උතුරේ විජයකලාලා සහ දකුණේ අපි

  👤  3817 readers have read this article !
2018-07-03

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රමුඛ ආණ්ඩුව උතුරේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් නොදෙන නිසා යළි එල්ටීටීඊය හිස එසවිය යුතුව ඇතැයි. රාජ්‍ය ඇමැතිවරියක වන විජයකලා මහේෂ්වරන් යාපනයේ පැවැති රාජ්‍ය උත්සවයකදී කළ කතාව දකුණේ ඇතැම් මාධ්‍යවලට ආන්දෝලනාත්ම කතාවක් බවට පත්වී ඇත. එක්සත් ජාතික පක්ෂයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක වන ඇය දෙමළ භාෂාවෙන් කළ කතාව සිංහලයට පරිවර්තනයේදී යම් යම් අර්ථ බාධක ඇති වී ඇතැයි පෙනෙන්නට තිබේ. කෙසේ වුවද රාජ්‍ය ඇමැතිවරියගේ කතාවේ හරය වන්නේ උතුරේ දෙමළ ජනතාවගේ ඉඩම් ප්‍රශ්නය හැර අන් කිසිදු ප්‍රශ්නයකට මෛත්‍රි - රනිල් ආණ්ඩුවෙන් සැලකිය යුතු විසඳුමක් ලැබී නැති බවය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ජනවාරි 8 ජයග්‍රහණයට දෙමළ හා මුස්ලිම් ඡන්ද සුවිශේෂී දායකත්වයක් ලබාදුන් බව නොරහසකි. ඇත්ත වශයෙන්ම දකුණේ දිස්ත්‍රික් අතිබහුතරයක ඉදිරියෙන් සිටියේ මහින්ද රාජපක්ෂ මහතාය. උතුර හා නැඟෙනහිර දිස්ත්‍රික්වලින් පෙරමුණට නොඑන්නට මෛත්‍රිපාල සිරිසේන පොදු අපේක්ෂකයාට ජයග්‍රහණය අහිමි වනු නිසැකය.

රාජ්‍ය ඇමැතිනිය සිය කතාවේදී පැහැදිලිව සඳහන් කළේ පොදු අපේක්ෂකයා දිනවූවද අපේක්ෂා කළ බොහෝ දේ සිය ජනතාවට තවමත් ලැබී නැති බවය. මෛත්‍රි - රනිල් ආණ්ඩුව බලයට පත්වීමෙන් උතුරු - නැඟෙනහිර පළාත්වලට සැලකුවේ නැහැයි කීම බොරුවකි. ජනාධිපතිවරයා කිහිපවරක්ම පළාත් දෙකේම සංචාරය කළේය. අගමැතිවරයාද එලෙස සංචාරයේ නිරත විය. දකුණේ අන්තවාදීන්ගේ හා සිංහල ජාතිවාදීන්ගේ බලපෑම් හමුවේ ආණ්ඩුව ක්‍රියාමාර්ග ගැනීමේදී යම් මන්දෝත්සාහීවීමක් ඇතිවූ බව පිළිගත යුතුය.

ඉන් සිදුවූයේ උතුරු -නැඟෙනහිර දෙමළ ජාතිවාදීන් හා අන්තවාදීන් යළි හිස එසවීමය. දකුණ උතුරට එරෙහි වන තරමට උතුරේ අන්තවාදීන් හා ජාතිවාදීන් කැමැතිය. හේතුව ඒ හරහා ඔවුන්ගේ පටු අරමුණු කරා දෙමළ ජනතාව දක්කා ගෙන යා හැකි නිසාය. 1948 නිදහසින් පසු උතුරේ අන්තවාදීන්ට පසුබිම සකසා දුන්නේ දකුණේ අන්තවාදීන් විසිනි. ජන ඝාතක සිවිල් යුද්ධයට රට ගොදුරු වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසය.

අවුරුදු 30ක ලේ වැගිරීමකින් පසුවද පාඩමක් උගෙන ගෙන නැති උතුරේ හා දකුණේ අන්තවාදීන් යළි සැරසෙන්නේ තවත් පරපුරක ලේවලින් මේ පොළොව තෙමීමටය.අවුරුදු 70ක කාලයක් පුරා සිංහල - දෙමළ හා මුස්ලිම් ජාතීන් අතර සංහිඳියාවක් ඇති කර ගෙන ලාංකික ජාතියක් ගොඩනඟා ගත නොහැකිව ළතවෙන අපට විජයකලා වේවා, සිවාජිලිංගම් වේවා, වීරවංශ වේවා, ගම්මන්පිල වේවා කවරකුගේ හෝ ප්‍රකාශයන් අල්ලාගෙන තවත් සති ගණනක් එකිනෙකාට බැන අඬ ගසා ගනිමින් කාලය කා දැමිය හැකිය. ඉන් සංහිඳියාව නොව ඇතිවනු ඇත්තේ උතුර හා දකුණ තව තවත් දුරස් කිරීම පමණි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon