සෝමාරාම හිමි පෝරකයට ගිය දා සිට කෙනෙහිලිකම්වලට ලක් වන තල්දුවේ සෝමාරාමය

  👤  4574 readers have read this article !
2018-07-01

තල්දුවේ සෝමාරාම විහාරාධිපති
එල්ලාවල නන්ද හිමි

අවිස්සාවේල්ල තල්දුවේ සෝමාරාම විහාරස්ථානයේ නිර්මාතෘ වූයේ අගමැති බණ්ඩාරනායක ඝාතනයට වරදකරු වී පෝරකයට ගිය තල්දුවේ සෝමාරාම හිමියන්ය. 1962 උන්වහන්සේගේ අභාවයෙන් පසු වර්තමානය දක්වාම මෙම විහාරස්ථානයට සිදුවන අතවර ගැහැටවල නිමක් නැත. තල්දුව සෝමාරාම විහාරස්ථානයේ අතීතය හා වර්තමානය පිළිබඳ ශෝකජනක කතාව මෙසේය.

තල්දුවේ සෝමාරාම පන්සල 1951දී එවකට අගමැතිව සිටි ඩී.එස්. සේනානායක අගමැතිතුමන් අතින් මුල්ගල් තැබූ විහාරස්ථානයකි. ඊටත් පෙර කෝට්ටේ යුගයේදී කෝට්ටේ රාජධානිය තුළ වැඩසිටි දළදා වහන්සේ සීතාවක මායාදුන්නේ රජු දෙල්ගමු රාජමහ විහාරයට රහසිගතව දෙල්ගමුවේ තැන්පත් කිරීමට පෙර වසර 1 1/2ක් සීතාවක රාජධානිය රහසිගතව සඟවාගෙන සිටි ස්ථානය මේ සෝමාරාම විහාරස්ථානය පිහිටි භූමියේය.

1956 වසර තුළ එවකට අගමැති එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා බලයට පත්වූ අවධියේ මෙම සෝමාරාමය ආරම්භ කළ තල්දුවේ සෝමාරාම හිමියන් පෝරකයට යෑමට පෙර උන්වහන්ගේ ශිෂ්‍ය බාලාදීන් සමඟ මෙම නව විහාරස්ථානයේ දියුණුවට ක්‍රියාමාර්ග ගනිමින් විහාරස්ථානයකට අවශ්‍ය අංගෝපාංගයන් සම්පූර්ණ කරමින් විහාර මන්දිරය ඉදිකළ අතර එහි පිළිම වහන්සේගේ තීන්ත ආලේප කිරීමට අවශ්‍ය තීන්ත ආදිය රැගෙන ඒමට කොළඹ ගිය අවස්ථාවේදී බණ්ඩාරනායක ඝාතනය සම්බන්ධව සැක කරමින් බන්ධනාගාරගත වූ අතර එම නඩුව අවසානයේ සෝමාරාම හිමියන් වැරදිකරුවකු කර පෝරකයට ගියේය. එම අවස්ථාවට මුහුණ දීමට උන්වහන්සේ පන්සල් පරපුරේ කෙනකුටවත් පවුලේ කෙනකුටවත් ඉදිරිපත් වීමට නොහැකි විය.

තල්දුවේ සෝමාරාම හිමියන් පෝරකයට යන විට උන්වහන්සේගේ ගුරු හිමියන් සහ සහෝදර හිමිවරුන්ටත් ශිෂ්‍ය බාලාදීන්ට බලවත් අපකීර්තියක් ඇති වූ අතර ශිෂ්‍ය බාලාදීන් සිවුරු හැරගිය අතර සෝමාරාම පන්සල භික්ෂුන් වහන්සේලාගෙන් හිස් විය. 1962දී පමණ විහාරස්ථානයට සම්බන්ධ පරපුරේ හිමි නමක් විහාර මන්දිරයේ ඉදිකර තිබූ පිළිම වහන්සේගේ තීන්ත ආල්ප කර නැවත විහාරස්ථානය නඟා සිටුවීමට කටයුතු කළ අතර පිටතින් පැමිණි හිමි නමක් පන්සලේ අයිතිය ප්‍රකාශ කළේය. අපට අයිතිය පිළිබඳ නඩුවක් පැවැරීමට සිදුවූ අතර වසර 15ක පමණ කාලයක් එම නඩුව අවිස්සාවේල්ල දිසා අධිකරණයේ පැවැති අතර 1975 වසරේ නඩුව අවසන්ව නැවත එම පන්සල ඉහළ තල්දුව ශ්‍රී ඉසිපතනාරාම විහාරස්ථානය සතු වූයේ තල්දුවේ සෝමාරාම හිමියන් ඉහළ තල්දුවේ ඉසිපතනාරාමයේ මහණ උපසම්පදා වූ භික්ෂුන් වහන්සේ නමක් නිසාය.

1975 නඩු තීන්දුවෙන් පසු ඉහළ තල්දුව ශ්‍රී ඉසිපතනාරාම විහාරස්ථානයට තල්දුවේ සෝමාරාමය අයිති වූයෙන් 1977 සිට නැවත එම විහාරස්ථානයේ කටයුතු ක්‍රමයෙන් ආරම්භ වූයේ, එවකට විහාරාධිපති වූ මලන්දෙණියේ සෝමාලෝක හිමියන් බලවත් ලෙස රෝගී වූයෙන්, 1981දී උන්වහන්සේගේ හදිසි අභාවයෙන් පසු උන්වහන්සේ සමීපයේ පැවිදිව සිට උපැවිදි වූ ශිෂ්‍යයකු නැවත සිවුරු දමාගෙන මෙම පන්සල්වලට අයිතිය ප්‍රකාශ කිරීම නිසා නැවත 1982දී නඩු නිමිත්තක් ඇතිවිය. මේ අවධිය වන විට අපවත් වූ මලන්දෙණියේ සෝමාලෝක හිමියන්ගේ එකම ශිෂ්‍යයා වූ එල්ලාවල නන්ද හිමියන් වන මා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන අවධියේදී විශ්වවිද්‍යාලයෙන් ලබන මහපොළ ආධාරය එම නඩුව සඳහා යොදමින් වසර පහළොවක පමණ (1981-1996) කලක් නඩුවට පෙනී සිටි අතර නඩුවට අවශ්‍ය ලිපිලේඛන උපැවිදි වූ හිමියන්ට නොවූයෙන් නඩුව අවසානයේ සමාදාන වූයේ ඉහළ තල්දුව ශ්‍රී ඉසිපතනාරාම පන්සල සතු එක විහාරස්ථානයක් වූ කඹුරාපොළ ශ්‍රී අභිනවාරාම විහාරස්ථානය එම භික්ෂුවට දීමට යෝජනා කිරීමෙන් පසුය.

1996දී එම නඩුව අවසන් වීමෙන් පසු නැවත ක්‍රමයෙන් විහාරස්ථානයේ කටයුතු ආරම්භ වූ අතර විහාරස්ථානයට පිවිසීමට මංමාවත් ඉදිකරමින් විහාරස්ථානයට අවශ්‍ය ස්ථිර විදුලිය ලබාගැනීමෙන්, ජලපහසුව සහ ආවාස මන්දිරය ඉදිකිරීමෙන් නැවත පන්සලේ වැඩ කටයුතු ආරම්භ වූ අතර වර්ෂ 2017 නොවැම්බර් මාසයේ මහනුවර විෂ්ණු දේවාලයෙන් පිරිසක් පැමිණ නිරවුල් ඔප්පු ෆෑල් සහ නඩු තීන්දු ඇති පන්සලේ ඉඩම මැද්දෙන් කම්බි වැටක් ඉදිකර අසල්වාසියකුට බදු දෙන ලදී. මේ පිළිබඳ කීප විටක් අවිස්සාවේල්ල පොලිසියට පැමිණිලි කළ අතර ඉඩම් ආරවුලක් නිසා මෙය දිසා අධිකරණයකින් විස¼දා ගතයුතු යැයි පොලිසියෙන් කියන අතර නැවත මෙම පන්සල් භූමිය නිදහස් කරගැනීමට දිසා අධිකරණයේ නඩුවක් පැවැරීමට සිදුවී ඇත.

මේ වූ අසාධාරණයන් මුල සිටම මෙම පන්සලට උරුම වූවක්ද? මේ පිළිබඳ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට මහනායක හිමියන්ට මහා භාරකාරයාට දැන්වූ මුත් මේ පිළිබඳ කිසිදු ප්‍රතිචාරයක් මේ වනතෙක් නොලැබිණි. පන්සල වටා සිංහල, දෙමළ, මුස්ලිම් යන ජාතීන් පදිංචි වී සිටින අතර සිංහල බෞද්ධ පවුල් සිටින්නේ කීපයක් පමණි. නොයෙක් හිරිහැර මේ භූමියට සහ පන්සලට ඇති බව කනගාටුවෙන් අවසන් වශයෙන් ප්‍රකාශ කරමි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon