හිට්ලර් දුටු බුදු සිතුවම

  👤  5167 readers have read this article !
2018-06-24

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින සකලවිධ දුක්ඛ දෝමනස්සයන් දූරීභූත කොට දේශයට සෞභාග්‍යය ළඟා කර ගැනීම සඳහා අනුදැන යුතු පිළිවෙත මේ යැයි බුද්ධ පුත්‍රයාණන් වහන්සේනමක විසින් නොබෝදා දේශනා කරන්නට යෙදිණි. අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වේඬරුවේ උපාලි හිමියන් යෝජනා කරන්නේ ලංකාවට ජර්මානු නාසි අඥාදායක හිට්ලර් පන්නයේ නායකත්වයක් හා මිලිටරි විසඳුමක් අවශ්‍ය බවය.

ලංකාව වැනි අර්බුද රැසක ගිලී සිටින රටකට ඉන් මිදෙන මඟ ලෙස ඇඩලොප් හිට්ලර් සිහිගන්වන විට සියලු ශිෂ්ටසම්පන්න මිනිසුන් භීතියට පත්වන බව නොකිවමනාය. ඔවුන් වඩාත් තැති ගන්නේ එය සංඝ පීතෘවරයකුගේ මුවින් පිටවන මාර්ගෝපදේශනාවක් වන නිසාය. උන්වහන්සේ දක්වන මඟ ඔස්සේ ගමන් කිරීමෙන් සමාජ සුබසිද්ධිය හා යහපත උදා වන්නේ යැයි සමාජය විශ්වාස කරන්නට ඉඩ තිබෙන නිසාය.

විසිවැනි සියවසේ පෘථිවිය ලෙයින් සහ කඳුළින් සෝදාහළ නාසි ආඥාදායක හිට්ලර් සමනලයකු නොවේ. හිට්ලර් ඇති කළ දෙවැනි ලෝක යුද්ධයේදී මරණයට පත් ජනගහනය හාර කෝටියකි. එයින් දෙකෝටි දහතුන් ලක්‍ෂයක්ම රුසියානුවෝය. ජර්මනියට අහිමි වූ ජීවිත සංඛ්‍යාව හැටඅට ලක්‍ෂ පනස් දහසකි. පෝලන්තයේ එවකට ජනගහනය 6,125,000ක් වූ අතර ජර්මානු ආක්‍රමණයෙන් පසු එරට ඉතිරි වූයේ 120,000ක් පමණි. හිට්ලර්ගේ උමතු සිතිවිල්ලට අනුව ඇති වූ යුද්ධ භීෂණයෙන් යුදෙව් ජාතිකයන් 5,662,000ක් මරණයට පත් කළ බව ගණනය කර තිබේ. හිට්ලර් විසින් ඇති කළ මේ මහා ශෝකාන්තය ලෝක ශිෂ්ටාචාරය පවතින තාක් කතාබහට ලක්වන මාතෘකාවක් වන බවත් එය සාමකාමී හදවත් ඇති මිනිසුන්ට නින්දේදී දුටු බියකරු සිහිනයක් වනු ඇති බවත් සද්ජනයෝ විශ්වාස කළහ. හිට්ලර් ජර්මනිය මත පමණක් නොව මුළු යුරෝපය මතම ඇති කළ තුවාල තවමත් සුව වී නැති බව හිට්ලර් නිර්දේශ කරන්නන් දත යුතුය.

මතවාද වූ කලී ද්‍රව්‍යමය බලවේගයන්ය. යහපත් මතවාද යහපත උදා කරන්නේය. අයහපත් මතවාද විනාශය උරුම කරන්නේය. නාසිවාදයෙන් පෝෂණය වූ හිට්ලර්ගේ මිනීමරු ගෙස්ටාපෝ හමුදාව ගැන විශිෂ්ට ග්‍රන්ථයක් සම්පාදනය කළ ප්‍රංශ ලේඛකයකු සඳහන් කර තිබෙන්නේ 'නාසි වාදය, කෘෘරත්වය, අපරාධයට ඇති කැමැත්ත, බලය පිළිබඳව ඇති කෑදරකම, රුදුරු ජාතිවාදය වැනි සියල්ලේ සුසංයෝගයකි. එයට ජීව විද්‍යාත්මක හා මනෝවිද්‍යාත්මක පදනමක් තිබේ. ඒවා කුළුගැන්වූ විට ඉන් අත්මිදීම උගහට වේ' යනුවෙනි. ලංකාවට හිට්ලර් පන්නයේ මිලිටරි ආණ්ඩුවක් අවශ්‍ය යැයි යෝජනා කරන්නන් හට සිහිපත් කළ යුතු විශේෂ සිද්ධියක් තිබේ.

''එක් අවස්ථාවක හිට්ලර් තම මිතුරකුත් සමඟ චිත්‍ර ප්‍රදර්ශනයක් බලන්නට ගියේය. හිට්ලර් එහි ප්‍රදර්ශනාගාරයේ චිත්‍ර නරඹමින් ඉදිරියට යන්නට විය. හදිසියේම ඔහු දුටු එක් විශේෂ චිත්‍රයක් අසල ඔහු නැවතිණි. ඒ දෙස බොහෝ වේලාවක් බලා සිටියේය. අනතුරුව මිතුරා දෙසට හැරුණු ඔහු සෙමෙන් මෙසේ මිමිනුවේය.

''මේ සිතුවමේ සිටින තැනැත්තා මට මුලින්ම හමු වුණා නම් මම වෙනස්ම වෙනස් කෙනෙක් වෙන්න තිබුණා.'' හිට්ලර් බලා සිටි සිතුවමේ තිබුණේ බුදුන් වහන්සේගේ අනනූභූතික උදාර රූපකායයි. හිට්ලර් එය දකින විටත් වැරැදි මාර්ගයේ බොහෝදුර ගමන්කර තිබිණි. අඥාදායකත්වය විසින්, ඒකාධිපතිත්වය විසින් ගොඩනැඟූ යහපත් දේශයක් මිහිපිට නැත. එය උරුම කරන්නේ ලේ සහ කඳුළුය. මිනිසුන් පාලනය කරන්නේ ලෙයින් සහ යකඩයෙනි. ඒකාධිපතියා විෂඝෝර සර්පයෙකි. ප්‍රගතිශීලී ශිෂ්ටසම්පන්න මිනිසුන් විසින් ඒකාධිපතියත් ඉතිහාසයේ වේදිකාවෙන් ඉවතට ඇදදමනු ලැබුවේ පසුගිය සියවසේදීය. මේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා ලෝක ජනතාව පෙළ ගැසෙන යුගයයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon