පිනුම් ගසන පාතාලයෝ

  👤  2896 readers have read this article !
2018-06-27

දකුණේ පාතාල සාමාජිකයකු පොලිස් විශේෂ කාර්ය බළකාය (ඉඊජ්) එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මරු දැක ඇත. පොලිසිය පවසන ආකාරයට දෙපාර්ශ්වය අතර ඇතිවූ වෙඩි හුවමාරුවකදී පාතාල සාමාජිකයා වෙඩි වැදී මියගොස් තිබේ. හඳුනාගෙන ඇති ආකාරයට ප්‍රකට පාතාල නායකයකු වූ මාකඳුරේ මධුෂ්ගේ දකුණු පළාත් ප්‍රධානියා ලෙස මේ පාතාල සාමාජිකයා කටයුතු කර ඇත.

පසුගිය සතියේ වාර්තා වූ මාතර රන් කොල්ලයේ සැකකරුවකු වූ රටේ නමගිය අපරාධකරුවකු ලෙස හඳුනාගෙන සිටි පුද්ගලයෙක් පොලිස් වෙඩිපහරින් මිය ගියේය. සඟවා තිබූ ඇඳුම් පාර්සලයක් පෙන්වීමට ගොස් පොලිස් නිලධාරීන්ට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කිරීමේදී පෙරළා වෙඩි තැබූ බව පොලිසිය ප්‍රකාශ කර තිබිණි.

පොලිසිය කියන මේ කතා කිසිසේත් විශ්වාස කළ නොහැකිය. සැකකරුවන් අවි ආයුධ, ඇඳුම් පෙන්වීමට රැගෙන යෑමේදී මෙලෙස ඝාතනය වීම මීට අවුරුදු තුන හතරකට පෙර දිගින් දිගටම සිදු වූවා අපට අමතක නැත. ඇමැති මංගල සමරවීර ප්‍රකාශ කර තිබූ පරිදි අපරාධ සැකකරුවන්ට නීතියෙන් මිස පොලිසියෙන් දඬුවම් දීම යුක්ති යුක්ත නොවේ. මේ සෙල්ලම කිසිසේත් අනුමත කළ නොහැකිය. එහෙත් මේ ආණ්ඩුව යටතේද යළි පොලිසිය අපරාධ සැකකරුවන් සමඟ සෙල්ලම් කිරීම අරඹා ඇත. දකුණේ දෙවැනි මරණයද එවැන්නක් බව බැලූ බැල්මට පෙනේ.

මාතර රන් කොල්ලයට මැදිවී රාජකාරිය කිරීමට ගිය පොලිස් නිලධාරියෙක් මරු දුටුවේය. කුඩා දරු දෙදෙනකුගේ පියකු වූ පොලිස් නිලධාරියාගේ බිරිය වැලපෙමින් කියා තිබුණේ පොලිස් වීරයෙක් නොව තමන්ට සැමියකු මෙන්ම තමන්ගේ දරු දෙදෙනාට පියකු අවශ්‍ය බවය. මෙලෙස පොලිස් නිලධාරීන් හා සිවිල් වැසියන් පාතාල ගැටුම්වලට මැදිවී මිය ගිය අවස්ථා ඕනෑ තරම්ය. එහෙත් මෙලෙස අවාසනාවන්ත ලෙස මරණ සිදුවීමට ඉඩදිය යුතු නැත. අපරාධකරුවන් මරා දැමීමෙන් හෝ සිරගත කිරීමෙන් 'ප්‍රශ්නය' විසඳෙන්නේද නැත. භද්‍ර යෞවනයේ පසුවන තරුණයන් පාතාලයන් බවට පත්වීමේ සමාජ ආර්ථික කාරණාවලට අප අවධානය යොමුකළ යුතුය. අපරාධ වැඩිවීමේ ප්‍රවණතාව ගැන කතා කිරීම අවශ්‍යය.

80 දශකයේ මැද භාගයේ සිට 'පාතාලය' ගැන වැඩි වැඩියෙන් කියැවිණි. කොළඹට සීමාවී තිබූ පාතාලය තදාසන්න නගරවලට පැතිර ගිය අතර මේ වන විට උතුර - දකුණ භේදයකින් තොරව රටේම 'පාතාලය' ක්‍රියාත්මක වෙමින් පවතී. එය එක් ආණ්ඩුවක ප්‍රශ්නයකට වඩා පාලකයන්ගේ ප්‍රශ්නයකි. මත්ද්‍රව්‍ය ජාවාරම හා පාතාලය අතර ඇත්තේ ඥාති සම්බන්ධයකි. මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය නොකර 'පාතාලය' විනාශ කිරීමට සිතීම විහිළුවකි. පාතාලයට ඇති දේශපාලන සබඳතා හෙළිකර නොගෙන මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කළ නොහැකිය. උගුරට හොරා බේත් කා වැඩක් නැත. මේ 'ක්‍රමය' තුළ 'පාතාලය' ශක්තිමත් වී 'අපරාධ' වර්ධනය වීම යථාර්ථයකි. ඉන් රට ගලවා ගැනීමට නම් 'ක්‍රමය' කණපිට හැරවිය යුතුය. ප්‍රශ්නය වන්නේ ඊට නායකත්වය දීමට සිටින්නේ කවුද? යන්නය. කිසිදු නායකයකුට 'ක්‍රමය' වෙනස් කිරීමට අවශ්‍යතාවක් ඇති බව නොපෙනේ. මේ ආණ්ඩුව බලයට පැමිණ අවුරුදු හතරකට ආසන්න වුවද අපරාධ සමඟ අත්වැල් බැඳගෙන පාතාලය පිනුම් ගසමින් සිටින්නේ එනිසාය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon