අම්බාල්කුලම් කොටියා

  👤  3464 readers have read this article !
2018-06-26

'උතුරේ කොටියෙක් මරලා' යැයි මීට අවුරුදු නවයකට දහයකට පෙර අයකු පැවැසුවේ නම් එකවරම සිහියට නැඟෙන්නේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකි. අන්තවාදියකුට නම් දෙමළ ත්‍රස්තවාදියකු සිහිවනු ඇත. එහෙත් කිලිනොච්චියේ අම්බාල්කුලම්වල කොටියකු මරා දැමීමේ පුවත කන වැකුණු පසු කවුරු කවුරුත් දුක් වූයේ 'තිරිසනා' ගැනය. ත්‍රස්තවාදියකුව කිසිවකුගේ මතකයට නැඟුණේ නැත.

ගොදුරු කරගන්න කුකුළන් සොයා ගම් වැදුණු 'කොටියා' කොටුකර මරා දැමීමට අම්බාල්කුලම් වැසියන් පියවර ගන්නේ අනතුරක් වේ යැයි බියෙන් විය හැකිය. දකුණේ ගම්වදින අලි-ඇතුන් ගම්වැසියන් විසින් ඇතැම් අවස්ථාවල වෙඩි තබා, හක්කපටස් දී මරා දමනු ලැබේ. එහෙත් අලි-ඇතුන් දඩයම් කර විනෝද වූ සුද්දන් මෙන් කිසිවකු මරණය විනෝදයක් කරගත් බවක් මෙතෙක් අසන්නට ලැබී නැත.

අලි - ඇතුන්, කොටින්, මුවන් තබා සර්පයකු හෝ මරා දැමීමට අයිතියක් කිසිවකුට නැත. මේ බිම අපේ මෙන්ම උන්ගේය.
ඊනියා සංවර්ධනය නිසා නොනිමි අලි-මිනිස් ගැටුමක් දකුණේ පමණක් නොව උතුරේද ඇතිවී තිබේ. කොටියකු, වලසකු ගමකට කඩාවදින්නේ කලාතුරකිනි. එවැනි අවස්ථාවල උන්ව නිර්වින්දනය කර හෝ නොකර අල්ලාගෙන සුදුසු ස්ථානයකට මුදාහැරීමට වනජීවී නිලධාරීහු සිටිති. ආරක්‍ෂාවට පොලිසියද සහාය කර ගැනීමට ඉඩ ඇත.

අම්බාල්කුලම් කොටියාගේ සිද්ධියේදී ගම්වැසියන් ඉතා පහත් අන්දමින් හැසිරී ඇත. වනජීවී නිලධාරීන් හා පොලිසියද රාජකාරිය අකුරට ඉටුකර නැති බව පෙනෙන්නට තිබේ. කොටියාගේ හපාකෑම්වලින් එකොළොස්දෙනකු තුවාල ලැබූ බව පැවැසුවද ඉන් බහුතරයකට තුවාල සිදුවී ඇත්තේ 'කොටියා' ඇල්ලීමට යෑමේදීය.

වනජීවී නිලධාරීන්ටද බාධා කරමින් ගම්වැසියන් හැසිරී ඇති ආකාරය ඉතා පහත්ය. කොටියාට කෘෘර ලෙස පහරදී මරා දමා 'සිරුර' සමඟ විනෝද වීම ගෝත්‍රික ලක්‍ෂණ විදහා දැක්වීමකි.

'කොටියා' මරා දැමීමට සම්බන්ධ වූවන්ට අනිවාර්යයෙන් නීතියෙන් දඬුවම් කළ යුතුය. දැනටමත් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු සැකකරුවන් සැඟව සිටින බව පොලිසිය පවසා තිබිණි. නීතිය කඩිනමින් ක්‍රියාත්මක වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් රක්‍ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

කොටියා' මරා දැමූ පුවත සැලවූ සැණින් දකුණේ අන්තවාදීන් කෑමොර දුන්නේ දකුණේ එක නීතියකුත්, උතුරට තව නීතියකුත් ක්‍රියාත්මක වන නිසා සැකකරුවන් අත්අඩංගුවට නොගන්නා බව කියමිනි. දකුණේදී උකුස්සකු හම ගසා මැරූ 'පිරිස' අත්අඩංගුවට ගත්තේ නම් උතුරේදී 'කොටියා' මරා දැමූ පිරිස අත්අඩංගුවට නොගන්නේ මන්දැයි ප්‍රශ්න කළ මේ පිරිසගේ වුවමනාව වූයේ 'ජාතිවාදය' ඇවිස්සීම මිස කොටියා මරාදැමීමට දඬුවම් දීම නොවේ. ඊනියා සත්ත්ව කරුණාව යට සැඟව තිබුණේ ජාතිවාදී විසය.

කිලිනොච්චියේ දිස්ත්‍රික් මන්ත්‍රි එස්. ශ්‍රී ධරන්ට අනුව පොලිසිය නිවෙස්වලට පැමිණ සැකකාර තරුණයන් සොයා කරදර කරමින් සිටී. වගකිව යුතු ජනතා නියෝජිතයකු ලෙස මන්ත්‍රිවරයාගේ මේ ප්‍රකාශ කනගාටුදායකය.

ඔහු කළ යුත්තේ පොලිසියට සහාය පළ කර සැකකරුවන්ව නීතියේ රැහැනට හසුකර දීමය: යම් අසාධාරණයක් වේ නම් ඒ පිළිබඳ බලධාරීන් දැනුවත් කිරීමය. මින් එක් දෙයක් පැහැදිලිය. මේ හැසිරීම දකුණේ අන්තවාදීන්ට උඩගෙඩි දීමකි. අන්තවාදීහු එකිනෙකාගෙන් පෝෂණය වෙති. අවසානයේ දුක් විඳීමට සිදුවන්නෙත් සාමාන්‍ය ජනතාවටය.

උතුරේ අම්බාල්කුලම් කොටියා මරා සිරුර සමඟ විනෝද වීම ගැන දකුණේ සමහරු කම්පා වෙති. දෙස් දෙවොල් තබති. එහෙත් තිරිසනුන් මෙන් මෙලෙස විනෝද වීම නූරි වත්තේදීත්, තංගල්ලේ හෝටලයේදීත්, නාරාහේන්පිට රෝහලක හෙදියගේ සිද්ධියේදීත්, උතුරේදී දූෂණයට ලක්වූ පාසල් යුවතියගේ සිද්ධියේදීත් රටටම දැකගත හැකි විය. රටම තිරිසන් විනෝදයේ ගිලී යමින් තිබියදී අම්බාල්කුලම් 'කොටියා'ගේ නැට්ටේ එල්ලී දැඟලීමෙන් වන්නේ රට මුහුණදී සිටින 'ඇත්ත' ප්‍රශ්න යට යෑමය. ඇතැමුන්ට අවශ්‍යද 'ඇත්ත' වෙනුවට 'නැත්ත' ඉස්මතු කිරීමය. මැරුණු කොටියෙක්ගේ නැට්ටේ හරි එල්ලෙන්නේ ඒ නිසාය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon