යුනිකෝලා සහ සුපර්මෑන්ලා

  👤  3079 readers have read this article !
2018-06-28

දුක්මුසු මරණ පහක් ගැන ඉකුත් දිනවල මාධ්‍ය වාර්තා පළවිය. ඉන් එක් මරණයක් කුඩා දැරියකගේය. ඇය අපයෝජනය කර ගෙල සිරකර මරා ළිඳකට දමා තිබී හමුවී ඇත. තරුණයන් දෙදෙනකු වැවක ගිලී මරු දැක තිබුණේ පොසොන් දන්සලක බත් බෙදීමට නෙලුම් කොළ කැඩීමට ගොස් සිටියදීය. ගෙවත්තේ අනාරක්‍ෂිත ළිඳකට වැටී සිඟිති දියණියක මියගොස් තිබිණි. එකොළොස් හැවිරිදි දරුවකු ජීවිතක්‍ෂයට පත්ව තිබුණේ මදුරු දැලක් එල්ලා තිබූ කොක්කක ගෙල සිරවීමෙනි.

අපයෝජනය කර දරුවන් මරා දැමීම, ගංගා, ඇළ, ‍ෙදාළ, වැව්වල හෝ මුහුදේ ගිලී මියයෑම, අනාරක්‍ෂිත ළිං, පොකුණු, දිය පිරුණු වළවල්, දිය පිරවූ ටැංකි, බැරල්වලට වැටී කුඩා දරුවන් මියයෑම මෙරට සුලබව සිදුවෙයි. කෙතරම් අවධානය යොමු කළද අවවාද, උපදෙස් ලබා දුන්නද මේ අතරින් වළක්වා ගත හැකි 'මරණ' පවා අඩුවන බවක් පෙනෙන්නට නැත. දරුවන් අපයෝජනය කිරීම සමාජ ප්‍රශ්නයකි. එය වැඩිහිටියන්ගේ අශිෂ්ටකම අසහනය මත සිදුවේ. ජලය ආශි්‍රතව අනාරක්‍ෂිත බව හා නොසැලකිල්ල නිසා සිදුවන මරණ වළක්වා ගත හැකිය. එහෙත් වැඩිහිටියන් අනුකරණය කිරීමට යෑම නිසා සිදුවන මරණද වළක්වා ගැනීම දුෂ්කරය. ඊට හේතුව දරුවන් අන්තරායාදායක කටයුතුවල යෙදෙන්නේ වැඩිහිටියන්ට සොරෙන් වීමය.

මදුරු දැලේ කොක්කක ගෙල සිරවීමෙන් මරු දුටු දරුවාගේ පියා ලබාදී ඇති සාක්‍ෂියකට අනුව රූපවාහිනි නරඹා එහි ඇති 'ත්‍රාසජනක දර්ශන අනුකරණය කිරීමේ පුරුද්දක් දරුවාට තිබී ඇත. මෙවැනි වයස් කාණ්ඩවල දරුවෝ අනුකරණය ප්‍රිය කරති. ඔවුන්ගේ ලෝකයේ වීරයන් හා සමානව හැසිරීමට යෑමේදී මෙවැනි අනතුරු සිදුවූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. අවධානයට ගත යුතු කාරණය වන්නේ 'රූපවාහිනිය' හා 'වීඩියෝ ගේම්' ළමා පරපුරට පමණක් නොව තරුණ පරපුරට පවා ඉතා අහිතකර ලෙස බලපා ඇති බවය.

දරුවන් හා තරුණයන් මෙන්ම වැඩිහිටි පරපුරද රූපවාහිනියේ හා ජංගම දුරකථනයේ වහලුන් වෙමින් සිටින බව පෙනේ. ජීවිත සටනේ නිරතව සිටින මවුපියෝ දරුවන්ගේ කරදරයෙන් බේරීමට ඔවුන්ව රූපවාහිනියට හෝ ජංගම දුරකථනයට යොමු කරති. ඉතා කුඩා වයසේ දරුවන්ට පවා ජංගම දුරකථනය අතට දෙන මවුපියෝ සිටිති.

රූපවාහිනියෙන් නරක් වූ ළමා මනස ජංගම දුරකථනය තුළින් තවදුරටත් නරක අතට හැරෙමින් පවතී. නිවෙසේදී ලැබෙන විවේකයේදී සැලකිය යුතු නිවෙස් සංඛ්‍යාවක වැඩිහිටියන් ගත කරන්නේ රූපවාහිනිය ඉදිරිපිටය. ඒ වේලාවට ප්‍රචාරය වන ඕනෑම බහුබූතයක් තෝරා ගැනීමකින් තොරව නැරැඹීම ඔවුන්ගේ සිරිතය. වැඩිහිටියන් සමඟ අසුන්ගෙන දරුවන්ද කරන්නේ රූපවාහිනි තිරය දෙස දෑස් දල්වා බලා සිටීමය.

චිත්‍රකතා අතිශය ජයප්‍රිය වී පැවැති 70 හා 80 දශකයේ බොහෝ දෙනකු දෝෂාරෝපණය කළේ 'ළමා හා තරුණ මනස චිත්‍රකතාවලින් දුෂ්‍ය කරන බවය. ටෝගා, යුනිකෝ. වැනි වීර චරිත දරුවන්ව කාඩ්බෝඩ් වීරයන් බවට පත් කරන්නේයැයි ඔවුහු මැසිවිලි නැඟූහ. එහෙත් අවැඩක් සිදුවූයේ චිත්‍රකතාවලින් නොව රූපවාහිනිය හෙවත් යකාගෙ පෙට්ටියෙනි. 'යුනිකෝලා' අනුකරණයට ගොස් අනතුරේ වැටුණු දරුවන් ගැන එකල වාර්තා වූයේ නැත. එහෙත් අද සුපර්මෑන්ලා අනුකරණයට ගොස් අනතුරේ වැටෙන දරුවන් ගැන නිතර දෙවේලේ වාර්තා වෙයි.

රූපවාහිනි තිරයේ වීරකම් කරන බොහෝ සුපර්මෑන්ලාගේ රඟපෑම් සැබෑ නොවන බව වැඩිහිටියන් දරුවන්ට කියා දෙන්නේ නැත. කනගාටුදායක කාරණය වන්නේ ඇතැම් වැඩිහිටියන්ට ඒ පිළිබඳ අවබෝධයක් නොමැති වීමය. දරුවන් රූපවාහිනියේ ඊනියා වීරයන්ට හා කමකට නැති වීඩියෝ ගේම්ස්වලට ඇබ්බැහි වෙද්දී වැඩිහිටියන් අන්තර්ජාලයේ පැටලී වෙලී සිටින බව පෙනේ. තාක්‍ෂණය සබුද්ධිකව පාවිච්චි කිරීමට නොදැනීම නිසා සිදුව ඇති අලකලංචිය අතිශය බරපතළය. කොබෙයිගනේ දරුවාගේ මරණය යළි යළිත් පෙන්වා දෙන්නේ එය මිස අනෙකක් නොවේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon