ඇහැළේපොළ කුමාරිහාමිගේ විලාපය ගැන අමුතු කතාවක්

  👤  4667 readers have read this article !
2018-07-01

සුලක්ඛනා ජයවර්ධන

නුවරවැව රවුමේ ගිය කෙනකුට මහ රෑ යෑමේදී සුදුවතින් සැරසුණු ස්ත්‍රියක් හමුවූ බවත් ඇය තමන්ගේ දරුවන් ඉල්ලා විලාප දුන් බවට වූ පුවතක් මහනුවර අවට පැරැන්නෝ අදටත් කතාබහට ලක් කරන පුවතකි. ඇතැමෙක් කියන්නේ මේ දරුවන් ඉල්ලාගෙන හඬමින්, දුක කියමින් යන්නේ ඇහැළේපොළ කුමාරිහාමිගේ අවතාරය බවය. ඇය ඉදිරිපිටදී ශ්‍රී වික්‍රම රාජසිංහයන්ගේ අතින් දරුවන් මැරවීමත්, ඇයව දියේ ගිල්වා මරා දැමීම අදටත් සංවේගජනක පුවතක් ලෙස උඩරැටියන්ගේ සිත් පාරන්නේ ඒ නිසාය. ඒ කෙසේ වෙතත් මේ කතා තුළ යම් ප්‍රවාදගත රසයක් ඇත්තා සේම එය එකී අනුවේදනීය සිදුවූ ආකාරය අප සැවොමගේ හදවතට කි¼දා බැස්සක්ද විය හැකිය.

මීට වසර ගණනාවකට පෙර නුවර හෝටල් හිමිකරුවකුත්, රජයේ සේවකයකුත් මේ කියන සුදුවත හැඳි කත දැක ඇත. එම දසුන දැකගත හැක්කේ පෙබරවාරි හෝ මාර්තු මාසවලදී බවත් කියැවේ. නුවරවැව රවුමේ සක්මන් කරන රූමත් තරුණ කත හැඳ සිටියේ උඩරට කුල කාන්තාවක් හැඩවෙන ඉපැරැණි ක්‍රමයටය. ඇය අත දරුවකු නැති වුවත් දරුවකු සොයා විලාප දෙන හඬ අෑතින් ඇසී ඇත. මෝහිනිය ගැන අසා ඇතිමුත් මේ තැනැත්තිය එසේ නොවූ අතර 'මගෙ දරුවෝ දියෝ' කියා වතුරට පනින ආකාරයත්, ශබ්දයත් ඇසී ඇත. එය කිහිපදෙනකුම දුටු නිසා මෙය පැරැන්නන්ගේ මතකය හා බැඳි නුවරවැවේ ගිල්වා මරා දැමූ ඇහැළේපොළ කුමාරිහාමිගේ විලාපයත් රුවත් බවට තදබල විශ්වාසයක් පවතී.

පැරැණි වාර්තාවල දැක්වෙන ආකාරයට මෙය දුටුවන් ගණන වැඩිවීමත් මුර සංචාරයේ යෙදුණු පොලිස් භටයන්ද මේ අත්දැකීම විඳ ඇති බැවිනුත් කිසියම් දෙයක් සිදුවන බවට වූ විශ්වාසය වැඩිය.

නුවර සෙන්ට්පෝල්ස් පල්ලියට බටහිර දෙසින් රිමාන්ඩ් හිර ගෙදර අසලින් විලාපයක් තියා පිටත් වෙන ඇය දළදා මැඳුර පසුකොට මැදියම් රැයේදී හිරගෙදරට උඩින් තිබූ අඩි පාරක් ඔස්සේ බෝගම්බර පිට්ටනිය දෙසට ගමන් කර තිබෙන අතර මෝටර් බයිසිකලයකින් ආ අයකු එය දැක සිහිසුන්ව වැටුණු පුවතක්ද මේ සිදුවීමට සාක්ෂි වශයෙන් වාර්තා වන්නේය.

අවුරුදු පතාම සිදුවන මෙය සියැසින් දුටු බර්ගර් පවුලක් එය කොළඹ සිටින නෑදෑයන්ට දන්වා යැවීමේ ප්‍රතිඵලයක් ලෙස එකල එම සිදුවීම් ඉංග්‍රීසි පුවත්පතකද පළ වී ඇත. එය එසේ වී ඇත්තේ ඥාතීන් සියල්ල නුවර ඇවිත් එම සිදුවීම නිරීක්ෂණය කොට එය පුවත්පතකට තොරතුරු කීම නිසාය. විලාප හඬත්, මේ රූමත් කාන්තාවත් කිසිවකුට පෙනුණත් ඇයගෙන් හිරිහැරයක් නොවීම විශේෂයක් බව උඩරට පැරැන්නන්ගේ මතයයි.

තවත් කතාවක දැක්වෙන්නේ මේ ආකාරයේම රූමත් ගැහැනියක් විලාප දෙමින් තම දරුවන් ඉල්ලා මහනුවර -පේරාදෙණිය මාර්ගයේ හීරුස්සගලදී දර්ශනය වූ බවකි.

බොහෝ තොරතුරුවලින් පළවී ඇත්තේ මහනුවර වැව වටා ඇය මැදියම් රැය පසුවී දුටුවාය කීවද වැඩිපුරම රැඳී ඇත්තේ දළදා මැඳුර අසලින් යන අම්පිටිය පාරේ තිබුණු සාත්තු සේවිකා නිවාස ඇති ප්‍රදේශයේදීය. පැරැන්නන්ගේ අදහසට අනුව ඇහැළේපොළ කුමාරිහාමිගේ ඝාතනයත් දරුවන්ගේ ඝාතනයක් සිදුවූ වූ වැවත්, වැව රවුමත් මේ කියන ප්‍රදේශයත් අනුව එය විශ්වාස කරන තරමට බරපතළ කතාවක් බවය. මෙය කෙතරම් උඩරැටියන් අතර විශේෂයෙන් නුවර වැසියන් අතර සිත් වේදනා දුන්නක්ද යන්න ඒ හා බැඳුණු ගැමියන්ගේ සිතිවිලිද අපූරුය.

රනේ රුවැස දෙතනේ
කිරි බොන කුමර
ගෙනේ හඬව හඬවා බොටුව
වෙන් කර
වනේ දමා කෙටවිය හිස අණ සෙ තිර
අනේ දෙවියනේ මගෙ හද වෙයි විවර

කුරිරු රජුගෙ වාසල හැර මුළු නුවර
අඳුරු වෙලා හඬමින්
එකිනෙක ගෙදර
ගොදුරු කිසිත් නොම ගෙන
තෙදිනක් විතර
පතුරුවමින් සිටියේ රජුගෙ අනදර

බෝගම්බර හා බැඳීගත් මේ තොරතුරු කෙසේ වෙතත් මෙහි මිනිසුන්ගේ හදවත් තුළ තවමත් කැකෑරෙමින් පවතින ඇහැළේපොළ කුමාරිහාමි හා දරුවන්ගේ ඛේදවාචකය ගැන වූ දුක් කඳුළු තවමත් නොමැකී තිබීම විශේෂයකි. ජනප්‍රවාදයේ සියලුම කතා බොරුය කියන්නටද බැරිය. අප දන්නවාට වඩා නොදන්නා නොපෙනෙන ලොවක්ද ඇති බව දැන් දැන් විද්‍යාත්මකව හෙළිවෙමින් පවතින නිසා ඇහැළේපොළ කුමාරිහාමි බෝගම්බරින් කියැවීමද ජනහදවත්වලින් බැහැර නොවීමද බැහැර කළ නොහැකිය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon