හිට්ලර්ට කලින් න්‍යෂ්ටික බෝම්බයක් හදන්න ඇමෙරිකාව ක්‍රියාත්මක කළ හදිසි අබිරහස් මෙහෙයුම මෙන්න

  👤  4482 readers have read this article !
2018-07-01

පරිවර්තනය - ප්‍රේමචන්ද්‍ර අල්විස්

1942 වසර අවසානයේ මාස කිහිපයක් ඇතුළත න්‍යෂ්ටික විද්‍යාඥයන්ගේ වාසය සඳහා නගර කිහිපයක් ඇතුළත් අලුත්ම ප්‍රදේශ තුනක් බිහිවූයේය.

නාසීනට කලින් න්‍යෂ්ටික බෝම්බයක් නිපදවීම සඳහා ආරම්භ වුණු "මැන්හැට්න්" ව්‍යාපෘතියේ කාර්ය මණ්ඩල සාමාජිකයෝ ඔවුන්ගේ සේවයෙහි නිරතව සිටියහ.

සිතියම්වලද නොදැක්වෙන තරමට රහසිගතව පැවැති එම නව නගර තුළට ඉතා විශාල වශයෙන් සැපයුම් මෙන්ම මිනිස්සුද ගලා ආහ.

ඔවුන්ගේ සැබෑ අරමුණ අනාවරණය වූයේ ඇමෙරිකා එක්සත් ජනපද ගුවන් හමුදාව ජපානයේ නාගසාකි නගරයට පරමාණු බෝම්බයක් හෙළීමෙන් පසුවය.

එම අලුත් නගර දැන් ඕක්රිජ්, ටෙනසි, ලොස් ඇලමස් සහ හැන්ෆඩ්/රිව්ලන්ඩ්, වොෂිංටන් යනුවෙන් හැඳින්වෙයි.

දෙවැනි ලෝක මහා සංග්‍රාමය උග්‍රව පැවැති අවස්ථාවේ බිහිවුණු එම නගර කිසිදු සිතියමක නොදැක්වුණා පමණක් නොව නිල වශයෙන් පැවැතියේද නොවේ. විද්‍යාඥයෝ දසදහස් ගණනක් මෙහි පළමුවැනි පරමාණු බෝම්බය නිපදවීම සඳහා හිට්ලර් සමඟ උග්‍ර තරගයක යෙදී සිටියහ. එම කාර්යයෙහි යෙදී සිටි පරමාණු විද්‍යාඥයන් තාක්ෂණඥයන් හා සහායකයන්ගේද සංඛ්‍යාව එක්ලක්ෂ විසිපන් දහසකට අධිකය. "මැන් හැට්න්" ව්‍යාපෘතිය එසේ ක්‍රියාත්මක වුණු මුළු නාගරික ප්‍රදේශයම ස්වාභාවික ආවරණවලින් හා ආරක්ෂක වැටවලින්ද වට වී තිබුණු පොදු ජනතාවගේ ඇසට හසු නොවී සහමුලින්ම සැඟැවී පැවැතියේය. 1945 අගෝස්තු 6 වැනිදා ඇමෙරිකාව, ජපානයේ හිරෝෂිමා නගරයට පරමාණු බෝම්බයක් හෙළීමෙන් පසු ඇමෙරිකා ජනාධිපති හැරී එස් ටෘෘමන් "මැන් හැට්න්" ව්‍යාපෘතියේ මූලික අරමුණ පිළිබඳ රහස ලෝකයාට අනාවරණය කළේය.

වොෂිංටන්හි ජාතික කෞතුකාගාර මන්දිරයෙහි පැවැත්වුණු ප්‍රදර්ශනයකට පවා මාතෘකාවක් වුණු එම නගර ඉතා අෑතක පිහිටි බිම්කඩවල ඉතා නිහඬව ඉදිකරන ලද්දේ ඇමෙරිකා එක්සත් ජනපද හමුදාවේ ඉන්ජිනේරු භටයන් විසිනි. ඒ සඳහා එවකට එහි විසූ වැසියෝ සියලු දෙනා ඉවත් කරන ලදහ. ඒ ජපනුන් පර්ල් වරායට පහරදීම නිසා ඇමෙරිකාව යුද්ධයට සම්බන්ධ වීමෙන්ද නාසීන්ගේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ පිළිබඳ ඔත්තු සේවා තොරතුරු මිත්‍ර රාජ්‍යවලට ලැබීමෙන් හා නාසීනට කලින් න්‍යෂ්ටික බෝම්බය නිෂ්පාදනය කිරීමට ඇමෙරිකාව අධිෂ්ඨාන කර ගැනීමෙන්ද වසරකටද වඩා අඩු කාලයකට පසුවය.

කාර්යය බෙහෙවින් හදිසි අවශ්‍යතාවක්ව තිබුණු අතර ඕක් රිජ් නගරයෙන් එය ආරම්භ වූයෙන් දහස් ගණන් සේවක පිරිස් නන් දෙසින් එහි ගලා එන්නට වූහ. ඔවුහු පළමුවෙන්ම තාවකාලික කූඩාරම්වල හා හමුදාවට වෙන්වුණු ප්‍රදේශවල ඉදිකෙරුණු එවැනිම පැල්පත්වලද නවාතැන් ගත්හ. ඒ සමඟම අතිවිශාල සැපයුම් තොගද එහි නොකඩවා ඇදෙන්නට වූයෙන් පර්යේෂණාගාර, කර්මාන්ත ශාලා මෙන්ම නිවාස, පාසල් හා රෝහල්ද ලහි ලහියේ ගොඩනැඟුණේය. ඒ සියල්ලේ ඒකාන්ත අරමුණ වූයේ අතිශය වැදගත් හදිසි කාර්යයක නියුක්ත වූ සියලු දෙනා වෙනුවෙන් හැකිතාක් සුවදායක පරිසරයක් බිහි කිරීමය.

මෙහෙයුමේ මූලස්ථානය වශයෙන් ඕක් රිජ් නගරය ක්‍රියාත්මක වූ අතර බෝම්බයේ යාන්ත්‍රික කොටස් පිළිබඳ වගකීම ලොස් ඇලමස් නගරයටද ප්ලූටෝනියම් නිෂ්පාදනය පිළිබඳ වගකීම හැන්ෆර්ඩ් නගරයටද පැවරිණි. මැන්හැට්න් දිස්ත්‍රික්කයේ හමුදා ඉන්ජිනේරු බළකාය විසින් කළමනාකරණය වූ හෙයින් "මැන්හැට්න් ව්‍යාපෘතිය" යනුවෙන් හැඳින්වුණු මෙහෙයුම විසින් එතෙක් නොවූ විරූ විනාශකාරී අවියක් නිෂ්පාදනය කරන ලද්දේ අවුරුදු දෙකහමාරක් තරම් කෙටි කාලයක් තුළදීය.

ඒ සා දරුණු විනාශයක් සිදුකරන බෝම්බයක් පළමුවෙන්ම හිරෝෂිමා සහ ඉන් අනතුරුව නාගසාකි මත හෙළීමට ගන්නා ලද තීරණයේ සදාචාරාත්ම හා උපාය මාර්ගික කරුණු තවමත් උග්‍ර වාද විවාදවලට හේතුවී තිබෙන අතරම මේ සිද්ධිය විද්‍යා පර්යේෂණ පිළිබඳ ඉතිහාසයේ ඉතා වැදගත් අවස්ථාවලින් එකක් වන බවද නිසැකය.

ගෘහ නිර්මාණ ශිල්පයත් ඉන්ජිනේරු ශිල්පය හා සැලැසුම්කරණයත් අතින් ඇතිවූ උන්නතිය නිසා නොවේ නම්, කෙනකුට විශ්වාස කළ නොහැකි තරමේ කෙටි කාලයක් තුළ නව නගර තුනක් ඉදිවුණු "මැන්හැට්න් ව්‍යාපෘතිය යථාර්ථයක් බවට පත් නොවන්නට ඉඩ තිබිණි. නවීන සංවර්ධනයේ මුල් යුගයේදී ඉදි වුණු එම නගර සංකීර්ණයෙන් නගර සැලැසුම්කරණය, මහ පරිමාණ නිවාස සංකීර්ණ, සිවිල් හා යාන්ත්‍රික ඉන්ජිනේරු ශිල්පය හා නවීන පන්නයේ ඉදිකිරීම් පිළිබඳව ඉතා වැදගත් සාධක පිළිබිඹු විය.

කාලය ඉතිරි කරගැනීමේ උපක්‍රමයක් වශයෙන් කොටස් වෙනම ඉදිකොට ගෙනැවිත් ඒකාබද්ධ කිරීමෙන් ගොඩනැංවුණු මෙම නිවාස අසල්වාසීන්ගේ ගෙවල් රැසක් හා ඔවුන්ගේම වෙළෙඳ මධ්‍යස්ථානයක්ද මැද පිහිටි අතර ඒ වටා වූයේ අතිවිශාල හරිත ආවරණයකි. අසල්වාසීන් මෙම නිවාසවලින් වෙන්කර තැබීම රජයට ප්‍රයෝජනවත් වූයේ විද්‍යාඥයන් එම පෙදෙසෙහිදී එක්රැස්වී ඔවුන්ගේ රහස් හුවමාරු කර ගැනීම සඳහා ඉඩ නොතැබීම නිලධාරීන්ගේ අරමුණ වූ හෙයිනි.

රහසිගත නගරවල සැලැස්ම විප්ලවීය වුවද එහි නිවැසියන්ගේ සමානත්වය තහවුරු නොවූයේය. ඇමෙරිකා අප්‍රිකානුන් එහි බොහෝ විට වාසය කළේ ලෑලිවලින් තැනුණු මඩු තුළය. ඕක් රිජ්, හැන්ෆඩ් හා ලොස් ඇලමස් යන නගර රහසිගතව ඉදිකරන ලද්දේ ඉන් කලකට පෙර "බොහෝස්" (ඕචභඩචභඵ) යන නමින් පැවැති ගෘහ නිර්මාණ ශිල්පායතනයක හා එවැනි වෙනත් ආයතනවලද සංකල්පවලට අනුකූලව බව සනාථ වී තිබේ.

එම නගර ඉදිකිරීමේ ප්‍රධාන අරමුණ කෙබඳු වුවද ඒ තුළ එදිනෙදා සමාජ ජීවිතයේදී සමාජ ස්තරකරණයක් එක් එක් ජන වර්ග එකිනෙකින් වෙන්කර තැබීමත් අරමුණු කොටගෙන නගර සැලැසුම් කරන ලද බවද පැහැදිලිය.

බල ශක්තිය හා ආරක්ෂාව පිළිබඳ ගැටලු නිරාකරණය කෙරෙහි අවධානය යොමු කර "ඕක් රිජ් ජාතික පර්යේෂණාගාරය" දැන් ඔක්රිජ් නගරයෙහි පිහිටුවා තිබෙන අතර "මැන් හැට්න්" ව්‍යාපෘතියේ ගෘහ නිර්මාණය සැලැස්ම 2019 මාර්තු 2 වැනිදා සිට මැයි 03 වැනිදා දක්වා ජාතික කෞතුකාගාර මන්දිරයෙහි ප්‍රදර්ශනය කරනු ලැබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon