මහින්ද යූඑන්පී නගරාධිපතිගේ දන්සල වැන්ද හැටි

  👤  5593 readers have read this article !
2018-07-01

ජනපති මෛත්‍රි පොසොන් සතිය ගත කළේ පොළොන්නරුවේය. පසුගිය සඳුදා පරාක්‍රම සමුද්‍රය අසලට ශරීර සුවතා ව්‍යායාම් කිරීමට පැමිණි ජනාධිපතිවරයාට දැකගත හැකිවූයේ ඒ අවට කැළිකසළවලින් පිරී ඇති බවය. වහාම නිලධාරීන් කැඳවා එම කැළිකසළ හැකි විගස ඉවත් කර එම පරිසරය පිරිසුදුව තබා ගැනීමට කටයුතු කරන්නැයි නියෝග කළේය.

පොසොන් පොහොය දා පෙරවරුවේ දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ අභිනවයෙන් ඉදිකළ පිරිවෙන් ශාලා ගොඩනැඟිල්ල විවෘත කිරීමට ජනාධිපතිවරයා එක්විය. ඒ විජයදාස රාජපක්ෂ ඇමැතිවරයාද සමඟිනි.

අනතුරුව මිහින්තලා අලෝක පූජාව විවෘත කිරීමටද ජනාධිපතිවරයා එක්විය. අගමැති රනිල් වික්‍රමසිංහද ඊට එක්ව සිටියේය.

දේශපාලන විරසකයක් වුණු අකිලගේ ටැබ් බෙදිල්ල

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අඟහරුවාදා කැබිනට් හමුව පැවැත්විණි. පසුගිය සතියේ කල්දමන ලද යෝජනාවක් අකිල විරාජ් ඇමැතිවරයා මෙවරද ඉදිරිපත් කර තිබිණි. ඒ උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ යෝජනාවයි. එය දුටු විගස ශ්‍රී ලනිප ඇමැතිවරුන් බොහෝ දෙනෙකු ඊට විරුද්ධව අදහස් දක්වන්නට පටන් ගත්හ.
ශ්‍රී ලනිප ඇමැතිවරුන්ට අකිල වෙනුවෙන් උත්තර දුන්නේ අගමැතිවරයාය. අගමැතිවරයා එම ව්‍යාපෘතියේ වැදගත්කම ගැන කතා කළේය.

'මිලියන 5,000ක් වියදම් කරලා ළමයින්ට දෙන ටැබ් ආපසු ගන්නේ නෑනෙ. එතකොට හැම අවුරුද්දෙම මේකට මිලියන 5,000 ගාණේ වියදම් කිරීමේ හැකියාවක් කොහොමත් නෑ.' ජනාධිපතිවරයා කීවේය.

'මේක මැතිවරණ පොරොන්දුවක්. මේක නොකළොත් ඒක විපක්ෂයට සටන් පාඨයක් වෙයි' අකිල කීවේය.

'ළමයින්ට මේක කොතරම් අත්‍යවශ්‍යද යන්න යළිත් වරක් සලකා බලන්න වෙයි. මම පරිගණක විශේෂඥයන්, ආරක්ෂක අංශ හා ස්වේච්ඡා සංවිධානවල නියෝජිතයන් කැඳෙව්වා. ඒකෙදී ඒ අයත් කිව්වේ මේකෙන් වෙන අහිතකර බලපෑම. ළමයි මේක වැරැදි විදියට භාවිත කරන්න පුළුවන්. සීමාවක් දාන්න බෑනෙ' යැයි ජනාධිපතිවරයා කීවේය.
අනතුරුව මේ ගැන තවදුරටත් සොයා බැලීම සඳහා විද්‍යාඥයන් හය දෙනකුගෙන් යුත් කමිටුවක් පත් කෙරිණි.

ඡන්ද දිනන සූත්තරේ ගැන එජාප ඇමැතිවරු අගමැතිට කියති

අගමැති රනිල් පොසොන් පොහොයදා පස්වරුවේ මිහින්තලේ ගියේ විජයවර්ධන පරපුර වසර 50ක් පුරා සිදුකරන ආලෝක පූජාවට එක්වීමටය. විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන මහතා දැනට විජයවර්ධන පරපුර නියෝජනය කරන ප්‍රධානියා ලෙස ඊට එක්ව සිටියේය.

මිහින්තලා ආලෝක පූජාව පටන් ගත්තේ රංජිත් විජයවර්ධන මහතායි. එවකට අනුරාධපුර මහ දිසාපති ලෙස ක්‍රියා කොට ඇත්තේ ඇමැති මලික්ගේ පියා වූ අයිවන් සමරවික්‍රම මහතායි. රංජිත් විජේවර්ධන මහතා 1963දී කොළඹින් ගෙනගිය විදුලි ජනක යන්ත්‍ර මඟින් ඉතා දුෂ්කර පරිසරයක මෙම ආලෝක පූජාව ආරම්භ කොට තිබෙනවා. මිහින්තලා විහාරාධිපති හිමියන් අතීතය සිහිපත් කළහ.

ආලෝක පූූජාවෙන් අනතුරුව අගමැතිවරයා මිහින්තලා පුදබිමේදී අරඹා තිබූ දන්සලට ගොඩවී පැමිණ සිටි පිරිසට ආහාර බෙදාදීමටද එක්විය.

බ්‍රහස්පතින්දා උදේම කොළඹ පැමිණි අගමැතිවරයා කෙළින්ම ගියේ අරලියගහ මන්දිරයටය. රටේ ප්‍රබලම ව්‍යාපාරිකයකු හා ඔහුගේ උපදේශකයන් දෙදෙනකු හමුවූ අගමැතිවරයා අනතුරුව පැමිණ සිටි මැති ඇමැතිවරු සමඟද කතා කළේය.

"වන්නියෙන් දරුණු ආයුධ හමුවීමේ සිද්ධියේ පරීක්ෂණ කොහොමද?" දයා ගමගේ ඇමැතිවරයා අගමැති දෙස බලමින් කීවේය.

"ඒ ගැන දැඩි පරීක්ෂණ කරනවා. එවැනි හැඟීම්වලට කිසිසේත් ඉඩදෙන්නේ නෑ. අගමැතිවරයා කීවේය.

පී. හැරිසන් ඇමැතිවරයා සමෘද්ධිය ගැනද කතා කළේය.

"අලුතින් එක් ලක්ෂ පනස් දහසකට සමෘද්ධි දෙනවා. ඒක අපේ ලොකු ජයග්‍රහණයක්. පළාත් පාලන ඡන්දයට අපි ගියේ අතපය විසිකරගෙන ඊළඟ ඡන්දයට යන්නේ ජනතාවට සලකලා" හැරිසන් ඡන්දය දිනන රහස හෙළි කළේය.

මැති ඇමැතිවරුන් සියලු දෙනා මුහුණට මුහුණ බලා ගනිමින් සිනාසුණහ.
"උපාධිධාරී පත්වීම් 5000ක් ජනාධිපතිතුමා නවත්වලා කියලා ප්‍රවෘත්තියක් පළ වුණේ මොකද?" චමින්ද විජේසිරි මන්ත්‍රිවරයාද කතාබහට එක්විය.

"නෑ නෑ කෙළින්ම කැම්පස් ගිය අයට පත්වීම් දෙන්න කියලයි ඉල්ලලා තියෙන්නේ ඒකේ මිනුම් අනුව බාහිර උපාධිධාරීන්ටත් පත්වීම් දෙන්න පුළුවන්. දැන් නීතිපති උපදෙස් පතලා තියෙනවා. ලකුණු මතයි පත්වීම් දීලා තියෙන්නේ. ඒක කොහොම හරි අපි මේවා කරන්න ඕනා" අගමැතිවරයා කීවේය.

"දැන් මොකද්ද ඉතින් මේක ප්‍රමාද කරන්න හේතුව මේක ඉක්මන් කළා නම් හොඳයි නේද?" චමින්ද විජේසිරි විමසීය.

"අපි බඳවා ගැනීමේ ක්‍රමවේදයෙන් පිට ගිහින් නෑ. පුහුණු කරන අය ලෙස එජාප පිරිසකුත් බඳවා ගන්න අපි උත්සාහ කරනවා. මේ ආණ්ඩුවෙන් එජාපයේ අයට මෙහෙම දෙයක්වත් කරන්න බැරි නම් ඇති වැඩේ මොකද්ද?" අගමැතිවරයා තරමක් දැඩි ස්වරයෙන් කීවේය.
"ඔය වගේම තමයි පාසල් දරුවන්ට ටැබ් දීමත් ආපහු හිර වෙලා. ඕකෙන් පිරිහෙන්නේ මේ වැඩ හිර කරන අයයි. ළමයි ටැබ් දෙන වැඩේ ගැන ආසාවෙන් ඉන්නවා" චමින්ද විජේසිරි කීවේය.

පොසොන් පොහොය දිනයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ තංගල්ල කාල්ටන් නිවෙසේ පැවැති විශේෂ ධර්ම දේශනයට සහභාගි විය. ධර්ම දේශනය අවසන් වන වේලාවට මහින්ද හමුවීමට අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චිගේ පුත් තංගල්ල නගරාධිපති රවිඳු වෙදආරච්චිය.

රවිඳු කාල්ටන් නිවෙසට ඇතුළුවෙන විට ඩී.වී. උපුල් මන්ත්‍රිවරයාද එහි සිටියහ.
"ආ.....ලොකු පුතා..........කොහොමද?" උපුල් ඇසුවේ රවිඳුගේ කරට අතදා ගනිමිනි.
"හොඳයි අන්කල්. ශේප් එකේ ඉන්නවා. මම පොඩ්ඩක් මහින්ද ජනාධිපතිතුමා හම්බවෙන්න ආවේ." රවිඳු එසේ කියමින් වටපිට බැලුවේය.

"ජනාධිපතිතුමා.....ඉන්නවා. එන්න ලොකු පුතා අපි යමු" යැයි උපුල් රවිඳුත් රැගෙන මහින්ද සිටි තැනට ගියහ.

"ආ.....කොහොමද පුතා" රවිඳු දුටු මහින්ද සිනාසෙමින් ඇසුවේය.
"හොඳයි සර් වැඩ ටික කරගෙන යනවා" රවිඳු කීවේය.
"ඔව් ඔව්.....හොඳට වැඩ ටික කරගන්න" මහින්ද කීවේය.

"සර් මගේ දන්සල තියෙනවා. 11.30ට විතර පටන් ගන්නේ පොඩ්ඩක් එන්න පුළුවන් නේද? මම ආරාධනා කරලා යන්න ආවේ" රවිඳු මහින්දට ආරාධනාවක් කළේය.
"හරි හරි මම එන්නම් පුතා" මහින්ද කීවේය. ඒ අවසරයෙන් රවිඳු කාල්ටන් නිවෙසින් පිටවිය.

පෙරවරු 11.30 වෙද්දී මහින්ද කාල්ටන් නිවෙස ඉදිරිපිට තිබූ රවිඳුගේ දන්සලට පැමිණියේ ඩී.වී. උපුල්, ධනසිරි අමරතුංග ඇතුළු කිහිප දෙනකුද සමඟිනි. ඒ වන විට දිලිප් වෙදආරච්චි ඇමැතිවරයාද පැමිණ සිටියේය.

"කොහොමද දිලිප්" මහින්ද දිලිප්ගෙන් විමසීය.

"ලොකු පුතාගේ වැඩේනේ. පොඩ්ඩක් ආවා. තව දන්සල් කිහිපයක් තියෙනවා යන්න" දිලිප් කීවේය.

රවිඳු සහ තංගල්ල වෙළෙඳ සංගමයේ සභාපතිවරයා පැමිණ මහින්දව පිළිගත් අතර දන්සල විවෘත කිරීමට කැඳවාගෙන ගියේය.

පසුව දන්සල විවෘත කරමින් මහින්දද බත්, පරිප්පු, සෝයා සහ පපඩම් බෙදා ගත් අතර දිලිප්ද ඊට පිටුපසින්ම පැමිණ මහින්ද අසලින් වාඩිවී දන්සල් වැන්දේය.
"පුතා .....මහින්ද මහත්තයට කියන්න අර නගර ප්ලෑන් එක" දිලිප් රවිඳුට කීවේ මහින්දව පෙන්වමිනි.

"ආ.....සර් අලුත් නගර සැලසුමක් එනවා. මම වෙළෙඳ සංගමය එක්කත් කතා කළා" රවිඳු කීවේය.

"බොහොම හොඳයි. කට්ටියට අසාධාරණයක් වෙන්නේ නෑ නේද?" මහින්ද රවිඳුගෙන් විමසීය.

"නෑ නෑ සර් කිසිම කෙනකුට අසාධාරණයක් වෙන්නෑ" රවිඳු කීවේය.
"එහෙනම් කමක් නෑ. වෙළෙඳ සංගමය එක්ක කතා කරන්න. කිසිම වෙළෙන්දකුට අසාධාරණයක් කරන්නෙ නැතුව ඔයා වැඩේ කරගෙන යන්න" මහින්ද රවිඳුට උපදෙසක් දුන්නේය.

පසුගිය සතිය මහින්දට සුවිශේෂී එකක් වූයේ යෝෂිත සහ රෝහිත දෙදෙනාගේම උපන් දින එම සතියට යෙදී තිබීම නිසාය. ඒ අනුව 25 වැනිදා මහින්ද සහ පවුලේ පිරිස අත්තිඩිය අභිමන්සල වෙත ගියේ ආබාධිත රණවිරුවන් සමඟ පුතුන් දෙදෙනාගේ උපන් දින සැමරුමටය. මහින්ද සහ ආබාධිත රණවිරුවන් මුණගැසුණු එම මොහොත ඉතාමත් සංවේදී අවස්ථාවක් විය.

අභිමන්සලේ සිටින පූර්ණ ආබාධිත රණවිරුවන් සියලු දෙනාටම මහින්ද දැක ගන්නටත් කතාබහ කරන්නටත් ඕනෑ වී තිබිණි. බොහෝ දෙනා මහින්දගෙන් ඇසුවේ යළිත් යුද්ධයක් ඇති වන්නට යානවාය යන කතාවේ සත්‍යයක් ඇතිද කියාය. එහෙත් මහින්ද එයට පිළිතුරු දුන්නේ නැත.

''සර් අපි මේ ආබාධිත තත්ත්වයට පත්වෙලා ඉන්නේ රට වෙනුවෙන් සටන් කරලයි. අපිට මෙහෙම වුණා කියලා දුකක් නොදැනුණේ ත්‍රස්තවාදය නිමා වෙලා, රටට සාමය උදාවෙලා තියෙන නිසායි. අපි එක්තැන් වුණත් කමක් නැහැ අපේම මිනිස්සු සතුටින් ඉන්නවා කියලා හිතලා අපිත් සතුටු වුණා. ඒත් අපිට අද නොයෙක් ආරංචි එනවා යුද්ධයක් ගැන. ආයෙත් නම් මේ රටේ යුද්ධයක් ඇති වෙන්න තියන්න එපා'' රණවිරුවෝ මහින්දගෙන් ඉල්ලා සිටියහ.

''ආණ්ඩුව ඔයාලාව අමතක කරලා දැම්මට මම කවදාවත් ඔයාලව අමතක කරන්නේ නැහැ. මම හැමදාම ඔයාලට සැලකුවේ මගේම ඥාතීන් පිරිසකට සලකනවා වගෙයි. ඒ හින්දයි මම පුත්තු දෙන්නාගේ උපන් දිනය ඔයාලත් එක්ක සමරන්න ආවේ'' මහින්ද පැවැසුවේ හැඟුම්බරවය.

මේ අතර මහින්ද දුටු දෙපා අප්‍රාණික රණවිරුවෙක් අෑත සිටම මහින්දට අතවැනුවේය. වහා ඔහු අසලට ගිය මහින්ද 'මොකද පුතා?' යැයි ඇසුවේය.

''සර් මම ගොඩක් කල් යුද්ධය දිහා බලන් හිටියා. මේ යුද්ධය ඉවර වෙන්නේ නැහැ. අපි මේකට මැදිහත් වෙන්න ඕනේ කියලා හිතලා මම හමුදාවට බැඳුණා. එතකොට මම විවාහ වෙන්නත් හිටියේ. හැබැයි මාස දෙකක් යනකොට මම ආබාධිත වුණා. සර් මගේ අද කකුල් දෙකම පණ නැහැ. මම බඳින්න හිටපු ගැහැනු ළමයාටත් මම කිව්වා ආබාධිත මාව නොබැඳ වෙන කෙනෙක් බඳින්න කියලා.

හැබැයි මම සතුටු වුණා අපි යුද්ධය දිනපු හින්දා. අපි අපේ අනාගතය කැප කළේ මේ රට වෙනුවෙන්. ඒ හින්දා ආයෙත් නම් මේ රටේ යුද්ධයක් ඇති වෙන්න ඉඩ තියන්න එපා. ඒක කරන්න පුළුවන් එකම කෙනා සර් විතරයි'' ආබාධිත රණවිරුවා හැ¼ඩූ කඳුළින් කියද්දී මහින්දද ඉතාමත් සංවේදීව එය අසා සිටිනු දකින්නට ලැබිණි.

එදින මහින්ද ඇතුළු පවුලේ පිරිස දිවා ආහාරය ගත්තේද රණවිරුවන් සමඟය. දිවා ආහාරයෙන් පසු මහින්ද 'යෝෂිත ඔයාට සින්දු කියන්න පුළුවන්නේ. කියන්නකෝ බලන්න සින්දුවක්' යැයි යෝෂිතට ආරාධනා කළේය. යෝෂිත ගායනා කළේ හෙළ ජාතික අභිමානේ ගීතයය. රණවිරුවන්ද එයාට අත්වැල් අල්ලන විට මහින්දද අත්පුඩි ගසමින් ගීතය රස වින්දේය.

මහින්ද දුටු මර්වින් කතරගම හැංගෙයි

මහින්ද පසුගිය සතියේ දිනෙක කතරගම ගියේය. කතරගම යන අතරතුර මහින්ද කිරිවෙහෙරටද ගියේය. එදින මර්වින් සිල්වා ද කිරිවෙහෙරට පැමිණ සිටියේය. කිරිවෙහෙරේ ආරක්‍ෂකයන් සිටිනු දුටු මර්වින් ඔවුන්ට කිට්ටු වී ඇසුවේ කවුද එන්නේ කියාය. මහින්ද මහත්තයා එන බව ආරක්‍ෂකයෝ කීය.

''අම්මෝ එහෙනම් ඉක්මනට යන්න ඕනේ. එයා ආව ගමන් මිනිස්සු එයාව වටකර ගන්නවා. වඳින්නවත් වෙන්නේ නැහැ'' කී මර්වින් මහින්ද එන්නට පෙර හීන් සීරුවේ මාරුවී යන්නට ගියේය.

හිට්ලර් කතාවට මහින්ද දුන් අපූරු උත්තරය

හිටපු ජනාධිපතිවරයා හමුවීමට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ප්‍රසන්න, රෝහිත, ලන්සා, පියල්, රණවීර ඇතුළු මන්ත්‍රි කණ්ඩායමක් විජේරාම නිල නිවෙසට පැමිණ සිටියහ. එහිදී මන්ත්‍රිවරුන් සහ හිටපු ජනාධිපතිවරයා අතර වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ කතාබහ කෙරිණි.

"වේඬරුවේ උපාලි අනුනායක හාමුදුරුවන්ගේ අනුශාසනාව හින්දා ආණ්ඩුවේ ඉහළ ඉඳන් පහළටම හොඳටම රිදිලා තියෙනවා" ප්‍රසන්න කතාවට මුලපිරුවේය.

"හාමුදුරුවෝ කොතැනකවත් කිව්වේ නැහැ ගෝඨාභය මහත්තයට හිට්ලර් කෙනෙක් වෙන්න කියලා. හැබැයි ආණ්ඩුව හිට්ලර් කෙනෙක් අල්ලගෙන බොරුවට දඟලනවා" ලන්සා පැවැසීය.

"ඒකනේ කියන්නේ හාමුදුරුවෝ ඒ අනුශාසනාවේදී කියනවා රටට දැහැමි පාලකයෙක් ඕනේ කියලා. හැබැයි හිට්ලර් කතාව කියන කවුරුත් ඒ ගැන වචනයක්වත් කියන්නේ නැහැ" මහින්ද පෙන්වා දුන්නේය.

"මොනවා වුණත් ඔය විදියට හාමුදුරුවන්ට අපහාස කරන එක අපට අනුමත කරන්න බැහැ. මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳලම කළේ බුද්ධාගමට, හාමුදුරුවන්ට අපහාස කරපු එකයි" ප්‍රසන්න පැවැසීය. "මම පසුගිය දවසක බී.එම්.අයි.සී.එච්. එකට ගිය වෙලාවේ මුණගැසුණු හාමුදුරු නමක් මට හොඳ කතාවක් කිව්වා. ඒ සෙන් හාමුදුරුවන්ගේ කතාවක්. උන්වහන්සේ ගෝල නමකුත් එක්ක ගඟෙන් එගොඩ වෙන්න ගියාම දියට වැටිලා හිටපු ගෝනුස්සෙක් පැත්තකින් අරගෙන තියන්න හැදුවලු. ඒ පාර ගෝනුස්සා හාමුදුරුවන්ට දෂ්ට කලළාලු.

මේ විදියට තුන්පාරක්ම දෂ්ට කළාම ගෝල හාමුදුරුවෝ ඇහුවාලු ඔබවහන්සේට තුන්පාරක්ම දෂ්ට කරලත් ඇයි මේ ගෝන්ස්සාව අයින් කරන්න හදන්නේ කියලා. ගුරු හාමුදුරුවෝ උත්තර දුන්නලු මම මගේ යුතුකම ඉෂ්ට කළා, දෂ්ට කරන එක උගෙ වැඩක් කියලා. අන්න ඒ වගේ ගෝනුස්සෝ තමයි අපිටත් බේරන්න වෙලා තියෙන්නේ" මහින්ද පැවැසීය.
ජනබල සේනා ඇරැඹේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් 'ජනබල සේනා' නමින් විශේෂ රැලි මාලාවක් සංවිධානය කිරීමට නියමිතය.

පසුගිය ජනාධිපතිවරණයෙන් පරාජයට පත්ව දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සිටි මහින්ද නුගේගොඩ පැවැත්වුණු 'මහින්ද සුළඟින්' නැවත ජනතාව දේශපාලනයට කැඳවාගෙන ආවේය. එම රැලි මාලාව දිස්ත්‍රික් මට්ටමින් පසුව ක්‍රියාත්මක කෙරිණි. එවැනිම රැලි මාලාවක් වන 'ජනබල සේනා' රැලි මාලාව ජූලි මාසයේ සිට ආරම්භ කිරීමට නියමිතය.

16 කණ්ඩායමට දෙන්න නෙලුම් මාවතේ හදපු වැලිතලප

ඇමැතිකම් අත්හළ ශ්‍රී ල.නි.ප. මන්ත්‍රිවරුන් 16 දෙනා සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් අතර හමුව පසුගිය බ්‍රහස්පතින්දා පස්වරුවේ බත්තරමුල්ල නෙලුම් මාවත පක්‍ෂ කාර්යාලයේදී පැවැත්විණි.
සාකච්ඡාව සඳහා ඩිලාන් පැමිණියේ නැත. ඒ විවාහ මංගල උත්සවයකට යෑම නිසාය. දයාසිරි, තිලංග සහ එස්.බී. විදේශ ගතව සිටින නිසා පැමිණ නැත.

හිටපු ඇමැති ජී.එල්. 16 කණ්ඩායමේ සමාජිකයන් පිළිගතතේය.

''අපි මුල ඉඳලම කිව්වේ මේ ජාතික ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉවත් වෙන්න ඕනේ කියලයි. සමහරු ඒකට කැමැති වුණේ නැහැ. එක එක කාලවල යමු කිව්වා. හැබැයි ඒවා ඉෂ්ට වෙන පාටක් තිබ්බේ නැහැ. ඒ හින්දා ඕන කෙනකුට ඉන්න කියලා අපි කණ්ඩායම එළියට බැස්සා'' ජෝන් පැවැසීය.

ආණ්ඩුවේ අදූරදර්ශී පාලනයට එරෙහිව ජනතාවට ඒකරාශී කිරීමේ වැඩපිළිවෙළක් රටට ඕනෑ වුණු අවස්ථාවක ඒ අඩුව පුරවන්නට කටයුතු කිරීමක් ලෙසයි මම පොහොට්ටුව නිර්මාණය වීම දකින්නේ. ඒ ගැන බැසිල් මහත්තයාට අපි ස්තුතිවන්ත වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අය තුළ මේ ගැන විවිධ මත තිබුණත් අපි මේ ගැන හොඳටම දන්නා නිසා නිහඬව හිටියා. අපි මේ ක්‍රියාවලිය අගය කරන නිසායි එහෙම හිටියේ'' සුසිල් පෙන්වා දුන්නේය.

''ඔයාලා ආණ්ඩුවෙන් එළියට ආපු එක ගොඩක් හොඳයි. ඒ නිසා ඔයාලට රටෙන් ලොකු ගෞරවයක් ලැබුණා. නමුත් ඔයාලගේම කණ්ඩායමේ ඇතැම් අයගේ ප්‍රකාශ නිසා ඒ ගෞරවය අඩු වුණා. විශේෂයෙන් සමහරුන් කිව්වා ඔයාලා මෛත්‍රිගේ නායකත්වය යටතේ ඉන්නවා කියලා. තව කෙනෙක් කිව්වා පොහොට්ටුවේ ඡන්ද ටික මෛත්‍රි ගාවට අරගෙන යනවා කියලා.

අපේ ජනතාව ඒවට කැමැති නැහැ. ඒ නිසා අපිට ඒ ප්‍රකාශවලට විරුද්ධ වෙන්න වුණා. බැසිල් අවධාරණය කළේය.

''ජනතාව අතර සැකය වැඩි වුණේ ඔයාලා ආණ්ඩුවෙන් ඉවත් වෙලා විරුද්ධ පක්‍ෂයට යනවා කිව්වටත් පස්සේ පක්‍ෂ ප්‍රතිසංවිධානයේදී තනතුරු ප්‍රදානය කිරීම නිසායි. අපේ මන්ත්‍රිවරු මේ බලවේගයට එකතු වුණා කියලා තිබ්බ තනතුරුත් උදුරා ගත්තා'' බැසිල් යළි පෙන්වා දුන්නේය.

''තරහා වෙන්න එපා බැසිල් මහත්තයා, මම නම් ඒ කතාව පිළිගන්නේ නැහැ. ඔය තනතුරු දෙන වෙලාවේ මම ලංකාවේ හිටියෙත් නැහැ. මට නම් ඕවා සතපහක් වටින්නේ නැහැ'' අනුර යාපා පැවැසීය.

''අපි කණ්ඩායමක් ලෙස තීන්දු කරලා තියෙන්නේ 16 කණ්ඩායම අවසන් කරන්නයි. මීට පස්සේ 16 කණ්ඩායම කියලා එකක් නැහැ. අපිත් අදින් පස්සේ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරුන් පමණයි'' ජෝන් සෙනෙවිරත්න කීවේය.

''මේක වෙන්න ඕනේ අපිත් එක්ක හිටපු අයට අසාධාරණයක් නොවන විදියටයි. අපි මේ බලවේගය ගොඩනැඟුවේ නිදහස් පක්‍ෂයේ බීජත් එක්කයි. අපේ අරමුණ ආණ්ඩුව ගෙදර යවලා මහින්ද මහත්තයාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවක් හදන එකයි. ඒක ඔයාලා පිළිගන්නවා නම් අපිත් එක්ක එකතු වෙලා වැඩ කරමු'' බැසිල් පැවැසීය.

සාකච්ඡාව අවසන් වන්නට මොහොතක් තිබියදී නෙලුම් මාවතෙන් මන්ත්‍රි කණ්ඩායමට කිරි තේ සහ වැලිතලප සංග්‍රහයක් ලැබිණි. වැලිතලප රස බලන ගමන් චන්දිම බැසිල්ට කීවේ 'නෙලුම් මාවතේ අයත් අපිට ආදරෙයි' ඒකනේ මේ වැලිතලපයි, කිරි තේයි දීලා තියෙන්නේ' කියාය. බැසිල්ටද චන්දිමගේ කතාවට සිනහා නොවී සිටීමට නොහැකි විය.

දේශපාලන පක්ෂ නියෝජිතයන්ට මහින්ද දේශප්‍රිය කියා දුන් පාඩම

දේශපාලන පක්ෂ නියෝජිතයන් හා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය 25 වැනිදා පැවැත්විණි. එහිදී අවධානය යොමුකෙරුණේ පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙනි.

"මේ තරම් මැතිවරණ කල්දාපු යුගයක් මම දැකලාම නැහැ. ඉතාම නරක තත්ත්වයක් තමයි දැන් තියෙන්නේ. මැතිවරණ ක්‍රමයක් අල්ලාගෙන මැතිවරණ කල්දාන එක අනුමත කරන්න බැහැ. මොන ක්‍රමයකට හරි මැතිවරණය පවත්වන්න ඕනේ. ආණ්ඩුව ඒකට අදිමදි කරනවා නම් මැතිවරණ කොමිසමට වෙනවා මැතිවරණය පවත්වන්න" මහින්ද දේශප්‍රිය කීවේය.
"එහෙම පවත්වන්නේ කොහොමද? කොමිසමට බලයක් නැහැ මැතිවරණ තියන්න" නිශාන්ත ශ්‍රී වර්ණසිංහ සභාපතිවරයා දෙස බලමින් කීවේය.

"ඇයි බැරි? අපිට මහජන බලයක් තිබෙනවා. කොමිසම විදියට අපිට පුළුවන් මැතිවරණය තියන්න" සභාපතිවරයා දැඩිව කීවේය. වර්ණසිංහ නිහඬවිය.

"අපි මැතිවරණය පවත්වන්න කියලා ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ඉල්ලීම් කරන්න ඕනේ" චම්පානි පද්මසේකර පැවැසීය.

"එහෙම ඉල්ලීම් කරන්න කොමිසමට අවශ්‍යතාවක් නැහැ. එහෙම ඉල්ලීම් කරන එක ඔයාලගේ වැඩක් මිසක් කොමිසමේ වැඩක් නෙමෙයි. ඒක තමුන්නාන්සේලාගේ වැඩේ. අපේ වැඩේ කොහොම හරි මැතිවරණය පවත්වන එකයි" දේශප්‍රිය මහතා චම්පානි දෙස බලමින් කීවේය. "අපි නම් ඕනෙම අවස්ථාවකට මැතිවරණයට සූදානම්. අපිට පරණ ක්‍රමයට තිබ්බත් එකයි. අලුත් ක්‍රමයට තිබ්බත් එකයි. අපිටත් ඕනේ කොහොමහරි මැතිවරණයක් ගන්න තමයි" බැසිල් කීවේ සිනාසෙමිනි.

සුමනදාස අබේගුණවර්ධන තිගැස්සුණු මහින්දගේ ඇමැතුම

ප්‍රවීණ ජේ‍යාතිර්වේදී සුමනදාස අබේගුණවර්ධන මහතාගේ හැටහය වැනි උපන් දිනය යෙදී තිබුණේ පසුගිය බ්‍රහස්පතින්දාය. ඒ වෙනුවෙන් මහරගම පිහිටි ඔහුගේ නිවෙසේ විශේෂ සාදයක් සූදානම් වී තිබිණි. මැති ඇමැතිවරුන්, මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. තවත් විශේෂ අමුත්තන් පිරිසකට මෙම සාදයට ආරාධනා කිරීමට මොහු තීරණය කළේය. ඒ සුමනදාස අබේගුණවර්ධන ගැන කාටූන් අඳින පිරිසකටය. කාටූන් ශිල්පීන් සියලු දෙනාද පැමිණ සිටීම විශේෂත්වයකි.

මේ අතර වාරයේදී උපන් දින කුමරාට විශේෂ ඇමැතුමක් ලැබිණි. බොහෝ කාලයකට පසු මෙවැනි ඇමැතුමක් ලැබීම නිසා සුමනදාස අබේගුණවර්ධනට දැනුණේ දැඩි සතුටකි. ඇමැතුම ලැබුණේ හිටපු ජනපති මහින්දගෙනි.

'අනේ සර් මගේ අතින් ඔබතුමාට අබ මල් රේණුවකවත් වැරැද්දක් වෙලා නෑ' සුමනදාස මහින්දට කීවේය.

'අද උපන් දිනය දවසනේ. අද වගේම හැමදාම ඔබතුමා සතුටින් ඉන්න.' මහින්ද කීවේ සිනාසෙමිනි.

මෙවර උපන් දින කේක් ගෙඩිය සකස් කර තිබුණේ දළ කේන්දරයක හැඩය ගනිමිනි. සුමනදාසගේ ලග්නය වන සිංහ ලග්නයත්, තුලා නවාංශකයත් කේන්දරයේ විය. ඒ අතරම ඔහුගේ චරිතාපදානය ලිවීමේ කටයුතු ආරම්භ කෙරුණේද මේ අවස්ථාවේදීය.

'දශක තුනක් පුරා පැවැති අති බිහිසුණු යුද්ධය අවසන් කළ රාජ්‍ය නායකයාගේ එකම ජේ‍යාතිෂ්‍ය උපදේශකයා. මේ පොතේ වැඩි හරියක් තියෙන්නේ මහින්ද රාජපක්‍ෂ මහත්තයා එක්ක කරපු වැඩකටයුතු ගැන තමයි. දශක තුනහමාරක් විතර මම එතුමා ඇසුරු කළා. එතුමාට සම්බන්ධ සිද්ධීන් තමයි මේකට ඇතුළත් වෙන්නේ.' සුමනදාස පොතට ඇතුළත් වන දේ ගැන ඉඟියක් ලබා දුන්නේය.

'ඔබතුමන්ලා හරිම ලස්සනට මම කාටූන්වලට අරගෙන තිබුණා. ඒ කාටූන් සේරම මම එකතු කරලා තියාගෙන ඉන්නවා.' සුමනදාස කීවේ කාටූන් ශිල්පීන් අසලට ළංවෙමිනි.
'අපි ඉතින් අපේ රස්සාව කරනවානේ.' කාටූන් ශිල්පීහුද පැවැසූහ.

''මම අර අණ්ඩදාපු ඇඳුම ඇඳන් ඉන්න කාටූන්වලට තමයි වැඩියෙන්ම කැමැති. ඒක වැඩි වැඩියෙන් අඳින්න. සුමනදාස කාටූන් ශිල්පීන්ගෙන් ඉල්ලීමක්ද කළේය.

මනුෂ සිය බිරිය සමඟ පැමිණ සුබ පැතුම් එක් කරන විට සුමනදාස කීවේ 'ඔබතුමා මේ රටේ උත්තරීතර ආයතනය වන පාර්ලිමේන්තුව එක දිගට තවත් දශක ගණනාවක් නියෝජනය කරනවානේ' යැයි කියමිනි.

'වැඩේ හරියටම හරියයි නේද?'' ඇමැතිතුමා අසල සිටි මාධ්‍යවේදියකු මනුෂගේ කනට කරමින් විමසීය.

මේ අතර විජමු ලොකු බණ්ඩාර සුබ පැතුම් එක් කරමින් සුමනදාසට අපූරු යෝජනාවක්ද කළේය.

''ඔබතුමා දැන් දේශපාලනයට එන්න'' විජමු කීවේ සිනාවක්ද මුවට නංවා ගනිමිනි.
''මම මහින්ද මහත්තයා එක්ක දශක තුනකට වඩා වැඩි කාලයක් වැඩ කළා. ඒත් කවදාවත් මම දේශපාලනයට එන්න ඕන කියන ඉල්ලීම නම් කළේ නෑ. මගේ තාත්තත් ප්‍රබල එක්සත් ජාතික පාක්‍ෂිකයෙක්. අවුරුදු තිස් හයක් ගම් සභාපති වෙලා හිටියා. ඒත් කවදාවත් මට දේශපාලනයට එන්න හිතුණේ නෑ'' සුමනදාස කීවේය.

''එහෙනම් අපි අවුරුදු හැත්තෑවට පස්සේ බලමු'' විජමු කීවේ එතැන සිටි සියලු දෙනා සිනා ගන්වමිනි.

මල්වතු මහ නාහිමිගෙන් සජිත්ට ලැබුණු තෑග්ග

"සසුණට අරුණ - වැවයි දාගැබයි - ගමයි පන්සලයි" වැඩසටහන යටතේ දිවයිනේ දිස්ත්‍රික්ක 25 තුළ දැනට චෛත්‍ය නොමැති සහ සම්පත් උෟනතා සහිත විහාරස්ථාන 25ක් තෝරා ඒවායේ චෛත්‍ය ඉදිකිරීම ඇරැඹුණේ ඉකුත් 23දාට යෙදී තිබුණු දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ 94 වැනි ජන්ම දිනයදාය. මෙම වැඩපිළිවෙළට ශ්‍රී දළදා සමිඳුන්ගේත් අස්ගිරි හා මල්වතු ද්විපාර්ශ්වීය මහ නාහිමිවරුන්ගේත් ආශීර්වාදය ලබා ගැනීමට සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා 22දා මහනුවර සංචාරයක නිරත විය. සජිත් මහ නාහිමිවරුන් වෙත පිළිගැන්වීම සඳහා ඒ වන විට ජනතා අයිතියට පත් කර තිබූ උදාගම්මාන 81 වෙනුවෙන් මුද්‍රණය කළ සමරු පොත් කට්ටලය බැඟින් රැගෙන ගොස් තිබිණි. "මට ඕනෑ වුණේ මේ වැඩපිළිවෙළ ගැන ඔබ වහන්සේලාට කරුණු කාරණා පෙන්වන්නැයි."

සජිත් කියද්දී ලැබුණු පිළිතුර නම් "අපි මේවා ජනමාධ්‍යවලින් නිතර දකිනවනේ" කියාය. අස්ගිරි මහා විහාරස්ථාන ප්‍රවේශය අසල පදිංචි පවුල් කීපයකට විකල්ප ඉඩම් ලබාදීමට නිවාස සංවර්ධන අධිකාරිය පොරොන්දු වූ පරිදි ක්‍රියා කර නැති බව අස්ගිරි මහ නාහිමියන් සිහිපත් කරද්දී සජිත් එහි පැමිණි සිටි කරුණාරත්න අතුකෝරල - නිවාස අධිකාරියේ උප සභාපතිවරයා කැඳවා ඇසුවේ "මේ ප්‍රශ්නය පැය කීයකින් විසඳන්න පුළුවන්ද?" කියාය.

ඔහු කීවේ ඒ සඳහා පැය 72ක් ප්‍රමාණවත් බවයි. "මම මේ වැඩේ වෙනුවෙන් කොළඹ වුණත් එන්නම්" අනුනායක හිමියන් කියද්දී සජිත් කීවේ "ඔබ වහන්සේ මේ වෙනුවෙන් කොළඹ වඩින්න එපා. මම මගේ නිලධාරීන් ඔබ වහන්සේ ළඟට එවන්නම්" කියාය. අනතුරුව මල්වතු මහ විහාරයට ගොස් මහ නාහිමියන් බැහැදැක ආශීර්වාද ලබාගත් සජිත්ට කිරිගරුඬ සමාධි බුදු පිළිමයක් තෑගි කරමින් මහ නාහිමියන් සඳහන් කළේ. "ඔබතුමාට ගම්මාන 2500ක් නෙවෙයි ඊටත් වඩා හදන්න ධෛර්ය, ශක්තිය ලැබේවා"යි කියායි.

ගයන්තගේ කුතුහලය රුක්මන් අෑවර කරයි

ගයන්ත කරුණාතිලක ඇමැතිවරයා ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කරද්දී ඔහු හමුවීමට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයට දකුණු පළාතේ කෙනකු පැමිණියේ දේශපාලන කාරණයක් ඉෂ්ට කර ගැනීම සඳහාය.

එම පුද්ගලයා ගයන්තට මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා කුඩා දරුවකු වඩාගෙන සිටින ඡායාරූපයක් ගෙනැවිත් දුන්නේය.

පළමු ඉඩම් ඇමැතිවරයාද වූ සේනානායක මහතාගේ ඡායාරූපය සති කිහිපයක් කාර්යාලයේ තබාගත් ගයන්ත ඉඩම් ඇමැතිවරයා ලෙස පත්විය.

අනතුරුව ඉඩම් අමාත්‍යාංශයට ගයන්ත එම ඡායාරූපය ගෙනැවිත් සිය කාර්යාලයේ තැබුවේය. එම ඡායාරූපයේ සේනානායක මහතා වඩාගෙන සිටින්නේ කවුරුන්දැයි සිය කාර්යාලයට පැමිණෙන අය එක එක කතා කියන්නට වූහ. ගයන්තට එය දැනගැනීමට අවශ්‍ය වුවත් ඒ ගැන හරියටම දන්නා කෙනකු නොමැති විය.

පසුගිය සතියේ රාජකාරි කටයුත්තකට ගයන්ත හමුවීම සඳහා රුක්මන් සේනානායක පැමිණියේය. එක්වරම ගයන්තට ඡායාරූපය ගැන සිහිවිය.

"ඔබතුමා දන්නවාද අර ඡායාරූපයේ ඉන්නේ කවුද කියලා. එක් එක්කෙනා එක එක කතා කිව්වා. හරියටම දැනගන්නයි ඔබතුමාගෙන් ඇහුවෙ" ගයන්ත ඡායාරූපය පෙන්වමින් රුක්මන්ගෙන් විමසීය.

ඡායාරූපය අසලට ළංවූ රුක්මන් ඒ දෙස තප්පර කිහිපයක් බලාගෙන සිටියේය.
"ආ මේ ඉන්නේ මමනේ" රුක්මන් ගයන්තට කීවේය.

"ඔබතුමාට කොහෙන්ද මේක" රුක්මන් පෙරළා ගයන්තගෙන් විමසීය.

"ඕක මට පාක්ෂිකයෙක් ගෙනත් දුන්නා. මම අමාත්‍යාංශයේ තියාගෙන හිටියා. කවුද මේ දරුවා කියලා දැනගන්නයි ඕන වෙලා තිබුණේ. කට්ටිය මේක බලලා එක එක කතා කිව්වා. අදයි පොඩි දරුව කවුද කියලා හරියටම දැන ගත්තේ" ගයන්ත රුක්මන්ට කිවේ සිනාසෙමිනි.

කල්යන මැතිවරණ ඉක්මන් කරන කථානායක හමුව

පළාත් සභා මැතිවරණයට අදාළව තීරණාත්මක සාකච්ඡාවක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැති අතර, එය කැඳවා තිබුණේ කථානායකවරයාගේ අදහසක් අනුවය.

පළාත් සභා පළාත් පාලන, ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය, සීමා නිර්ණ කොමිසමේ සභාපති කේ. තවලිංගම් යන අය සාකච්ඡාවට එක් වූහ. සාකච්ඡාව අරඹමින් කථානායකවරයා පැහැදිලි කළේ ජනතාව තුළ ජන සම්මතවාදය පිළිබඳ විශ්වාසය ආරක්ෂා කරමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම කඩිනම් කළ යුතු බවත් ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සහ පාර්ලිමේන්තුවේ සහාය ලබා දීමට කථානායකවරයා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස තමා සූදානම් බවත්ය. මෙහිදී මැතිවරණ ක්‍රමය, සීමා නිර්ණය ආදී කරුණු ගණනාවක් පිළිබඳ ගැඹුරින් සාකච්ඡාවට ලක්වූ අතර, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරමින් ජනතාව සතු පරමාධිපත්‍ය අයිතිය ආරක්ෂා කිරීමට කථානායකවරයා සිය දේශපාලන දිවිය පුරාම වෙහෙසුණු ලෙසට වර්තමානයේද දක්වන කැපවීම සියලු පාර්ශ්වයන්හි ඇගයීමට ලක් විය.

"දැන් ඇත්ත බිල්ලො හැංගිලා" - හඳුන්නෙත්ති කියයි

20 වැනි සංශෝධනය එළිදැකීමට පෙර ඊට එරෙහිව රට කඩන රට බෙදන බිල්ලන් මැවීමට කටයුතු කළ ඇතැම්හු එය ජනතාව අතරට පැමිණීමත් සමඟ නිහඬව සැඟවී සිටිති. "දැක්කෙවත් නැති 20 කෙටුම්පත ගැන සමහරන්ට ගොඩක් දේවල් කියන්න තිබුණා. බිල්ලෝ මැව්වා. ඒත් දැන් ඇත්ත බිල්ලෝ හැංගිලා සද්දයක් නෑ." සුනිල් හඳුන්නෙත්ති දේශපාලන මණ්ඩලයේදී කියා සිටියේය. "දැන් 20ට විරුද්ධ අයට කියන්න දෙයක් නැහැ. ඒත් මේ කෙටුම්පත ජනතාව අතරට ගෙනියන කටයුත්ත නතර කරන්න හොඳ නැහැ. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් වෙන එකේ වාසිය ජනතාවටයි." ජවිපෙ දේශපාලන මණ්ඩලයේදී මේ පිළිබඳ අදහස් දැක්වූ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවැසීය. "අන්තිමට මේ ප්‍රශ්නෙ බේරගන්න වෙන්නෙ ජනතාවට. අපි මේ ගැන කරුණු පැහැදිලි කරන පත්‍රිකාවක් ඉක්මනටම රටට බෙදමු." විජිත හේරත් යෝජනා කළ අතර සියලු දෙනා ඊට එකඟත්වය පළ කළ අතර ඒ අනුව එළඹෙන 02 වැනිදා බෙදීමට තීරණය විය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon