යක්ෂයා සමඟ ගනුදෙනු කරන පරපුරක්ද?

  👤  3785 readers have read this article !
2018-07-02

තරුණ තරුණියන් යනු රටක හදවතය. රටක ඉදිරි ගමන තීරණය කරන්නේ ඔවුන්ගේ බුද්ධිය හා ශක්තියයි. අනාගත පරපුරට යායුතු නිසි මඟ පෙන්වා දිය යුත්තේ වැඩිහිටි පරපුර විසිනි. එහෙත් මංමුළා වැල් පෑගුණු පිරිසක් සේ හැසිරෙන වැඩිහිටි පිරිසක් හමුවේ තරුණ පිරිස වල්මත් වී හසරක් නොදුටුවන් සේ කටයුතු කිරීම පුදුමයක්ද?

මෙරට වැඩිහිටියන්ගෙන් තරුණ පරපුරට වැඩි වශයෙන් ලැබෙන්නේ වැරැදි පූර්වාදර්ශය.

බොරුව, වංචාව, ආත්මාර්ථය හා හිංසාව සිය ජීවන විලාසය කරගත්, මුදල දෙවියන් සේ අදහන, වැඩිහිටියන් බහුල සමාජයක තරුණ තරුණියන්ගෙන් ඊට වෙනස් ජීවන විලාසයක් බලාපොරොත්තු විය හැකිද?

අධ්‍යාපනයෙන් හා ආර්ථිකයෙන් පීඩාවට පත්ව විවෙකයක් නැති ජීවිතයක් ගෙවමින් සිටින තරුණ පරපුර ඉතා නරක ආකාරයට තාක්ෂණයට ඇබ්බැහි වී සිටී. ඔවුනගේ 'විනෝදය' ජංගම දුරකථනය හා පරිගණකය බවට පත්වෙමින් තිබේ. කය මිස සිත නැති බඹ ලොවක මෙන් ඔවුහු හැසිරෙමින් සිටිති. සොබාදහමේ සෞන්දර්යය, ජීවිතයේ වින්දනය තරුණ ජීවිතවලින් අෑත් වෙමින් තිබේ.

අද දිනපතා 'මව්බිමේ' පළ වන සිද්ධින් දෙක තරුණ පරපුරේ මේ ඛේදවාචකය කදිමට හුවා දක්වයි.
ඉන් එක් සිද්ධියක් වන්නේ සිය ආදර සබඳතාවට විරෝධය පළ කළ මිත්තණියව පෙම්වතා සමඟ එක්ව මිනිබිරිය විසින් මරා දමනු ලැබීමය. අනෙක් සිද්ධිය සිය කෝටිපති පියාගෙන් කප්පම් ගැනීමට පෙම්වතා සමඟ කුමන්ත්‍රණය කළ දියණියක ගැනය.

භද්‍ර යෞවනයේ පසුවන මේ තරුණ ජෝඩුවල සිතිවිලි කුමනාකාරද යන්න ගැඹුරින් විමසා බැලිය යුත්තේ මෙවැනි සාහසික අපරාධ දෙවරක් නොසිතා ක්‍රියාත්මක කිරීමට ඔවුන්ගේ ඇති පෙලඹවීම ගැන සිතා බැලීමේදීය. මිත්තණිය මරා දමා ඒ අපරාධය වසන් කිරීමට මිනිබිරිය හා ඇගේ පෙම්වතා දරා ඇති උත්සාහය කෙතරම් සාහසිකද? තරුණ යුවළකට මෙවැනි කාර්යයක් බිය සැක නැතිව කළ හැකිද යන්න පවා පුදුමයක් වුවත්, අනෙක් පැත්තෙන් ඊට පුදුම විය යුතු නැත්තේ, වැඩිහිටි සමාජය මීටත් වඩා අපරාධ කර මේ සමාජයේ සුදනන් සේ පෙනී සිටින නිසාය. තරුණ තරුණියන් ඔවුන්ව ඉතා දක්ෂ ලෙස ආදර්ශයට ගෙන ඇත.

රාජ්‍ය දේපළ කොල්ලකා මහත්වරුන් සේ සමාජයේ පෙනී සිටින වැඩිහිටියන් සිටින රටක, පියාගේ මුදල් ප්‍රයෝගකාරි ලෙස ලබාගැනීමට දියණියක පෙම්වතා සමඟ එක් වී සැලැසුම් කිරීම අරුමයක් නොවේ. ඔවුන් වැඩිහිටියන් යන පාර මනාව දැන හඳුනාගෙන කටයුතු කර තිබේ.

එහෙත් තරුණ පරපුරේ මෙවැනි හැසිරීම්වලදී වැඩිහිටියන් දෙස් දෙවොල් තබන්නේ තරුණ තරුණියන් විනාශ වී ඇතැයි කම්පා වෙමිනි. ඔවුන්ට ඇඟිල්ල දිගු කරන විට ඇඟිලි හතරක් තමන් දෙසට එල්ලවී ඇතැයි වැඩිහිටියන් කීයෙන් කීදෙනකු කල්පනා කරන්නේද?

මනුස්සකම පවා 'මිල' වී ඇති සමාජයක තරුණ පරපුරට ලජ්ජා - බය දෙක නැති වීම යථාර්ථයකි. මුදල් අතේ ඇත්නම් සියල්ල මිලදී ගත හැකි යැයි ඔවුන්ද විශ්වාස කිරීමට පටන්ගෙන ඇත. එවැනි සිතිවිලි වඩාත් ගනුදෙනු කරන්නේ 'යක්ෂයා' සමඟ මිස දෙවියන් සමඟ නොවේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon