රනිල්ගේ සීනි බෝල ජුන්ටාව

  👤  4683 readers have read this article !
2018-06-28

"බුදුරජාණන් වහන්සේ කිසි විටක මිනිස්සු මරන්න කියා දේශනා කර නැහැ. අපි දන්නේ නෑ හිට්ලරුයි බුදු දහමයි කොහොමද එකට එකතු කර ගන්න යන්නේ කියලා. මට නම් ඒක තේරෙන්නේ නෑ. අපි ඒකට විරුද්ධයි. අපිට විවිධ දේශපාලන මත තියෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෙවෙයි"

බුදුන් වහන්සේ සෑම විටම සියලු මතයන්ට ගරු කිරීමේ අගය ගැන මැනවින් පෙන්වා දුන්නා. බුදු දහම අනුව පාලන ගැන, පාලකයෙක් ගැන කියනවා නම් අපිට තියෙන හොඳම උදාහරණය තමයි ධර්මාශෝක රජතුමා. ඊටත් වඩා එහාට උන්වහන්සේ ලිච්ඡවීන්ට යෝජනා කළා සාමයෙන් රැස්වෙන්න, විවිධ මතවලට ගරු කරන්න, සෑම මතයටම ඉඩ දෙන්න, සාමයෙන් සාකච්ඡා කරන්න, සාමයෙන් විසුරුවා හරින්න. මේ අනුව යනවා නම් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ගෙනයන්න පුළුවන්.

කාටද ඡන්දය දෙන්නේ කියන එක තීරණය කරන්න බුදුදහමේ ඉඩ තියෙනවා. අපි කොහොමද පාර්ලිමේන්තුවේ හැසිරෙන්නේ, ඒවා ප්‍රශ්න නෙවෙයි. ඒත් අපිට කියන්න බෑ ඉඩි අමීන් වගේ වෙන්න කියලා. අපිට කියන්න බෑ පොල්පොට් වගේ වෙන්න කියලා. ඒ වගේම අපිට කියන්න බෑ හිට්ලර් වගේ වෙන්න කියලා. ඒක විරුද්ධයි. ඒ ප්‍රකාශය කවුරු කළත් හෙළා දකින්න ඕන.

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වේඬරුවේ ධර්මකීර්ති ශ්‍රී රතනපාල උපාලි හිමියන්ගේ හිට්ලර් කතාවට රනිල් ප්‍රතිචාර දැක්වූයේ එහෙම ය.

ලෝකයම අල්ලේ නටවන්න ගිය හිට්ලර්ගේ ඒකාධිපති ජුන්ටාව ලෝකයෙන් භාගයක් විනාශ කළේ ය. එහෙම බැලුවාම රනිලුත් හිට්ලර්ට දෙවැනි නැත. යූඑන්පීය අල්ලෙ නටවන්න ගිය රනිල්ගේ ඒකාධිපති ජුන්ටාව මුළු යූඑන්පීයම විනාශ කළේ ය.

රාජපක්ෂලා ඒකාධිපතියෝ නම්, රනිල් ඊට හපන් ය. මලික්ලා, අකිලලා ප්‍රමුඛ රනිල්ගේ ඒකාධිපති ජුන්ටාව යූඑන්පීය නැත්තටම නැති කළේ ය. රනිල්ට පින් සිදුවන්න පළාත් පාලන ඡන්දයකින් 30වැනි වතාවටත් යූඑන්පීය දැවැන්ත පරාජයක් ලැබුවේ ය. ඒකත් තනි පුද්ගලයකුට එරෙහිව ය. ආපස්සට හැරිලා බැලුවාම රනිල් වික්‍රමසිංහ කියන්නේ සුදු චරිතයක් නොවේ. රාජපක්ෂ පාලනයට එරෙහි බලවේග රනිල්ට සුදු හුණු ගෑවේ ය. මහා බුද්ධිමතකුට ඇන්දුවේ ය. ආණ්ඩුව අතට අරන් රනිල් නටපු නාඩගමෙන් රනිල්ගේ සුදු රෙදි ගැල වුණේ ය. රනිල්ගේ මොළේ තරම තම-තම නැණ පමණින් කාට කාටත් දැන් මැන ගත හැකි ය. හිට්ලර්ලා, ඉඩි අමීන්ලා වෙන්න බෑ කියන රනිල්, බටලන්ද චෝදනාවෙන් බේරුණු හැටි දන්නෝ දනිති.

රාජපක්ෂ පවුල් වාදයට චෝදනා කරන්න කලින් රනිල්, තමන්ගේ කල්ලි වාදය ගැන තේරුම් ගත්තොත් හොඳ ය. යූඑන්පී නායකයා විදියට රනිල් කවදාවත් දක්ෂතාවට තැන දුන්නේ නැත. පසු පෙළට ඇහුම්කන් දුන්නේ නැත. රට කණපිට පෙරළුණත් රනිල්ගේ සීනිබෝල ජුන්ටාව පක්ෂය පාලනය කළේ ය. රනිල්ගේ කොළඹ හතේ පාලනයට ගමේ දුක තේරුණේ නැත. ගමත් එක්ක හැප්පුණු නායකයන්ට රනිල් ඉඩ දුන්නේ නැත. රනිල් එහෙම කළා නම් අද යූඑන්පී නායකයා සජිත් ය. රනිල් බලයෙන් අන්ධ වී ඇත. කූඩැල්ලකු මෙන් පක්ෂයේ එල්ලී ලේ උරමින් සිටින්නේ ය. රනිල්ගේ ඉවට සජිත්ව දැනෙන්නේ නැත. සීනිබෝල ජුන්ටාවට සජිත්ව කවදත් දිරවූයේත් නැත.

මොන පෙරළි දැම්මත්, මොන කැරලි ගැහුවත්, මොන නැටුම් නැටුවත් අන්තිමේ දිනන්නේ රනිල්ගේ සීනිබෝල ජුන්ටාවමය. පරදින්නේ යූඑන්පීයමය. සජිත්ලාමය. එහෙම බැලුවාම රාජපක්ෂලාගේ පවුල් සංග්‍රහ ගැන කතා කරන්න රනිල්ට අයිතියක් නැත.

පරාජය යනු රනිල්ට වතුර බොනවා වගේ වැඩක් ය. රනිල් පරදින්නම ඉපදුණු නායකයෙකි. රනිල් පරදිද්දී පරදින්නේ ඔහු පමණක් නොවේ. අවුරුදු ගණනාවක් කට ඇරන් බලන් ඉන්න යූඑන්පී පාක්ෂිකයාද පරදින්නේ ය. දිනන බලවේග හැදූ, දිනන නායකයන් හැදූ ලංකාවේ දැවැන්තම තනි පක්ෂයද පරදින්නේ ය.

මෛත්‍රිගේ පසු පෙළත් ගහන්නේම රනිල්ට ය. රනිල්ගේ පසු පෙළත් ගහන්නේම රනිල්ට ය. මොන ගැහිලි ගැහුවත් රනිල් නම් යූඑන්පීය හැර යන්නේ නැත. මොන දහංගැට ගැහුවත් 2019ත් යූඑන්පී ජනාධිපති අපේක්ෂකයා රනිල් ය. මෙහෙම ගියොත් නම් 2019දී රනිල්ට පැරදිලා යන්න වෙන්නේ හොම්බෙන් ය. රනිල් ප්‍රමුඛ ජුන්ටාව එදාටවත් පක්ෂය අතහැර ගියොත් යූඑන්පීයේ පණ කෙන්ද රැකෙන්නේ ය.

රනිල්ගේම කටින් කියැවුණු ලිච්ඡවි පාලනයේ මූලික සිද්ධාන්ත 5ක් ඇත.

• සාමයෙන් රැස් වෙන්න.
• විවිධ මතවලට ගරු කරන්න.
• සෑම මතයටම ඉඩ දෙන්න.
• සාමයෙන් සාකච්ඡා කරන්න.
• සාමයෙන් විසුරුවා හරින්න.

ඒක එහෙමද කියා නැවතත් පෙරළා රනිල්ගෙන්ම ඇසීමට සිදුව ඇත. ලිච්ඡවී පාලනයක් ගැන කතා කරන රනිල් සහ ජුන්ටාව එජාපය පාලනය කරන්නේ එහෙම දැයි ඇසීමට සිදුව ඇත. රනිල් මවන්නේ සුරංගනා ලෝකයක් ය. පිටුපස ඇත්තේ අපායක් ය.

යහපාලන ආණ්ඩුවේ විනාශය ලියැවෙන්නේ රනිල්ගේ නමට ය. මහා බුද්ධිමත් රනිල්, බැඳුම්කර මගඩියෙන් උදේ පාන්දරම නා ගන්නට තරම් මෝඩ වූයේ කෙසේදැයි හිතාගන්නටවත් බැරි ය.

'මොළය තියෙනකොට බලය නෑ - බලය තියෙනකොට මොළය නෑ' කියා කියමනක් තිබේ.රනිල්ගේ සීනිබෝල ජුන්ටාව සම්බන්ධයෙන් එය මෙසේ වෙනස් විය යුතු ය. 'බලය නැතිකොටත් මොළය නෑ - බලය තියෙන කොටත් මොළය නෑ'.

මේඝනාද

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon