බුලත් හුරුල්ලේ පාඩම

  👤  3969 readers have read this article !
2018-07-01

ලංකාවේ සියලුම ගුරු භවතුන්ගේ ආනන්දයට හේතුවන වැදගත් තීන්දුවක් ඉකුත් සති අන්තයේ ශේ්‍රෂ්ඨාධිකරණය ලබාදුන්නේය. එකී තීන්දුවට ප්‍රස්තුතය වූයේ උතුරු මැද පළාතේ හිටපු මහ ඇමැති පේෂල ජයරත්න විසින් කරන ලද හිතුවක්කාර ගුරු මාරුවකි. වින්දිත විදුහල්පතිවරයා විසින් ශේ‍ර්ෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පිළිබඳ නඩුව විභාගයෙන් පසු එහි තීන්දුව ප්‍රකාශයට පත්කළ ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය රුපියල් දෙලක්ෂ පනස් දහසක් වන්දියක් වශයෙන් එම විදුහල්පතිවරයාට ගෙවන ලෙස හිටපු මහ ඇමැතිවරයාට නියෝග කළේය.

එය අතිශය වැදගත් නඩු තීන්දුවකි. ලංකාවේ 2,25,000ක් ගුරුවරුන්ගේ සහ 15,000කට අධික විදුහල්පතිවරුන්ගේ වෘත්තීය ජීවිතයට සෘජුවම බලපාන කරුණකි. එය එසේ වන්නේ දේශපාලකයන්ගේ අමානුෂික, අමනෝඥ තීරණ නිසා ග්‍රාමීය මට්ටමේදී සෘජුවම පීඩාවට පත්වන වෘත්තීයවේදීන් වන්නේ ගුරුවරුන් නිසාවෙන්ය.

අදාළ සිදුවීමේදී පළාත් මහ ඇමැතිවරයා නිවන්තකචේතිය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා සමඟ උරණ වන්නේ උත්සවයකදී බුලත් හුරුල්ලේ පැත්ත මාරුකොට බුලත් දුන්නාය යන සුළු කාරණාවක් අල්ලාගෙනය. එය එක් සිදුවීමක් පමණි. එහෙත් ඉන් පැහැදිලි වන්නේ මෙරට දේශපාලනඥයන් වැඩි දෙනකුගේ මහන්තත්තකමේ දිග පළලය. බුද්ධියේ තරමය.

නිදහසින් පසු ගෙවුණු වසර 60 තුළ ලංකාවේ වඩාත්ම හිංසාකාරී දේශපාලන පළිගැනීම්වලට ලක්වූ වෘත්තිකයන් වන්නේ ගුරුභවතුන්ය. මෑත අතීතය වන තුරුම මැතිවරණයක් අවසන් වූ වහාම ජයග්‍රාහී දේශපාලකයා තුටු පහටු වූයේ විරුද්ධ පාක්ෂික ගුරුවරු රටපුරා සීසී කඩ මාරු කිරීමෙනි. හදිසි මාරු කිරීම් නිසා දරුවන් වැටෙන ආගාධය සැලකිල්ලට ගත්තේ නැත.

එකල රටේ දුෂ්කර පළාත්වල පාසල්වල සේවය කළේ මෙසේ දේශපාලන පළිගැනීම් මත දඬුවම් ලද ගුරුවරුය. සැමියා අම්පාරටත් බිරිය හොරොව්පොතානටත් මාරුකොට ගුරුපවුල නැතිභංගස්ථාන කොට සතුටු වූ දේශපාලකයෝ ප්‍රධාන පක්ෂ දෙකෙහිම සිටියෝය. එකල මහජන නියෝජිතයන්ගේ ප්‍රථම රාජකාරිය වූයේ ගුරු මාරු ලැයිස්තු අස්සන් කිරීමය.

දිසාපාමොක් තුමා, ගුරු පියාණන් ආදී විරුදාවලි දෙමින් මුරුංගා අත්තේ තබන ගුරු වෘත්තියට බැට දෙන්නට අවශ්‍ය වූ විට උඩ පනිමින් තළන සංස්කෘතියක් මෙරට කලක් තිස්සේ තහවුරුව පැවතිණි. පාලකයන් හමුවේ කොන්ද නොනමන ගුරුවරුන් බිහිවූයේ ගුරු සංගම් ව්‍යාපාරයට පින් සිදුවන්නටය.

උෟව පළාත් මහ ඇමැතිවරයාද විදුහල්පතිනියක දණගැස්වීයැයි චෝදනා ලැබ මේ වනවිට එහි නඩු විභාගය සිදුවෙමින් පවතී. කසිකබල් දේශපාලන බලධාරීන් ගුරුවරුන් දණගස්වා සමාජයට දෙන්නට හදන ආදර්ශය කුමක්දැයි අපි නොදනිමු. පේෂල ජයරත්න වැනි ඊනියා බලධාරීන් උත්සාහ කරන්නේ මහත් කැපවීම් මතින් ගුරු සංගම් තහවුරු කරගත් අයිතීන් ආපසු හරවන්නටය. එයට කිසිසේත්ම ඉඩ දිය යුතු නැත. ඉතාමත් නිවැරැදි තීන්දුවක් මෙහිදී ලබාදීම ගැන ශේ‍ර්ෂ්ඨාධිකරණයට සමස්ත ගුරු පරපුරේ ගෞරවය හිමිවේ. අයුක්තියට හිස නොනමා තම ප්‍රශ්නය අධිකරණය හමුවට ගෙන ගිය කරුණාරත්න ගමගේ විදුහල්පතිවරයාටද ඔහුට සහය වූ ගුරු සංගමයටද අපි මල් මිටක් පිළිගන්වමු.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon