‍ෙදාඩම්පේ මුදලාලි 4 තට්ටුවෙන් බිමට දැමූ පොලිස් ලොක්කාට පිස්සු හැදෙයි

  👤  4653 readers have read this article !
2018-07-01

බන්ධුල ගුණරත්න

රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් කළේ යැයි චෝදනා නඟමින් 1965 බලයට පත් ආණ්ඩුව හමුදා නිලධාරීන් ඇතුළුව සාමාන්‍ය පුරවැසියන් 26 දෙනකු අත්අඩංගුවට ගත්තේය. මූලික සාක්කි විභාගයකින් පසු 6 දෙනෙක් නිදහස් කෙරුණු අතර තවත් 20 දෙනකුට ශේ‍ර්ෂ්ඨාධිකරණයේ නඩු පැවැරිණි.

1960 මැතිවරණයේදී කලවාන අසුන වෙනුවෙන් තරග වැදුණු සරත් මුත්තෙට්ටුවේගම මහතාගේ ප්‍රධාන ආධාරකරුවකු වූයේ රත්නපුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකු වූ එල්.පී. පොඩි අප්පුහාමි මහතාය. ඔහු කා අතරත් ජනප්‍රියව සිටියේ "‍ෙදාඩම්පෙ මුදලාලි" නමිනි. ඔහු 1965 පැවැති මැතිවරණයේදී සහාය පළ කළේ එජාප අපේක්ෂක ධනපාල ආටිගල මහතාට බව ප්‍රදේශවාසී කාහටත් රහසක් නොවීය.

ඔහු හේන්පිටගෙදර ඥානසීහ හිමියන්ගේ විහාරස්ථානය වූ පාතකඩ සිරි සුමන පිරිවෙන් විහාරස්ථානයේ ප්‍රමුඛ දායකයකුද විය.

1966 අප්‍රේල් අලුත් අවුරුදු නිමාවත් සමඟම ‍ෙදාඩම්පේ මුදලාලිත් රහස් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම සඳහා කොළඹට ගෙන ආවේය. මේ හේතුවෙන් රත්නපුර ප්‍රදේශවාසීහු මහත් කලබලයට පත්වූහ.

ඔහු එදා අත්අඩංගුවට ගැනීමට හේතුවී තිබුණේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් කළේ යැයි කියමින් අත්අඩංගුවට ගෙන සිටි හේන්පිටගෙදර ඥානසීහ හිමියන් සමීපව ඇසුරු කර තිබීම යැයි පැවැසිණි. මහත්මා ගති ගුණවලින් හෙබි ‍ෙදාඩම්පේ මුදලාලි, ඥානසීහ හිමියන් ඇසුරු කළේ උන්වහන්සේගේ ජාතික ආගමික වැඩ කෙරෙහි තිබූ කැමැත්ත හේතුවෙන් එවැනි කාර්යයන්වලට සහාය දැක්වීම සඳහාය.

එදා කොළඹ රහස් පොලිස් මූලස්ථානය ජනතාව හැඳින්වූයේ "හතරවැනි තට්ටුව" යන අන්වර්ථ නාමයෙනි. ‍ෙදාඩම්පේ මුදලාලි රැගෙන ගියේද රහස් පොලිසියේ හතරවැනි තට්ටුවටය.

අත්අඩංගුවට ගෙන දින කිහිපයකට පසු ආරංචි වූයේ ඔහු හතරවැනි තට්ටුවෙන් බිමට පැන සිය දිවි නසාගෙන ඇති බවය. පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ කොටුව ඒකාබද්ධ මහෙස්ත්‍රාත් වින්සන්ට් ස්වර්ණාධිපති මහතාගේ නිගමනය වී තිබුණේද ‍ෙදාඩම්පේ මුදලාලිගේ මරණය සිය දිවි නසා ගැනීමක් බවය.

අත්අඩංගුවේ සිටියදී දොඩම්පේ මුදලාලිට නිසි ලෙස ආහාරපාන ආදිය පවා ලබාදී නැතැයි ද, වතුර ටිකක්වත් බීමට නොදී ඔහුගෙන් ප්‍රශ්න කළ බවත් පැවැසිණි.

මෙසේ විවිධාකාර ආරංචි රට පුරා ප්‍රචලිත වෙද්දී මරණ පරීක්ෂණයේ තීන්දුවට එකඟ නොවූ ‍ෙදාඩම්පේ මුදලාලිගේ ඥාති පාර්ශ්වය හා හිතවතුන් එක්වී නීතිඥ සරත් මුත්තෙට්ටුවේගම මහතා හමුවී තොරතුරු පවසා නීතියෙන් සාධාරණයක් ඉටු කරදෙන ලෙස ඉල්ලූහ.

ඒ අනුව මුත්තෙට්ටුවේගම මහතා පෙත්සමක් ගොනු කළේය. ඒ සඳහා පැවැති නඩුවේ දෙවැනි සාක්කි විමසුමේදී හතරවැනි තට්ටුවේ රඳවාගෙන සිටි තවත් සැකකරුවන් කිහිප දෙනකුගේ සාක්කි ඉදිරිපත් කිරීමට පැමිණිලිකාර පාර්ශ්වයට හැකි විය.

ඔවුන්ගේ සාක්කිවලින් පැවැසුණේ යාබද කාමරයේ සිටි අයකුට පහරදුන් හඬත්, මරළතෝනි හ¾ඩත් තමන්ට ඇසුණු බවය. මේ නිසා ‍ෙදාඩම්පේ මුදිලාලිගේ මරණය පිළිබඳ තීන්දුව වෙනස් මුහුණුවරක් ගත්තේය.

ඉන්පසුව රට පුරා ප්‍රචලිත වූයේ ඔහු පහරදීමකට ලක්ව මියගිය පසු සිරුර හතරවැනි තට්ටුවෙන් බිමට හෙළා ඇති බවය. මියගිය පොඩි අප්පුහාමි මහතාගේ සොහොයුරු එල්.වී. ස්ටීවන් මහතාත්, සරත් මුත්තෙට්ටුවේගම, සිදත් නන්දලෝචන ඇතුළු නීතිඥ මඬුල්ලත් ගෙන ගිය මේ සටන හේතුවෙන් ස්වර්ණාධිපති විනිසුරුවරයා තීරණය කළේ මෙය මනුෂ්‍ය ඝාතනයක් බවය.

‍ෙදාඩම්පේ මුදලාලි අත්අඩංගුවට ගත් පසු රාත්‍රි කාලයේදී ඔහුගෙන් ප්‍රශ්න කිරීම් භාරව ක්‍රියා කර ඇත්තේ උප පොලිස් අධිකාරිවරයකු වූ කොන්රඩ් වීරතුංග සහ පොලිස් පරීක්ෂකවරයකු වූ රාහුල සිල්වාය. මොවුන් ප්‍රකටව සිටියේද සැකකරුවන්ට පහර දී තමන්ට අවශ්‍ය ප්‍රකාශ ලබාගත් නිලධාරීන් දෙපළක් ලෙසිනි. මාස ගණනක් සැඟවී සිටි මිනීමරුවන් සොයා උසාවි ගෙන ඒමට සමතකු වූ රාහුල සිල්වා, ‍ෙදාඩම්පේ මුදලාලිගෙන් ප්‍රශ්න කිරීම සඳහා පැමිණ සිටියේ වලස්මුල්ලේ සිටය. පසුව හෙළි වූයේ ‍ෙදාඩම්පේ මුදලාලි මේ නිලධාරීන් දෙදෙනා ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු නොදුන් නිසා හතරවැනි තට්ටුවෙන් බිමට තල්ලු කර ඇති බවය.

මෙම සිද්ධියෙන් පසු මේ පොලිස් නිලධාරීන් දෙදෙනාම පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉවත් වූහ. කොන්රඩ් වීරතුංගට හටගත් රෝගයක් සුවපත් කිරීමට නොහැකි වීම නිසා පසු කලෙක ඔහු රට හැර ගියේය. ඉන් ටික කලකට පසු ඔහු එහිම මිය ගිය බව දැනගන්නට ලැබිණි.

සැකකරුවන්ට වධ දෙමින් ප්‍රකාශ ලබාගත් බවට ප්‍රකට වූ පොලිස් පරීක්ෂක රාහුල සිල්වාගේ මනස විකල් විය. ඔහු පරණ ගිටාරයක් බෙල්ලේ එල්ලා ගෙන බල්ලෙක් සමඟ මහ මඟ ඔහේ ඇවිද යනු දකින්නට ලැබිණි.

‍ෙදාඩම්පේ මුදලාලිට කළ දේ එදා රත්නපුර පුරවැසියන් අමතක කළේ නැත. මේ පොලිස් නිලධාරීන්ට සාප කරමින් ඔවුහු දිනපතා මහ සමන් දේවාලයට ගිය බව කාටත් රහසක් නොවීය. ඒ මහජන සාපය හේතුවෙන් ඔවුන්ට මෙවැනි ඛේදනීය ඉරණමක් අත්වූ බව ඔවුන්ගේ විශ්වාසය විය.

(පසුගිය ජුනි 24 ඉරිදා මව්බිම "හටන" අතිරේකයේ 4 පිටුවේ "66 කුමන්ත්‍රණය - හේන්පිටගෙදර හාමුදුරුවෝ හතරවැනි තට්ටුවට" මැයෙන් පළවූ ලිපියේ "පොලිස්පති රිචඩ් උඩුගම" යනුවෙන් පළ වූයේ ප්‍රමාදයකිනි. එය "හමුදාපති රිචඩ් උඩුගම" යනුවෙන් නිවැරැදි විය යුතුය.)

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon