂණය කළේය. ඒ ගැන දැඩි කනගාටුවෙන් කතා කළේය.

"මේක හැදුවා කියලා තමයි මාවයි ගෝඨාභයවයි හිරේ දාන්න හැදුවේ. මම මෛත්‍රිටත් කීපවතාවක්ම කිව්වා මේක හදන්න කියලා. හැබැයි එයාගේ උනන්දුවක් නැහැ. අපි ආපු ගමන් මේකේ වැඩ ඉවර කරනවා" මහින්ද සඳ හිරු සෑය දෙස බලමින් තරමක් හැඟීම්බරව කීවේය.

"සර් බලයේ හිටියා නම් මෙලහකටත් මේක හදලා ඉවරයි" එස්.එම්. පැවැසීය. පළාත් පාලන මන්ත්‍රිවරුන් වෙනුවෙන් එදින සවස එස්. එම්.ගේ නිවෙසේ සාදයක් පැවැත්විණි. පළාත් සභා මැතිවරණය ලබා ගැනීම සඳහා රට තුළ මතයක් ගොඩනැංවීමට මූලික වී කටයුතු කරන්නැයි මහින්ද මෙහිදී එස්.එම්. රංජිත්ට උපදෙස් දුන්නේය.

ඒකාබද්ධය 16 ගැන කතාකරයි
දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පසුගිය අඟහරුවාදා උදෑසන පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක හතරේදී රැස්විණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම පිළිබඳව ඇතැම් මන්ත්‍රිවරුන් අදහස් දක්වන්නට පටන් ගත් මේ දිනවල දෙපාර්ශ්වය විවිධ රැස්වීම්වලදී දැඩි වාග් ප්‍රහාර එල්ල කරගනිමින් සිටී. ඒ ගැනද මෙහිදී අවධානය යොමුවීම විශේෂත්වයකි.

ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තියෙන තුනෙන් දෙකක බලය අහිමි කරන්න නම් අපිට මේ අය එකතු කරගන්න වෙනවා." දිනේෂ් කතාවට මුල පිරුවේය.

"අපිට 16 කණ්ඩායම එක්ක වැඩ කරන එක ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි අපිට මේ 16 කණ්ඩායමේ අවංකභාවය පැහැදිලි වෙන්න ඕනේ. ඒ අය අපේ පැත්තට එනවා නම් මහින්ද මහත්තයාගේ නායකත්වය පිළිඅරන් එන්න ඕනේ. එහෙම නැතුව අපේ පැත්තේ ඉඳගෙන මෛත්‍රි මහත්තයාගේ නායකත්වයෙන් වැඩ කරන්න ගියොත් ඒක ගැටලුවක් වෙනවා" ප්‍රසන්න දිනේෂ් දෙස බලමින් කීවේය. බොහෝ දෙනකු එම වාදයට මැදි වෙන්නට මෙන් කුතුහලයෙන් වටපිට බැලූහ.

"දෙගොල්ලන්ට එකතු වීම ගැටලුවක් නෙවෙයි. හැබැයි අපේ පැත්තට එනවා නම් ඒ අය මේ සටන හරියට හඳුනා ගන්න ඕනේ." ඩලස් කීවේ තරමක් අමුතු කතාවකි.

"අපිත් එක්ක එකතු වෙන්න ඕනේ නම් මෙයාලා 16 කණ්ඩායම් විදියට ඉන්නේ නැතුව අඩුගාණේ ඒකාබද්ධ විපක්ෂය එක්කවත් ඉන්න ඕනේ" රංජිත් සොයිසා පැවැසීය.

"නියෝජ්‍ය කතානායක ධුරයට සුදර්ශනී මන්ත්‍රිතුමිය පත් කරන්න හදපු වෙලාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ අපේ මන්ත්‍රිවරුන් කණ්ඩායමට නිදහසේ තීන්දුවක් ගන්න මහින්ද මහත්තයා ඉඩ දුන්නා. ඒ අනුවයි අපි ඡන්දෙ නොදී ඉන්න තීරණය කළේ. නමුත් මේ කාරණය ගැන වැරැදි අදහසක් තමයි එළියට ගිහින් තිබුණේ." නිමල් ලන්සා පැහැදිලි කළේය. ප්‍රසන්නද ඒ ගැන කතා කළේය.

"ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජිතයන් විදියට අපිට මිනිස්සුන්ගේ කතාවලටත් ඇහුම්කන් දෙන්න වෙනවා. එතැනදී ජනතාව දැරුව මතය තමයි අපිත් නියෝජනය කළේ" ලන්සා ඒ ගැන තවත් පැහැදිලි කරන්නට විය.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීම අඟහරුවාදා සවස පහට පැවැත්වුණේ විජේරාම පෙදෙසේ මහින්දගේ නිල නිවෙසේදීය.

"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම පක්ෂ නායක රැස්වීමට එන්න අහනවා" දිනේෂ් මහින්ද දෙස බලමින් කීවේය."එක ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම තමයි පොදුජන පෙරමුණ කියන්නේ. ඒ හින්දා දහයේ කණ්ඩායම, දහසයේ කණ්ඩායම කියලා නෙවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම විදියට ඒ අය ඒකාබද්ධ විපක්ෂයට එන්න ඕන. එහෙම බැරි නම් දිනේෂ් ඔයා ඒ අය කරත්ත රෝදෙට අරගන්න" මහින්ද කීවේ සිනාසෙමිනි.

"නෑ සර් මම කිව්වේ ඒ අයගේ ඉල්ලීම" දිනේෂ් නායකයන් දෙස බලමින් කීවේ මහින්දගේ කතාව ගැන සැවොම පුදුමයෙන් බලා සිටි නිසාය.

"ඒක තමයි එනවා නම් එන්න ඕනේ ඒ විදියට. එහෙම නැතුව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ඉන්නවා නම් අපිට ඒ ගැන සලකලා බලන්න පුළුවන්. මොකද අපිත් විපක්ෂය නියෝජනය කරන නිසා දිනේෂ් පොඩ්ඩක් ඒ අය එක්ක කතා කරලා බලන්න." මහින්ද කීවේය.

ඒ අනුව සිකුරාදා පස්වරුවේ දිනේෂ් 16 කණ්ඩායම හමුවී මේ ගැන සාකච්ඡා කළේය.

16 ගොඩ වැඩි වෙයි
අමාත්‍ය තනතුරුවලින් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු 16 දෙනා අතර සිටින නීතිඥවරු පිරිසෙන් සිවු දෙනකු එක්ව බ්‍රහස්පතින්දා පෙරවරුවේ නිදහස් නීතිඥ සහ උපදේශක කාර්යාලය නමින් නීති උපදේශන කාර්යාලයක් බම්බලපිටිය ඩිවෝෂ් ඇවනිව්හි නො.21 හිදී විවෘත කෙරිණි. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි. පෙරවරු 8.15ට මහින්ද එම ස්ථානයට පැමිණි අතර ඩිලාන් ගොස් බුලත් හුරුල්ලක්දී පිළිගත්තේය.

කොහොමද ඩිලාන්? මහින්ද අසද්දී හොඳයි සර්....ඉතින් අපි වැඩ පටන් ගත්තා යැයි ඩිලාන් කීවේය.

මේ අවස්ථාවට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, අනුරාධ ජයරත්න, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, මහින්දානන්ද අලුත්ගමගේ සහ හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා සහ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික පිරිසක්ද එක්ව සිටියහ.

මේක හොඳ වැඩක්. පාර්ලිමේන්තුවේ නූගත් අය ඉන්නවා කියලා ජනතාව අතර මතයක් තියෙනවා. ඒවා වෙනස් වෙන්න මේ වගේ වැඩ හොඳයි. මහින්ද කීවේය.
මම අවුරුදු 50ක් උසාවියේ වැඩ කරලා තියෙනවා. එහෙත් ජීවිත කාලේ දැකපු අඳුරුම යුගය තමයි අපි මේ පහු කරන්නේ. සරත් එන්. සිල්වා පිරිස දෙස බලමින් කීවේ හැඟීම්බරවය.

අනතුරුව පැමිණි සියලු දෙනා වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් සූදානම්ව තිබුණේ රසවත් කේක් සංග්‍රහයක්ද සමඟිනි. කේක් ගෙඩිය කැපුවේ නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයාය.

නිමල් කැපුවොත් තමයි හරියට කැපෙන්නේ. මහින්ද කීවේ සැවොම සිනහ ගන්වමිනි.
එහෙමයි සර්. අද හරි යයි වැඩේ. ලක්ෂ්මන් වසන්ත පෙරේරා කීවේය.

"ඉක්මනින්ම නිමල් ඇමතිතුමා මන්ත්‍රි වෙන්න කියලයි අපේ ප්‍රාර්ථනය" ඩිලාන් කීවේය.

"අගමැති වෙන්න බැරිවුණානෙ සර්" නිමල් සිරිපාල සැවොම සිනහ ගන්වමින් කීවේය.

සර්....දැන් 16 ගොඩ වැඩිවෙලා නේද? නිමල් ඇමැතිතුමත් ඉන්නවනේ ව්‍යාපාරිකයෙක් මහින්දගෙන් විමසීය.

ඉස්සරහට තව බලාගන්න පුළුවන් වෙයි මහින්ද රාජපක්ෂ මහතාද සිනහවෙමින් කීවේ නිමල් සිරිපාල අමාත්‍යවරයා දෙස බලමිනි.

දිනේෂ්ගෙන් 16 කණ්ඩායමට පැසසුම්
ශ්‍රී ලනිප 16 කණ්ඩායම සහ ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන අතර හමුවක් සිකුරාදා පස්වරුවේ පැවැත්විණි. තාරානාත්, සුමේධා සහ ටී.බී. හැරෙන්නට සෙසු සියලු දෙනා මීට එක්වූහ.

"ආණ්ඩුවේ 2/3ක නැති කරන්න ඔබතුමාලා විපක්ෂයට ආවා. ඒ ගැන අපි අගය කළ යුතුයි. අපි දැන් කරන්න ඕන එකතු වෙලා මේ ආණ්ඩුව පලවා හරින එක. එහෙම නැතිව පෞද්ගලික න්‍යාය පත්‍රවලට වැඩ කරන එක නෙවෙයි." දිනේෂ් කීවේය.

"දැන් අපට නමක් පටබැඳිලා 16 කණ්ඩායම කියල. දේශපාලනය දන්නෙ නැති ළාබාල මන්ත්‍රිවරු මනාප එක්ක දිස්ත්‍රික්කයේ ප්‍රශ්න එක්ක ගැටුම් හදාගෙන ඒ අය දන්නෙ නෑ මේ ගැන. අපි ආණ්ඩුවේ ඉඳගෙන අගමැතිතුමාට විරුද්ධව අත ඉස්සුවා. කරන්න බැරි දෙයක් අපි කළා" සුසිල් කීවේය.

"අපි දැන් කරන්න ඕන ජනාධිපතිවරයා එනකන් බලාගෙන ඉන්න එක නෙවෙයි. මේක ඇතුළෙ ඉඳගෙන මහින්දව අගමැති කරන එක. ඔබතුමාලගෙ ආශීර්වාදය තියෙනවා නම් ඒක කරන්න පුළුවන්" ඩිලාන් කීවේය.

"ඒක බොහොම හොඳයි. 47ක් හිටපු කට්ටියගෙ කෙනෙක් ඇමැති කළා නම් 69ක් ඉන්න තැන කෙනෙක් අගමැති කරන්න ජනාධිපතිතුමාට පුළුවන් වෙන්න ඕන. ඒ තැනට වැඩකරන්න පුළුවන්නම් හොඳයි" දිනේෂ් කීවේය.
ගෝඨාගේ උපන් දිනය වෙනුවෙන් දානයක්
හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් මිරිහානේ පිහිටි ඔහුගේ නිවෙසේ දානමය පින්කමක් පැවැත්විණි. මේ අවස්ථාවට හිටපු ජනපති මහින්ද, හිටපු කථානායක චමල්, හිටපු ඇමැති බැසිල් ඇතුළු රාජපක්‍ෂ පවුලේ ඥාතීන් මෙන්ම ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරුන් වන දිනේෂ්, විමල්, පවිත්‍රා, සී.බී., රෝහිත, පියංකර, රංජිත් සොයිසා ඇතුළු පිරිසක්ද ශ්‍රී ල.නි.ප. 16 කණ්ඩායමේ හිටපු ඇමැතිවරු වන ජෝන්, දයාසිරි සහ තිලංගද එක්ව සිටියහ.

දයාසිරි, තිලංග සහ ජෝන් දානය අවසන් වී ගෝඨා සමඟ දීර්ඝ වෙලාවක් සතුටු සාමීචියේ යෙදී සිටීමද මෙහිදී කැපී පෙනිණි.

දානමය පින්කමේ විශේෂ පැවිදි අනුශාසනා කිහිපයක් සිදුකළ අතර මේ වන විට එම අනුශාසනා ගැන රටේ මහත් ආන්දෝලනයක් ඇතිකළ අනුශාසනා බවට පත්ව තිබේ.

"මහින්ද ශේ‍ර්ෂ්ඨ යුතුකමක් කළා. එතුමා පිටිපස්සෙන් හිටිය ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විශාල වැඩ කොටසක් යුද්ධය අවසන් කරන්න කළා. දැන් මහින්ද මහත්තය ඉස්සරහට එන්නෙ නැත්නම් පදවියට ඔබතුමා මීළඟ සුදුස්සා කියල ජනතාව අතර මතයක් තියෙනවා. ජනතාව දක්වන ආකල්පය කොච්චරද කියල පොහොට්ටුවට රටේ ලැබුණු ප්‍රසාදයෙන් පේනවා. ඔයින් පේන්නේ රටට ඔබතුමාගේ සහ පවුලේ නායකත්වය අවශ්‍යයි කියන එක. ඒ සඳහා අපේ ප්‍රාර්ථනා ආශීර්වාදය තිබෙනවා." යැයි පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියෝ පැවසූහ.

"ඔබතුමා ගැන කතා කරනකොට ඔබතුමාව සමහරු හිට්ලර් කෙනකුටත් සමාන කළා. ඒ නිසා හිට්ලර් කෙනෙක් හරි වෙලා මේ රට හදන්න කියලා ඉල්ලනවා." පූජ්‍ය වේඬරුවේ උපාලි හිමියෝ පැවසූහ. මහ සංඝරත්නය දානය වැළඳීමෙන් පසු රෝහිත සහ පවිත්‍රා ආහාර ගැනීමට සැරසෙනු දුටු තිලංග විහිළු කළේ "අපිට ඉතින් යන්න වෙන්නේ මේ අයට පස්සෙන්නේ." කියමිනි, ඔව් අපි මේකේ පෙරගමන්කරුවෝ. ඔයාලා ඉතින් පසුගමන්කරුවෝ විදියට පස්සෙන් තමයි එන්න ඕනේ." රෝහිත ද තිලංගගේ දේශපාලන කතාවට එවැනිම පිළිතුරක් දුන්නේය.

උපන් දිනය වෙනුවෙන් කොළඹ නගරය පුරා ගෝඨාට සුබ පතමින් පෝස්ටරයක් අලවා තිබිණි. එහි ගෝඨාගේ විශාල රූපයක් වූ අතර වාසුදේවගේ රූපයක්ද විය.
විමල් දානමය පින්කමේදී මේ ගැන වාසුගෙන් විමසීය.

"අයියෝ - වාසු අපටනම් මොකවත් කරගන්න බැරි වුණා. ඔයානම් වැඩේ හරියට කෙරුවා." විමල් කීවේ කාගේත් අවධානය ඒ දෙසට නතු කරගනිමිනි.

වාසු නළල රැලි කර ඒ දෙස බැලුවා මිස වෙන කිසිවක් නොකීමට වගබලා ගත්තේය. දානමය පින්කම අවසන් වී පූජ්‍ය වේඬරුවේ උපාලි හිමියන්ගේ අනුශාසනාව මාධ්‍ය මඟින් විකාශය වීමත් සමඟ දේශපාලනඥයන් බොහෝ දෙනකු ඒ ගැන විශේෂ අවධානයක් යොමු විය.

ජනපති මෛත්‍රි නිකවැරටිය ප්‍රදේශයේ පැවැති "වෙහෙරපුර" නිවාස ව්‍යාපෘතිය විවෘත කිරීමෙන් පසු පැවැති උත්සවයේදී මේ ගැන අදහස් දැක්වීය.
මේ ගැන 'මව්බිම' පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන්ගෙන් විමසීමක් කළේය.

"මම එහිදී ඉතා පැහැදිලිව කිව්වේ ඔබතුමාගේ විරුද්ධවාදීන් ඔබතුමාට හිට්ලර් කියල තමයි කතා කළේ. එහෙම දේවල් කිව්වට කමක් නෑ. එහෙම වෙලා හරි මේ රට හදන්න කියලයි මම කිව්වේ' යැයි උන්වහන්සේ පැවසූහ.

ඥානසාර හිමිට ජම්පර් ඇන්දවීම

බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සුවදුක් බැලීම සඳහා මේ දිනවල විවිධ පාර්ශ්වයන් වැලිකඩ බන්ධනාගාරයට යමින් සිටිති. එහෙත් උන්වහන්සේ හමුවීමට එන බොහෝ පිරිස් හමුවීම උන්වහන්සේ විසින් ප්‍රතික්ෂේප කිරීමද විශේෂත්වයකි.

ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරයේ ආර් වාට්ටුවේ සිටින අතර උන්වහන්සේගේ සුවදුක් විමසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන දයාසිරි ජයසේකර, උදය ගම්මන්පිල සහ ජයන්ත සමරවීර සහ අමාත්‍ය දුමින්ද දිසානායකද ගියහ. ඒ අතරින් ඥානසාර හිමියන් හමුවීම සඳහා කැමැත්ත පළකර ඇත්තේ ගම්මන්පිල මන්ත්‍රිවරයා සහ දුමින්ද දිසානායක ඇමැතිවරයාට පමණි. දුමින්ද ඇමැතිවරයා පසුගිය බදාදා පෙරවරුවේ උන්වහන්සේගේ සුවදුක් බැලීම සහා ගිය අතර විනාඩි 45කට ආසන්න කාලයක් විශේෂ සාකච්ඡාවක නිරත වී ඇත.

මේ අතර බන්ධනාගාරයේදී උන්වහන්සේට ජම්පරය ඇන්දවීමට එරෙහිව විවිධ පාර්ශ්වයන් මේ දිනවල විවිධ ප්‍රකාශ නිකුත් කරති.

තලතා අතුකෝරල අධිකරණ ඇමැතිවරිය ඒ සියලු දෙනාට පිළිතුරු දී තිබේ. ඇය සඳහන් කර ඇත්තේ බන්ධනාගාර පනතේ නීතියට අනුව සෑම පුරවැසියකුටම එක සමානව සලකන බවය. එය වෙනස් කළ නොහැකි බවත් බුද්ධ ශාසනයේ ඇති ඇතැම් නීති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලපැවැත්වෙන නීතියට අනුව වලංගු නොවන බවත්ය.
"අධිකරණය මඟින් දෙනු ලබන තීන්දුවක් සිර භාරයට පත්වන ඕනෑම කෙනකුට බලපාන නීතිය බන්ධනාගාර පනතේ පැහැදිලිව සඳහන්ව ඇත. ඒ අනුව මා වගකීම දරන අධිකරණ අමාත්‍යාංශය යටතේ පවතින බන්ධනාගාර දෙපාර්තමේන්තුව ක්‍රියා කළ යුත්තේ බන්ධනාගාර පනතට අනුකූලවය. බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා එම පනත ක්‍රියාත්මක කිරීමට රාජකාරි මට්ටමෙන් වගකිව යුතු වේ. බෞද්ධ ශාසනයේ චිරස්ථිතිය ප්‍රාර්ථනා කරන බෞද්ධ ප්‍රතිපත්ති තුළ ජීවත් වෙමින් ජීවත් වීමේ අගය විශ්වාස කරන මොනම පදනමකින් හෝ එහි පැවැත්මට හෝ බලපෑමක් කිරීමට මොනම ආකාරයකින්වත් කටයුතු කිරීමට නොහැකි" යැයි තලතා අතුකෝරල ඇමැතිවරිය ප්‍රකාශ කළාය. ඥානසාර හිමියන්ට සිකුරාදා පස්වරුවේ අධිකරණයෙන් ඇප ලැබිණි. ඒ විදෙස් ගමන් තහනමක්ද සමගය.

ග්‍රාම ශක්ති රැකවරණය

පසුගිය දිනක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ඩබ්ලියු. ඩී. අයිලප්පෙරුම ඔහුගේ ජේ‍යෂ්ඨ උපදේශකවරයාගෙන් සිය පියාගේ කාලයේ තොරතුරු හා රසවත් සිද්ධීන් විමසමින් සිටියේය. අයිලප්පෙරුම මහතා යනු ප්‍රේමදාස අගමැතිවරයා සහ ජනාධිපතිවරයා යටතේ ඉහළම තනතුරු දැරූ දක්ෂ, පක්ෂ හපන්කම් පෙන්වූ නිලධාරියෙකි. ප්‍රේමදාස ජනාධිපතිතුමා උදා ගම්මාන හදන ගමන් මිනිස්සුත් හැදුවා. නරකද අපිත් ඒ වගේ වැඩක් කළොත්? අයිලප්පෙරුම අසද්දී සජිත් කීවේ නියමයි! ඉතින් අපි ඒකට හදමුකෝ හොඳ කැබිනට් පේපර් එකක් කියාය. ඒ අනුව අයිලප්පෙරුම මහතා ඒ වැඩේ භාර ගත්තේය. මෙවර කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඒ කැබිනට් පත්‍රිකාවට ඒකමතික අනුමැතිය ලැබුණේය. ඒ අනුව වසර 2020දී ඉදිකර අවසන් වීමට නියමිත උදා ගම්මාන 2,500ම ග්‍රාම ශක්ති ගම්මාන ලෙස වැඩිදියුණු කෙරෙන අතර ඒවායේ ජීවත් වන පුද්ගලයන්ගේ ජීවනෝපාය සංවර්ධනයට හා එම ගම්මානවල යටිතල පහසුකම් වර්ධනයට පියවර ගැනේ. සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම අවසානයේදී සජිත් 2018 ජාතික නිවාස දින කොඩිය ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට පැලඳුවේ ඔවුන් දෙදෙනාගේ සුබපැතුම් සහ ආශීර්වාද මැදය. සර් ලබන අවුරුද්දේ දෙසැම්බර් අවසන් වෙන්න කලින් ගම්මාන 2,500 නම් හදනවායි සජිත් කියද්දී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කීවේ බොහොම හොඳයි බොහොම හොඳයි කියාය.

තලතා වැලිකඩදී එල්ලුම්ගහ මුල් ඇදලා දැයි බලයි

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාල සිකුරාදා පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාරයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වූවාය. පස්වරු 5.30 දක්වාම ඇමැතිවරිය එහි විවිධ ස්ථානවලට ගොස් නිරීක්‍ෂණය කළාය. සියලුම සිරකරුවන්ගේ කුටිවලට ගොස් ආගිය තොරතුරු කතාබහ කළාය.

එහිදී එල්ලුම් ගහ නිරීක්‍ෂණය කළ ඇමැතිවරිය එය ක්‍රියාත්මක කර බැලීමද විශේෂත්වයකි.

සිරගෙදර මුළුතැන්ගෙය නිරීක්‍ෂණය කළ ඇමැතිවරිය දිවා ආහාරය බන්ධනාගාරයේ සිට ගැනීම විශේෂත්වයකි.

දිවා ආහාරයෙන් පසුව කාන්තා සිරමැදිරි නිරීක්‍ෂණය කළ ඇය රෝහලද නැරඹීමට ගියාය.

සිර කුටිවල සිරකරුවන් සමඟ කතාබහ කළ ඇමැතිවරිය ඔවුන්ගේ ගම්පළාත් කෙහේදැයි විමසුවාය. බොහෝ දෙනෙක් රත්නපුරයේ යැයි කියූහ.

"බලන් ගියාම බාගෙට බාගයක් රත්නපුරේනේ" ඇමැතිවරිය සිනාසෙමින් කීවාය.

රුචිර දිලාන් මධුසංඛ

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon