සූරියකන්දේ සිට මන්නාරමේ මිනී වළ දක්වා...

  👤  3486 readers have read this article !
2018-06-29

සූරියකන්ද 88-89 ධවල භීෂණයේ සංකේතයක් බඳුය. භීෂණ සමයේ මරා දැමූ දකුණේ පිරිසකගේ ඇටකටු සූරියකන්දේ මිනී වළින් හමුවිය. 1994 බලයට පැමිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රමුඛ පොදු පෙරමුණු ආණ්ඩුව හෝකන්දර ඇතුළු ප්‍රදේශ කිහිපයක පිහිටි සමූහ මිනී වළවල් හෑරීම ඇරැඹීය. එහෙත් කල් නොයවා හෑරූ වළවල් වසා දැමිණි. කිසිදු පරීක්ෂණයක් සිදු කෙරුණේ නැත. වගකිවයුත්තන්ට දඬුවම් දෙන බවට ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී දුන් පොරොන්දු ද වැළැලී ගියේය.

රාජ්‍ය අනුග්‍රහයෙන් සමූහ මිනී වළවල් හෑරීම එදා මෙදා තුර සිදු නොවූ අතර රාජපක්ෂ පාලන සමයේ සමූහ මිනී වළක් මාතලේ ප්‍රදේශයෙන් හමුවිය. රජයේ රෝහල් ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට බිම් සකස් කිරීමේදී මේ මිනී වළ හමුවූයේ අහම්බෙනි. කාල නිර්ණයෙන් සනාථ වූයේ මාතලේ සමූහ මිනී වළේ ඇටකටු 80 දශකයට අයිති බවය.


88-89 ධවල භීෂණ සමයේ වෙඩි වැදීමෙන් මරණයට පත්වූවන්ගේ ඇටකටු මේ සමූහ මිනී වළේ ඇති බව ඒ අනුව අනුමාන කළ හැකි යැයි කියැවිණි. එහෙත් අදාළ පරීක්ෂණ නිශ්චිත අවසානයක් කරා රැගෙන යෑමට ආණ්ඩුව කටයුතු කළේ නැත. මාතලේ සමූහ මිනී වළද කාලයේ වැලි තලාවෙන් වැසී ගියේය.

තිස් අවුරුදු සිවිල් යුද්ධයේ ප්‍රතිඵලයන් ලෙස සමූහ මිනී වළවල් ගැන උදාහරණද අසන්නට ලැබුණු අතර මන්නාරම සමූහ මිනී වළක් ගැන මේ වන විට වාර්තා පළ වී ඇත.
මන්නාරම සතොස ගොඩනැඟිල්ලක් ඉදිකිරීම සඳහා භූමිය සකස් කරමින් සිටි කම්කරුවන් පිරිසකට මේ සමූහ මිනී වළ හමුවී තිබුණේ අහම්බෙනි.
මාතලේ සමූහ මිනී වළ මෙනි.

මන්නාරම සමූහ මිනී වළෙහි විවිධ වයස් කාණ්ඩවලට අයත් මිනිස් ඇට සැකිලි 30කට අධික සංඛ්‍යාවක් තිබෙන බව දැනගන්නට ඇත. මේ ඇටකටු සිවිල් යුද සමයේ සිදුවූ සාමාන්‍ය වැසියන්ගේ යැයි විශ්වාස කෙරේ.

මන්නාරම මහෙස්ත්‍රාත්වරයා විසින් නිකුත් කළ අධිකරණ නියෝගයකට අනුව මේ සමූහ මිනී වළ සම්බන්ධ වෝහාරික පුරාවිද්‍යා විමර්ශනය සිදුකරන්නේ මහාචාර්ය රාජ් සෝමදේවය. විශේෂඥ වෛද්‍ය සමින්ද්‍ර රාජපක්ෂ අධිකරණ වෛද්‍ය විමර්ශන සිදුකරයි. මේ දෙදෙනාගේ විමර්ශනවලින් පසු අවසන් නිගමනය සහිත වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරනු ඇත.

මේ සමූහ මිනී වළේ ඇති ඇටකටු බෝම්බ ප්‍රහාරවලින් මියගිය සිවිල් වැසියන්ගේද නොඑසේ නම්, වෙඩි තබා ඝාතනයට ලක්කළ වූවන්ගේද, නොඑසේ නම්, දෙපාර්ශ්වයේ සටනට මැදිවී මරණයට පත්වූවන්ගේද යන්න පැහැදිලි නැත. මේ මරණවලට වගකිවයුත්තන් ආරක්ෂක හමුදාද, නොඑසේ නම්, එල්ටීටීඊයද යන කාරණය අදාළ පරීක්ෂණවලින් සොයා ගත හැකි වේ.

වඩා වැදගත් කාරණය වන්නේ මේ සිවිල් වැසියන්ට ගෞරවනීය මරණයක් අත් නොවූයේ මන්ද යන්න ගැන අවධානය යොමු කිරීමය. යළි මෙවැනි සමූහ මිනී වළවල් මේ පොළොවෙන් මතු නොවන ලෙස කටයුතු කිරීමය. සූරියකන්දේ මෙන්, හෝකන්දර මෙන් මළවුන්ගේ ඇටකටු ගොඩ දමා යළි වසා දැමීම අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්වූවන් යළි ඝාතනය කිරීමකි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon