ආගමික උත්සව පෙරහර නිසා සංසාර ගමන දික් වන බව කියූ එච්. ශ්‍රී නිශ්ශංක

  👤  4145 readers have read this article !
2018-07-01

ශි්‍රයානි අජන්තා විතාන

එච්.ශ්‍රී නිශ්ශංකයන්ගේ ජීවිතය අපූර්වත්වයෙන් යුතු සිදුවීම්වලින් ගහන වූවකි. 1932 කෑගලු ප්‍රදේශයේ මැලේරියා උණ රෝගය පැතිර ගියේය. මිනිසුන් දහස් ගණනින් මියයන්ට වූ අතර බොහෝ පරිත්‍යාගශීලීහු රෝගීන්ට පිහිට වන්නට දුෂ්කර ගම්මාන කරා ගියහ. නිශ්ශංක මහතාද බෙහෙත් ද්‍රව්‍ය හා කෑමද රැගෙන රෝගීන් සිටින ප්‍රදේශ කරා ගියේය.

දිනක් උදෑසන ඔහු බෙහෙත් ද්‍රව්‍යද රැගෙන කොළඹින් පිටත්ව දැදිගම ප්‍රදේශය කරා යමින් සිටියේය. අතරමඟදී රියැදුරු පැවැසුවේ තමාටද උණ රෝගය වැලඳීම නිසා රිය පැදවීම අසීරු බවය. නිශ්ශංක මහතා වහාම රියැදුරු පසුපස අසුනට යවා විවේක ගන්නට උපදෙස් දුන්නේය.

සැතපුම් හත, අටක් රිය පදවන විට තමාටද උණ වැලඳී ඇඟ සීත කරන බව නිශ්ශංකට දැනුණි. ඔහු වාහනයේ වූ ක්වීනින් කුප්පියක් ගෙන කටට හලාගෙන දිගටම රිය පදවන්නට විය. එහෙත් ඔහුට වැඩිදුර යන්නට අපහසු විය. හිස බමන්නටත්, පාර බො¼දවී පෙනෙන්නටත් විය. රිය නවත්වා තමා පානය කළ බෙහෙත කුමක්දැයි නැවත පරීක්ෂා කර බැලීය. ඔහු දුටුවේ කෘමීන් පලවා හැරීමට යොදන කුප්පියක වූ කෘමිනාශකයක් තමා පානය කර ඇති බවය. වහාම අසල වූ පින්තාලියකට ගොස් වතුර පානය කොට වමනය කළ ඔහු ඉන්පසුව මොටෝරිය නතර කළේ එම ප්‍රදේශයේ පොලිස් ස්ථානය අසලය.

තමාට වැරැදීමකින් වස පෙවුණු බවට සටහනක් දමා ඔහු ගමන ගියේය. ශ්‍රී නිශ්ශංක එසේ කළේ හදිසියේ ඔහු මරණයට පත් වූවා නම් රියැදුරු වැටෙන අවුලෙන් මුදවනු පිණිසය. මේ සිදුවීමෙන් පසු නිශ්ශංක මහතා මෝටර් රථයේ ප්‍රථමාධාර පෙට්ටියක් තබා ගැනීමට පුරුදු වූයේය.

ශ්‍රී නිශ්ශංක මහතාගේ එක් සිහිනයක් වූයේ යෝගාවචර භික්ෂුන් වහන්සේ උදෙසා ආරණ්‍ය සේනාසනයක් ඇති කිරීමය. ඒ සඳහා බෞද්ධ දර්ශනය හා සිද්ධස්ථාන පිළිබඳව ගැඹුරු දැනුමක් ඇත බුද්ධිමතුන් හමුවීම පිණිස බුරුමයටත්, ඉන්දියාවටත් ගියේය. බුරුමයේ සගායින් කඳුවැටියේ වැඩසටහන "ඝන්ඩයොන් අධායෝ" නමැති සංඝනායක හිමියෝද හමුවිය. ඉන්දියාවේ හිමාල කඳුවැටිය පාමුල ගිජ්ජකූඨ, වේහාර, වේපුල්ල සහ ඉසිගිලිය කඳුවැටි ආශ්‍රිතව තිබූ භාවනා කුටිද උන්වහන්සේගේ සිත් ගත්තේය. එහි අවසන් ඵලය වූයේ වරකාපොළට නුදුරු සල්ගල ආරණ්‍ය සේනාසනය ආරම්භ කිරීමය. එහි මූලික කටයුතු ශ්‍රී නිශ්ශංක සැලසුම් කළේ 1915දීය.

දැදිගම ආසනයේ කටිගල්ල නම් වනාන්තර පෙදෙසක අක්කර 700ක් සල්ගල සේනාසනයට අයත්ය. එහි ස්වාභාවික ගල්ලෙන් කිහිපයක් තිබූ අතර ඒවා ධර්ම ගුප්ත, ගිජ්ජකූඨ, වේපුල්ල ආදී වශයෙන් නම් කළේ ශ්‍රී නිශ්ශංක මහතා විසිනි. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ඇමැතිවරයකු වූ ඩබ්ලිව්. ඒ. ද සිල්වා ආශ්‍රමයට අවශ්‍ය පොත පත පරිත්‍යාග කළේය. ශ්‍රී නිශ්ශංක මහතා තරයේ විශ්වාස කළේ ආගමික පෙරහර උත්සව ආදිය පැවැත්වීමෙන් නිවන් මඟ සාක්‍ෂාත් කරගැනීමෙන් සසර කෙටිකර ගැනීම කළ නොහැකි බවය.

සල්ගල ආරණ්‍ය සේනාසනය සඳහා බුදු පිළිමයක් ඩී.ඇස්. සේනානායක මහතා පූජා කළේය. 1932 ඉන්දියාවේ ශ්‍රාවස්තියට ගිය ගමනේදී ආනන්ද බෝධි අංකුරයක් සල්ගල ආරණ්‍යය වෙත වැඩම කරවනු ලැබීය. නිශ්ශංක මහතා විසින් මෙහෙණින් වහන්සේ වෙනුවෙන් ඉදිකළ මධ්‍යස්ථානය 1938දී බියගම ප්‍රදේශයේ කෝල් ඩි කොට් ආණ්ඩුකාරවරයා විසින් විවෘත කරන ලදී. නිශ්ශංක මහතා ලංකාවේ ගිහි බෞද්ධයන්ගේ චර්යාව පිළිබඳ කිසිවිටෙක සතුටට පත්ව සිටියේ නැත. බෞද්ධ පෙරහර විවිධාකාර විකාර ස්වරූපයෙන් කෙළි සෙල්ලම්වලින් දූෂණය වීම පිළිබඳව ඔහු සිත තැවුලෙන් සිටියේය. නමුත් ඔහු විවේචනය පසෙකලා එම දුර්වලතාවන් මඟ හරවන පියවර තැබුවේය. පෑලියගොඩ චන්ද්‍රසේන සහ ඇල්ටන් විජේසේකර මහත්වරුන්ගේ සහාය ඇතිව බියගම ඉදිකළ දසසිල් මාතා ආශ්‍රමයට අක්කර 15ක භූමිය අයත් විය.

වැල්ලවත්ත නාගරික මන්ත්‍රිවරයා වූ නිශ්ශංක මහතා 1944දී කොළඹ මහ නගර සභාවේ නීති විධායක කමිටුවේ සභාපති වූයේය.

ඊ.ඒ. ගුණසිංහගේ කම්කරු පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන සිටි ඒ මහතා 1945දී එම පක්ෂයෙන් ඉවත් වූයේය. දෙවැනි ලෝක යුද්ධයේදී සිරගත වූ වාමාංශික නායකයන් නිදහස් කර ගැනීමට කම්කරු පක්ෂය මැදිහත් නොවීම එයට හේතුව වූයේය.

නිශ්ශංක මහතා නගර සභාවේ මන්ත්‍රි ධුරයෙන් ඉවත් වූයේ ට්‍රෑම් කාර් නිසා ඇතිවූ ගැටලුවක් හේතුවෙනි. කොළඹ නගර සභාව ට්‍රෑම් කාර් මිලදී ගැනීමට බෙන්ස් ටෙඩ් නමැති සමාගමට මුදල් ගෙවීමට සූදානම් විය. ඒවා ධාවන තත්ත්වයට නුසුදුසු තත්ත්වයක පැවැතියේය. ට්‍රෑම් කාර් මිලදී ගත යුතු නැතැයි නිශ්ශංක ගෙනා යෝජනාව ඊ.ඒ. ගුණසිංහ ස්ථීර කළේය. කෙසේ වුවද මධ්‍යම රජයෙන් මුදල් ගෙන ට්‍රෑම් කාර් රථ මිලදී ගැනීමට නගර සභාව කටයුතු කළේය.

එයින් නගර සභාව බංකොලොත් වූයේය. නිශ්ශංක මහතාගේ යෝජනාව අනෙක් සමිති විසින් විවේචනය කළේය. නගර සභාව ට්‍රෑම් කාර්වල මගී ගාස්තුව ඉහළ දමන්නට තීරණය කළ විට ශ්‍රී නිශ්ශංක මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වූයේය.

කෝල් ඩි කොට් ආණ්ඩුකාරයා ශ්‍රී නිශ්ශංක පොලිස් කොමිසමේ සාමජිකයකු වශයෙන් පත් කළේය.

ප්‍රථම පාර්ලිමේන්තු මහ මැතිවරණය 1947දී පවත්වන විට එච්. ශ්‍රී නිශ්ශංක කුරුණෑගල ආසනය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් විය. වැඩි ඡන්ද 3,546ක් ලබා ගනිමින් ඔහු එ.ජා.ප. අපේක්ෂක අයි. පලිපාන පරාජය කළේය. නිශ්ශංක මහතා ලැබූ ඡන්ද සංඛ්‍යාව 10,188ක් විය.

ස්වාධීන අපේක්ෂකයන් 21ක් ජයග්‍රහණය කළෝය. වමේ පක්ෂ ආසන 18ක් දිනා තිබෙන ශ්‍රී නිශ්ශංක සිය යමුනා නිවෙසට මන්ත්‍රිවරු කැඳවා ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා අගමැති තනතුරට පත් කරන්නට යෝජනා කළද එය ඉටු නොවීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon