වේසා ගෑනුන්ගේ රෙදි ගලවන තාලයට සිවුරු ගලවන්න බෑ

  👤  4332 readers have read this article !
2018-07-01

උදේනි සමන් කුමාර

පූජ්‍ය උඩකැන්දවල සිරි සරණංකර හිමිපාණන් බෞද්ධ ශාසන ඉතිහාසයේ මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේද අපූරු චරිතයකි. අප දුටු එම චරිතය එම ක්ෂේත්‍රයේ පළමු හා අවසන් චරිතයද විය හැකි තරමේ විරල චරිතයකි.

භික්ෂු ජීවිතයේදී අවසන් ගමන් යන තෙක්ම උපසම්පදාව නොලද සාමණේර හිමි නමකි. නිදහස සඳහා වූ අරගලයේදී සටන් වැදුණු වෙනත් භික්ෂුන් වහන්සේ සිටියද සිරි සරණංකර හිමියන් තරම් අධිරාජ්‍ය විරෝධී සටන්කාමී කැපවූ දේශපාලන පක්ෂයක නායකත්ව මට්ටමේ සිටි ලෝක ප්‍රකට තවත් හිමි නමක් නොවීය.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ පළමු සභාපතිවරයා වීමද තවත් විශේෂත්වයකි. ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ ආරම්භක සමුළුවේ මුලසුන දැරීමේ වරප්‍රසාදය එම හිමියන්ට ලැබුණේ මැර බලයට මුහුණ දෙමින් කම්කරු සටන් මෙහෙයවීමේ පුරෝගාමී කාර්ය භාරයක් ඉටු කළ හෙයිනි.

උන්වහන්සේ ඉන්දියානු නිදහස් අරගලයේ ක්‍රියාකාරී නායකයකු වීම හේතු කොට ගෙන ඉන්දියාවේදී සිවු වසරක් සිරගත කරනු ලැබීය. ශ්‍රී ලංකාවේ නිදහස් අරගලයේදී රාජ්‍ය විරෝධී චෝදනා උඩ දෙවසරක සිර දඬුවම් විඳීමටද සිදු වූහ.

අධිකරණයෙන් වරදකරු කරනු ලැබූ සිරකරුවකු වශයෙන් ගත කළ කාල පරිච්ඡේදය තුළ තම සිවුරු ගැලවීමට දැරූ උත්සාහය ව්‍යර්ථ කරමින් බන්ධනාගාර ඉතිහාසයේ වාර්තාවක් තැබූ ප්‍රථම හිමි නම උන්වහන්සේ වූහ.

සරණංකර හිමියන්ට සිර දඬුවම් නියම වූයේ අධිරාජ්‍යවාදීන්ට එරෙහි ජාතික නිදහස් අරගලයට නායකත්වය දීම නිසාය. එය වැන්දඹු ස්ත්‍රියකට අධිකරණ භූමියේදී බැන තර්ජනය කිරීමට කිසිසේත්ම සමාන කළ නොහැකිය. උඩකැන්දවල සරණංකර හිමියන් එදා බි්‍රතාන්‍ය පාලන සමයේ බන්ධනාගාර නිලධාරීන්ට මුහුණ දුන් අයුරු මෙසේ දැක්වේ.

මේ සටහන උන්වහන්සේගේ "සටනක සටහන්" ස්වයං ලිඛිත චරිතාපදානයෙන් උපුටා ගැනිණි.

"හික්කඩුවේ තිරාණගම රැස්වීමකදී යුද්ධයට විරුද්ධව කතා කළේ යැයි කියා මට විරුද්ධව චෝදනාවක් ගාල්ලේ උසාවියට ඉදිරිපත් කර තිබුණේය. චෝදනාවට නිවැරැදිකරු යැයි කියා සිටි මම අධිරාජ්‍යවාදීන්ට සිය වසකට වැඩි කලක් මෙරැටියන්ගේ ලේ උරා බිව් අයුරුත් උසස් ජාතියක්ව සිටි ලාංකිකයන් අද පිරිහී සිටින්නේ බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයට විරුද්ධව මවුබිමේ නිදහස උදෙසා සටන් කිරීම අපරාධයක් නම් මා වැරැදිකරු වන බවත් එය අපරාධයක් වශයෙන් අධිරාජ්‍ය පන්දම්කාරයන් හා පාලකයන් පිළිගත්තත් තමා නොපිළිගන්නා බවත් කියා සිටියෙමි. එහි ප්‍රතිඵලය වූයේ මට දෑ අවුරුදු සිර දඬුවමක් නියම වීමයි.

1942 ජුනි 30දා ඇපල් උසාවියෙන්ද පිළිගත් පරිදි මට බන්ධනාගාර ගත වීමට සිදුවිය. 29දා ගම්පහෙන් පිටත්වූ මම මගේ මිත්‍ර වෑගම සුවණ්ණජෝති නමැති භික්ෂුවකත් සමඟ එකල ආනන්ද මහා විද්‍යාලයේ ශිෂ්‍යයකුව සිටි ඩී.බී. මනම්පේරි නමැති ශිෂ්‍යයාත් කැටිව හික්කඩුවට ගොස් පැරකුම් නිවෙසේ නැවතී සිට පසු දා උපාලි අබේගුණවර්ධන මහතාත් කැටිව ගාල්ලේ උසාවියට ගියෙමි.

ගාල්ලේ දිස්ත්‍රික්කයේ උසාවියේ ප්‍රධාන විනිශ්චයකාරතුමා විසින් නඩු තීන්දුව කියවන ලදුව හා හිර ගෙදරට කැඳවාගෙන යනු ලැබීය. හිරගෙදර ගේට්ටුව දක්වා මගේ මිතුරන් තිදෙනා මා සමඟ ගමන් කොට සමු ගත්තේ කඳුළු පිරි දෙනෙතින් යුතුවය.

උසාවියෙන් ලැබුණු විශේෂ අවසරය පරිදි මම බන්ධනාගාරයේ ‍ෙදාරටුව ළඟටම වික්‍රමසිංහ මහතාගේ මෝටර් රථයෙන් ගමන් කළෙමි. ගාල්ලේ හිර ගෙදර මකර කට මෙන් විවෘත වූ ගේට්ටුවෙන් ඇතුළුවත්ම නිදහස් ලෝකයෙන් වර්ෂ දෙකකට මම අෑත් වුණෙමි. ‍ෙදාර වැසී ගියේය.
මගේ දෙනෙතින් කඳුළු හැලුණේ හිරගෙට යෑමට බියකට හෝ දුකකට හෝ පත්වීම ගැන නොවේ. මා උපන් බිම වෙනුවෙන් යම්කිසි සේවයක් කොට හිරගෙදරට යෑමට සිදුවීම ගැනයි. මම ප්‍රීතියෙන් ඔදවැඩී ගියෙමි. මගේ කඳුළු වැටුණේද ඒ නිසාම බව මතක් කරනු කැමැත්තෙමි. එහි මට ටික වේලාවක් වාඩි වී සිටීමට සිදුවිය. මහ හිර ගෙයින් කුඩා හිර ගෙයට ඇතුළු වීමට වඩා වෙන කිසිවක් සිදුවුණේ නැතැයි මම සිතුවෙමි. මහ හිරගෙදරට ලංකාවයි. එහි මුරකාරයෝ සුද්දන් හා ඔවුන්ගේ ගැත්තෝයි. මෙසේ සිතිවිලි සාගරයේ කිමිඳෙමින් සිටින අතර හිරගෙදරින් නිලධාරියකුගේ අණපරිදි කාමරයකට මම ගියෙමි. කාමරයට ඇතුළුවත්ම ගලවපන් රෙදි යි මහ ගොරෝසු හඬක් ඇසිණි. මම වටපිට බැලීමි.

අනෙක් හිරකරුවකු එහි නොසිටි බැවින් ඒ මට කළ අණකැයි සිතීමි. මම නිහඬ වීමි. තව වරක් ඒ ගෝරනාඩු හඬ ඇසිණි. මම ඒ දෙස බලා රෙදි ගලවාපන් කියන්නේ කාටද? විමසුවෙමි. තමාටයි හෙතෙම මඳක් සැර අඩු කොට උත්තර දුන්නේය.

රාලහාමි මේවා රෙදි නොවේ. මේවා සිවුරු. මේවා ඇන්දේ බොහොම ගරු සැලකිලි ඇතිව. මේවා ගලවන්නේත් එවැනිම ගරු සැලකිලි ඇතිවයි. මේවා මංකොල්ලකාරයන්ගේ, වේසා ගෑනුන්ගේ රෙදි ගලවන තාලයට ගලවන්න බෑ. මම කීවෙමි.

මෙහෙ ඔය ලොකුකම් බැහැ. කොච්චර ලොක්කෙක් ආවත් ඔය ‍ෙදාර ළඟට පමණයි ලොකුකම් එතැනින් මෙහාට ආවා නම් කතා බෑ. අපි කියන එක කරන්න ඕනෑ. කියා ගලවනවා ඇඳගෙන ඉන්න රෙදි. අඳිනවා හිර ඇඳුම්. නැත්නම් හුඟක් ඇඟ රිදෙනවා ඇති. ඔහු මහා ආඩම්බර ලීලාවකින් පැවැසීය.

ගණන්කාර නිලධාරි තැනට උත්තර දීමටත් පෙර එහි පැමිණි තවත් නිලධාරියෙක්. මේක හිර ගෙදර හාමුදුරුවනේ. උසාවියෙන් වැරැදිකරුවන් වී එන කවුරුන් වුවත් හිර ඇඳුම් අඳින්නට ඕනෑ. ඒක රජ්ජුරුවන්ටත් වැසියන්ටත් හාමුදුරුවන්ටත් කාටත් එකයි. හිර ගෙදර නීතිය කාටත් එකයි. කීයේ හිතවත් භාවයක් පෙන්වමින්ය.

ඒක එහෙම තමයි නීතිය. මට ඒ ගැන තමුන්නාන්සේලා එක්ක කතා කරන්න දෙයක් නෑ.

මේ සිවුරු පෙරෙව්වේ මහ උත්සව සහිතව, මේවා ගලවන්න එවැනිම උත්සව නැතත් සැලකිලි තිබෙන්නට ඕනෑ. අපේ රට දැන් යටත් රටක්. එහෙත් මේක බෞද්ධ රටක්. එබැවින් මගේ සිවුරු ගලවන්නට නම් ඊට පෙර අපේ ගරු මහ නායක හාමුදුරුවෝත්, ගිහි බෞද්ධ නායකයකු වශයෙන් පිළිගත් ස්වදේශ භාර අමාත්‍ය ජයතිලක මහත්මයාත් මට හමුවෙන්න ඕනෑ. එහෙම නැතිව මා සිවුරු ගලවන්නේත් නෑ. වෙන කාටවත් ගලවන්න දෙන්නේත් නෑ. එහෙම ගලවනවා නම් තමුසෙලාගේ වැඩක්. නමුත් එයින් පසු එයින් මතුවන අනික් කරදර ගැන තමුසෙලා වග බලාගන්න ඕනෑ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon