විජේවීර මතකය

  👤  3775 readers have read this article !
2018-07-04

1983 කළු ජූලියට වගකිවයුතු යැයි චෝදනා කරමින් තවත් පක්ෂ දෙකක් සමඟ තහනමට ලක් කළ ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් දුටු තැන ඇල්ලීමට නියෝග නිකුත් කෙරුණද රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක ඇතුළු 'ප්‍රධාන පෙළේ' කිසිදු නායකයකු අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුවට හැකිවූයේ නැත. හත් වසරකට පසු එනම්, 1989 නොවැම්බර් 12 වැනිදා මහනුවර උලපනේදී වතු පාලකයකු ලෙස වෙස්වළා ගෙන සිටි රෝහණ විජේවීර මහතා අල්ලා ගැනීමට ආණ්ඩුව සමත් විය.

ජෙනරාල් ජානක පෙරේරා සහ මේජර් ජෙනරාල් ගාමිණී හෙට්ටිආරච්චි ප්‍රධාන හමුදා කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන කොළඹට රැගෙන ආ රෝහණ විජේවීර මහතාව 1989 නොවැම්බර් 13 වැනි දින ඝාතනය කර බොරැල්ල කනත්තේ ආදාහනාගාරයේ සිරුර පුලුස්සා දැමූ බව ප්‍රසිද්ධ රහසකි. බොරැල්ල කනත්තට එහා පැත්තේ පිහිටි ගොල්ෆ් පිට්ටනියේදී වෙඩි තබා ප්‍රාණය නිරුද්ධ වීමටත් පෙර පුළුස්සා දැමූ බව පැවැසේ.

විජේවීර මහතාගේ ජීවිතයේ අවසන් පැය කිහිපය ගැන සවිස්තරාත්මක තොරතුරු රටට හෙළි වූයේ ඔහුගේ ඡායාරූප ගැනීම භාරව සිටි මිලිටරි පොලිසියේ ඡායාරූප ශිල්පී ඉන්ද්‍රානන්ද ද සිල්වා නිසාය. මේ ඡායාරූප ශිල්පියා මිලිටරි පොලිසියට බැඳී සිටි ජවිපෙ පූර්ණකාලීනයෙකි. රෝහණ විජේවීරගේ අවසන් පැය කිහිපය පිළිබඳව සියලු තොරතුරු ඔහු දිවුරුම් පෙත්සමකින් අනාවරණය කර තිබුණේ පසුව ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත්ව සිරගතව සිට නිදහස් වීමෙන් අනතුරුවය.

රෝහණ විජේවීර මහතාගේ 'මරණය' ගැන අතීත මතකය අවදි කිරීමට සිදුවූයේ මෙයට අවුරුදු 29කට පෙර ඝාතනයට ලක් වූ රෝහණ විජේවීර මහතාගේ බිරිය වූ චිත්‍රාංගනී විජේවීර අභියාචනාධිකරණයට හබයාස්කෝපුස් රිට් පෙත්සමක් ගොනු කිරීම නිසාය. ඉන් ඇය ඉල්ලා සිටින්නේ 1989 වසරේදී හමුදා අත්අඩංගුවට පත්වීමෙන් පසුව අතුරුදන් වී සිටින තම සැමියා වන ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය. මේ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මේජර් ජෙනරාල් ජානක පෙරේරා, හිටපු හමුදාපතිවරයකු වන හැමිල්ටන් වනසිංහ, ජනාධිපති ලේකම්වරයකු වූ කේ.එච්.ජේ. විජයදාස ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

උලපනේදී අත්අඩංගුවට ගෙන කොළඹ රැගෙන ආ විජේවීර මහතා තිඹිරිගස්යායේ තිබූ ඒකාබද්ධ හමුදා මෙහෙයුම් මධ්‍යස්ථානයේ රඳවා ගෙන සිට ඇත. එහිදී එවක යුද හමුදාවේ උසස් නිලධාරීන් වූ බි්‍රගේඩියර් විජයසුන්දර, බි්‍රගේඩියර් අල්ගම, කර්නල් දසනායක හා කර්නල් බලගල්ල, කපිතාන්වරුන් වන තෝරදෙණිය, පද්මසිරි උඩුගම්පොළ, හෙට්ටිආරච්චි, වීරසිංහ, මුතාලිෆ්, අබේනායක ද, ලෙෆ්්ටිනන් කර්නල් ජානක පෙරේරා, ජවිපෙ නායකයා සමඟ කතා කර තිබේ.

එවක ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයා වූ රන්ජන් විජේරත්න විජේවීර හමුවට පැමිණි බව ඉන්ද්‍රානන්දගේ දිවුරුම් ප්‍රකාශයේ සඳහන්ව නැත.

රූපවාහිනිය මඟින් ප්‍රචාරය කිරීම සඳහා රෝහණ විජේවීර මහතාගේ ප්‍රකාශයක් වීඩියෝගත කිරීමෙන් අනතුරුව හමුදා ප්‍රධානීන් අතර පැවැති සාකච්ඡාවකින් පසු අවසන් තීන්දුව ගත් අතර, ඊට දුරකථන මාර්ගයෙන් කවුරුන් සම්බන්ධ වූවාද යන්න ගැනද පැහැදිලි නැත.
විජේවීරගේ රූපවාහිනි ප්‍රකාශය ප්‍රචාරය කිරීමට පෙර කළ නිල නිවේදනයෙන් කියැවුණේ ජවිපෙ කාර්යාලයක තිබූ රහස් ලියකියවිලි පෙන්වීම සඳහා විජේවීර මහතා රැගෙන ගිය අවස්ථාවේ එහි සිටි ජවිපෙ නායකයකු වන එච්.බී. හේරත් හමුදාවට වෙඩි තැබූ බවත් ඒ වෙඩි හුවමාරුවට මැදි වූ විජේවීර මරණයට පත්වූ බවත්ය.

ජවිපෙ දෙවැනි නායකයා වූ උපතිස්ස ගමනායකගේ මරණය සම්බන්ධයෙන්ද කියැවුණේ මෙවැනිම කතාන්දරයකි. ශ්‍රී ලමප නායකයා වූ විජය කුමාරතුංග ඝාතනය කළ තුවක්කුකරුවාටද අත්අඩංගුවේ සිටියදී අත්වූයේ විජේවීරට හා ගමනායකට අත් වූ ඉරණමය. පසුකාලයක ශ්‍රී ලංකා පොලිසිය විසින් ඉතා සාර්ථකව පවත්වාගෙන ගිය 'ආයුධ හෝ වෙනත් අවශ්‍යතාවක් පෙන්වීමට 'සැකකරු' රැගෙන යෑමේදී වෙඩි තැබීම, 'බෝම්බ ගැසීමට හෝ පලා යෑමට තැත් කිරීමේදී ආරක්ෂාව පිණිස වෙඩි තැබීම' මුලින්ම හඳුන්වා දීමේ ගෞරවය හිමි විය යුත්තේ ශ්‍රී ලංකා හමුදාවටය.

රෝහණ විජේවීර ඇතුළු ජවිපෙ ප්‍රධාන නායකයන් සියලු දෙනා (සෝමවංශ අමරසිංහ හැර) අත්අඩංගුවට ගැනීමට ප්‍රේමදාස ආණ්ඩුව සමත් වීමත් සමඟ අවුරුදු තුනක් පුරා පැවැති 'ධවල භීෂණය' අවසන් විය. ජවිපෙ සන්නද්ධ සිවිල් සටන පරාජය කිරීම පිටුපස රන්ජන් විජේරත්න ඇතුළු ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ නිලධාරීන් රැසක් සිටි අතර ආරක්ෂක ඇමැතිවරයා ලෙස ජනාධිපති රණසිංහ ප්‍රේමදාසද ඊට දායක විය. මේ පිරිසෙන් කිහිපදෙනකු මේ වන විට ජීවතුන් අතර නැත. රෝහණ විජේවීරගේ බිරිය වගඋත්තරකරුවන් කර ඇති පුද්ගලයන් අතර ඔවුන්ද ඇත.

රෝහණ විජේවීර මහතා අත්අඩංගුවට පත්වූ පසු ඝාතනයට ලක්වූ බවත් පැහැදිලිය. එසේ තිබියදී ඔහුගේ බිරිය අතුරුදන් වීමක් ගැන සඳහන් කිරීම ගැටලු සහගතය. ඇය ඉල්ලා සිටිය යුතුව තිබුණේ 'මරණය' සිදු වූ ආකාරය නිල වශයෙන් තමන්ට දන්වන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කරන ලෙසය.

ඇයගේ මේ හබයාස්කෝපුස් රිට් පෙත්සම වැළලී ගිය ලේ වැකි අතීත මතකය යළි සිහිකැඳවීමක් වී ඇත.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon